නිට්‌ටාවට සුව නො වන සමේ රෝගයකට අපේ පර්යේෂකයන් කණ්‌ඩායමකින් සාර්ථක ප්‍රතිකර්මයක්
October 23, 2012
586 Views
සම යනු මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. සිරුරේ අභ්‍යන්තර පටක, ඉන්ද්‍රියයන් හා සියලු ම පද්ධතීන්වලට ආරක්‌ෂාව සපයමින් සිරුරේ ආරක්‌ෂක බලකායේ පළමු සෙබළා ලෙස කටයුතු කරනුයේ ද සමයි. සමේ පවතින රෝගාබාධ, ආසාදන ආදියට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සම`ග ම චර්ම රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව යනුවෙන් වෙන ම ක්‌ෂේත්‍රයක් බිහි විණි. එදා මෙදාතුර සමේ රෝග රාශියක් හ`දුනා ගැනුණු අතර ඒවාට විවිධ මාදිලියේ ප්‍රතිකාර ක්‍රම ද හඳුන්වාදෙන ලදී.
එහෙත් තවමත් නිසි ප්‍රතිකාර සොයා නො ගත් සමේ රෝග පවතී. මේ ලිපිය, මෙසේ නිසි ප්‍රතිකාරයක් නො තිබුණු දරුණු සමේ රෝගයකට නිසි ප්‍රතිකාර ක්‍රමයක් ලැබීම පිළිබඳ ශූභ ආරංචියක් ගෙන එන්නකි. මෙහි පවතින සුවිශේෂිත්වය වනුයේ මේ ප්‍රතිකාර ක්‍රමය සොයා ගැනීමේ පුරෝගාමියා ශ්‍රී ලාංකිකයකු වීමයි. ශ්‍රී ලාංකිකයකු ශ්‍රී ලාංකික රෝගී නිධියක් ඇසුරින් කරන ලද පරීක්‌ෂණ ඇසුරින් ගොඩනැ`ගුණු ප්‍රතිකාර ක්‍රමයක් වීම නිසා මේ නව සොයාගැනීම අපට ඉතා ම වැදගත් ය.
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න යනු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයායි. ඔහු ඇතුළු කණ්‌ඩායම විසින් මාස 6 – 7ක් පුරා Epidermolysis Bullosa – අපිචර්ම ඡාදනය නම් දරුණු සමේ රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට කරන ලද අත්හදා බැලීම අතිසාර්ථක ප්‍රතිඵල ගෙනදීමට සමත් ව ඇත.
අපිචර්ම ඡාදනය (Epidermolysis Bullosa) යනු උපතින් ම ඇති වන හෙවත් සංජානනීය චර්ම රෝග තත්ත්වයකි. ජානගත ව සම්ප්‍රේෂණය වන රෝග අතරින් තනි ජානයකින් (Single gene) සම්ප්‍රේෂණය වන රෝග යටතට මෙය ද ඇතුළත් වේ. ප්‍රමුඛ හෝ නිලීන ජානයක් ලෙස මේ රෝගය හා බැඳුණු ජානය පැවතිය හැකි ය. පුද්ගලයන් මිලියනයක් ගත් විට ඉන් 19.6ක ප්‍රමාණයක මේ රෝගය දක්‌නට ලැබේ.
මේ රෝගීන් ගේ,
– සම සාමාන්‍ය අය ගේ සමට වඩා ඉතා දුර්වල ය.
– නිතර සමේ තුවාල හට ගනී.
මේ තුවාල ඉබේ ම හෝ ඇතැම් විට කුඩා ස්‌පර්ශයකින්, තද වීමකින් හෝ සම මත ඇති වන පීඩනයකින් වුව ද හටගත හැකි ය.
උදා (- පාවහන්වලට තද වන ස්‌ථාන
– තුවාලය දිය පට්‌ටයක ආකාරයක් ගනී.
– ඉතා ම වේදනාසහගත ය.
– ඉතා තද දුර්ගන්ධයකින් යුක්‌ත ය.
– තුවාල මත ක්‍ෂුද්‍රජීවී ආසාදන ඇති වන අතර එනිසා සම කුණු වුණු ස්‌වභාවයක් ගනී.
– උඩ හම කුරුටු ගැහුණු ස්‌වභාවයකින් යුතු වේ.
අපිචර්මය හෙවත් උඩු සම චර්මයට සම්බන්ධ කරමින් බැඳී ඇති කොටස්‌වල දුර්වලතාවන් මේ රෝගයට හේතු වන අතර ඊට මුල් වනුයේ ජානයේ පවතින රෝග වාහක ගුණයයි. මේ රෝගයේ පවතින දුක් සහගතම තත්ත්වය වනුයේ ඉන් ඇති වන ප්‍රතිඵල අවාසනාසහගත වීමයි.
– සමේ සදහට ම පවතින කැලැල්
– නියපොතු හැළී යැම
– ඇ`ගිලි එකිනෙකට ඇලීම
යන මේවා මුල දී ඇති වන අහිතකර පලවිපාක වන අතර පසු කාලීනව මේ රෝගවලින් ඇති වන වණ, සමේ පිළිකා (Squmous cell cancer) දක්‌වා වර්ධනය වේ. බොහෝ විට මේ රෝගීන් ගේ උපරිම ආයුෂ අවුරුදු 20-30කට සීමා වන අතර සමේ පිළිකා නිසා මරණයට පත් වෙති.
මෙතෙක් මේ රෝගය පැවතියේ හරිහැටි ප්‍රතිකාරයක් නැති ‘අනාථ රෝගයක්’ හැටියට ය.
සම බද්ධ කිරීම, ඇට මිදුළු බද්ධ කිරීම, ප්‍රතිජීවක ඖෂධ ලබා දීම මෙන්ම පිළිකාමය තත්ත්ව සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ ද මෙතෙක් මේ රෝගය සුව කිරීමට යොදා ගත් ඖෂධ වේ. එහෙත් මේ කිසි ම ඖෂධයකින් රෝගය නිට්‌ටාවට සුව නො වුණා පමණක් නො ව දැඩි දුගඳ හමන, වේදනාකාරී තුවාල සමග රෝගීන් මානසික පීඩාවට ද, සමාජයෙන් කොන් වීම්වලට ද ලක් විණි.
අපිචර්ම ඡාදනයට හරිහැටි ප්‍රතිකාරයක් නැති ව ලත වෙමින් සිටි රෝගීන්ට ද වෛද්‍යවරුන්ට ද සුබ පණිවිඩයක් ගෙනා මේ ප්‍රතිකාරයට මඟ දිගහැරුණේ වෛද්‍ය කණ්‌ඩායම්වල තිබූ නිරීක්‌ෂණශීලීභාවයයි. දීර්ඝකාලීනව බාහිර රෝගීන් ලෙස ප්‍රතිකාර ගත් මේ රෝගීන් සියල්ලන් ගේ ම ඉතා ම පැහැදිලිව දක්‌නට ලැබුණු සුවිශේෂී ලක්‌ෂණයක් විය. ඒ මොවුන් ගේ සම කෙතරම් ඡාදනයට ලක් වී තිබුණ ද කිසිවකු ගේ හෝ හිස්‌කබලේ සම මතුපිට එකදු තුවාලයක් හෝ තුවාල හටගන්නා ලකුණක් හෝ දක්‌නට නො ලැබීමයි. ඒ ඔස්‌සේ සිය ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලූ මහාචාර්යවරයා හිස කෙස්‌වල ඇති විශේෂ ගුණයක් නිසා මෙසේ වනු ඇතැයි උපකල්පනය කළේ ය.
හිස් කබලේ ඇති රෝම කූප තුළ බහුලව මවු සෛල පවතින බව අධ්‍යයනය කළ මහාචාර්ය සෙනෙවිරත්න හිස් කබලේ රෝම හෙවත් හිසකෙස්‌වලින් ලබා ගන්නා මවු සෛල සමේ දියපට්‌ටා ආකාර තුවාල හටගත් ස්‌ථානවලට මාරු කරනු ලැබී ය. මේ සෛල මාරු කිරීම ඉතා ම ලාභදායි මෙන්ම රෝගය සුවපත් කිරීමට රෝගියා තුළින් ම ලබා ගන්නක් වීම වඩාත් වැදගත් ය. හිස් කබලේ පිහිටි නිරෝගී රෝම කූප සෛලවල ඇති මවු සෛල සමේ රෝගී තැන්වලට මාරු කිරීමේ දී රෝගියාට විඳීමට වන ප්‍රධානතම අපහසුව හිස කෙස් ගැලවීමයි. මීට අමතරව මේ ප්‍රතිකාර ක්‍රමයේ දී ප්ලාස්‌ටර් ඇලවීම මෙන්ම නිරෝගී හිස කෙස් ගලවන තුරු රෝගීන් අල්ලාගෙන සිටීමත් තරමක් අපහසු වේ.
සෛල හුවමාරුවෙන් රෝගියා සුවපත් වන ආකාරය බලා ගැනීමට පාවිච්චි කරන ලද මිමි මෙසේ ය.
01. වම හා දකුණ සංසන්දනය (සිරුරේ එක් පසෙක ඇති දියපට්‌ටාවල සමට සෛල මාරු කරන අතර අනෙක් පස නිකම් තබයි). එහෙත් ප්‍රතිඵලවල සාර්ථක බව සමග වම දකුණ සංසන්දනය නවතා දමා සැම තැනකට ම සෛල මාරු කිරීම කරන ලදී.
02. රෝගියා ගේ ප්‍රතිකාරයට පෙර සිට ම ප්‍රතිකාරයේ විවිධ කාලසීමාවල දී ගත් ඡායාරූප
03. මාපියන් ගෙන් ලද ප්‍රතිචාර
ප්‍රතිකාර ඇරඹීමත් සමග ඉතා පැහැදිලි ලෙස තුවාල සුව වීමක් දක්‌නට ලැබිණි. දින 07ක් වැනි කෙටි කාලයක් තුළ ම තුවාල සුව වීම ඇරඹි අතර මාස 3, 4ක් යන විට සමේ කැලැල් ද අඩු වෙමින් තිබෙණු දක්‌නට ලැබිණි.
මෙහි දී නැවත නැවත දියපට්‌ටා ඒමේ ප්‍රවණතාව ද අඩුවක් දක්‌නට ලැබුණු අතර මේ ප්‍රතිකාර ක්‍රමය ආරක්‌ෂාකාරී ක්‍රමයක් විණි. රෝගියා තදබල වේදනාකාරී අත්දැකීම්වලට ලක් නො වුණු අතර සමස්‌ත ප්‍රතිකාරය සඳහා වැය වූයේ ද අඩු පිරිවැයකි.
තම අපූරු ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකා මාධ්‍යවලට හෙළිදරව් කරමින් මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න මහතා කියා සිටියේ තුන්වැනි ලෝකයේ, දියුණු වෙමින් පවතින රටවලට මෙය ආදේශ කළ හැකි සාර්ථක පිළියමක් බවයි.
තවත් නොබෝ දිනකින් තම අපූරු ප්‍රතිකාර ක්‍රමය ලොවට හඳුන්වා දෙන, අනාථ රෝගයක් ව පැවති අපිචර්ම ඡාදනයට නිසි වෙදකම් සොයා ගැනීමත් සම`ග සමේ රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසයට එක් වන මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න මහතාට අපි අපේ ශූභාශිංසන එක් කරමු.
featured Latest slider 2012-10-23