නොසලකා හැරීම තුළින් ජීවිත අවදානමක් පවා ඇති විය හැකි සෙලියුලයිටිස්

අපි හැම විටම අපට ‘අරක තිබුණ නම් හොඳයි, මේක තිබුණ නම් හොඳයි‘ කියමින් නැති දේවල් ගැන කියා දුක් වෙනවා. ඒක තමයි මිනිස් ස්වභාවය ඔබට කකුල් දෙකක් ලැබි තිබෙනවා. නමුත් ඔබට ඒ ගැන ගාණක්වත් නෑ. බැරි වෙලාවත් ඔබට තියෙන්නේ එක කකුලක් පමණක් නම් නැති වූ කකුල ගැන ඔබ මොන තරම් දුක් වෙයිද?
ඔබ, ඔබට කැමති විදියට හැම දෙයක්ම මෙහෙයවන කෙනෙක් වෙන්න පුළුවන්. පවුලට සමාජයට අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නට ඔබ කෙළින් සිට ගත යුතුය. කෙළින් සිට ගන්න බැරි වුණු දාට ඒ සියල්ලම කඩා වැටී යාවි එදාට ඔබ කියන දේ අහන කෙනෙක් නෑ.
අපව සමාජයේ කෙළින් සිටවා තබන අපේ දෙපා ලෙඩ වෙන හැටි ගැන සොයා බැලිය යුත්තේ කෙළින් සිට ගත හැකි අද දවසේ දී මිස කකුල් ලෙඩ වී එක්තැන් වූ පසුව නොවෙයි.
උපන් දා සිට අපි කොතරම් දුරක් ඇවිද ඇතිද? තව කොතරම් දුරක් ඇවිදින්නට සිදුවෙයිද? මෙසේ ඇවිදින වාරයක් වාරයක් පාසා දෙපාවල පතු‍ලේ කැපීම්, කෙටීම්, තැලීම් ඇති වීම වළක්වන්න බෑ. නමුත් සොබා දහමින්ම ඒවා සුවකර දෙන්නේ අපි හිතන්නේ වත් නැති විදිහට. එසේ වුවත් යම් අයුරකින් මෙවැනි පැලීමක් තුවාලයක් බවට පත් සමේ ඇති ඇසට නොපෙනෙන කුඩා බැක්ටීරියා නම් ජීවීන් විශාල ප්‍රමාණයක් සම හරහා ශරීරය තුළට ඇතුල් වෙනවා. මෙහිදී ස්ටේ‍රප්ටොකොකස් (streptococcus) නම් බැක්ටීරියාව ඇතුළේ වුණොත් මුළු කකුල පුරාම පැතිර යන්නට එයට හැකියාව තිබෙනවා. මේ විෂ බිජයට විනාඩි විස්සකට වරක් තමන් ගේ සංඛ්‍යාව දෙගුණ කර ගැනීමට පුළුවන්. ඒ අනුව දින දෙකක් පමණ ගත වන විට මුළු කකුලම ආක්‍රමණය කරන්න මේ විෂ බිජයට හැකියාව තිබෙනවා.
විෂබිජ පලවා හරින්නට ශරීරයේ විවිධ ෙසෙල කකුලට පැමිණ විෂබිජ සමග සටන් කරනවා. එම සටනේ ප්‍රතිඵලය ලෙස කකු‍ලේ වේදනාවක්, ඇති වීමත් ඉදිමීමත් , රතු පාට වීමත්, රස්නයක් දැනීමත් සිදු වෙනවා. මේ තත්ත්වය වෛද්‍යවරුන් හඳුන්වන්නේ සෙලියුලයිටිස් (cellulitis) ලෙසිනුයි. අප මේ කතා කරන්නේ සෙලියුලයිටිස් ගැනයි.
විෂබිජ වලට කකුල් වල වසාගැටිති (කුද්දෙටි) වලට ඉහළින් යන්න එම වසා ගැටිති ඉඩ තියන්නෙ නෑ. ඒ අනුව කුද්දෙටි තුළ විෂබිජ සමග විශාල ප්‍රමාණයේ සටනක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලය ලෙස කුද්දටි ඉදිමී වේදනාව ඇති වෙනවා.
යම් හෙයකින් මේ සමගින් රෝගියාට ජය ගන්න නොලැබුණොත් විෂබිජවල විෂ හෝ විෂබිජ පවුල් පිටින්ම කුද්දෙටිවලින් පැන ශරීරයට ඇතුල් වෙනවා. ඒ අනුව ‍ලේ සමග මිශ්‍රවී විෂබිජ ශරීරය පුරාම ගමන් කරනවා. ඉන්පසු රෝගියාගේ ශරීරයේ අවයව එකිනෙකෙහි වැඩ අඩාල වෙන්නට පටන් ගන්නවා. වකුගඩු වැඩ නවත්වන විට මුත්‍රා පිටවීම අඩාල වෙනවා. මේ නිසා මුත්‍රා සමග මතෛක් පිට වුණු ශරීර අපද්‍රව්‍ය හා විෂ කොටස් ශරීරය තුළ දිගින් දිගටම එකතු වෙනවා. රුධිරයට ක්‍රමයෙන් ඇසිඩ්ද එකතු වීම සිදු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ රෝගියා ඉක්මනින් ඉක්මනින් හුස්ම පිට කිරීමයි.
ඊළඟ ප්‍රහාරය එල්ල වන්නේ රුධිර කැටිකාරක පද්ධතියට. මෙහි දී නහර දිගේ ගලා යන රුධිරය නහර තුළදීම අංශුමාත්‍ර ලෙසින් කැටි ගැසී ඒවා නැවත නැවත කැබලිවලට කැඩී බිඳී යාම සිදු වෙනවා. ඒ අනුව රුධිර කැටිකාරක වැඩි වැඩියෙන් පරිභෝජනය වීම නිසා රුධිර කැටිකාරක ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරය කැටි ගැසීම ඇන හිටීමයි. එවිට ශරීරය තුළ ‍ලේ ගැලීම් ඇති වෙනවා. අවසානයේ හෘදය ක්‍රියා විරහිත වීම නිසා රුධිර සංසරණ පද්ධතිය ඉතාම දුර්වල වීමෙන් රෝගියාගේ ජීවිතය අවදානම් තත්ත්වයට පත් වෙනවා.
මේ තරම් රෝගය දුර දිග යන්න කලින් කකුල ඉදිමෙන විටම රජයේ රෝහලකට ඇතුල් වුණා නම් විෂබිජ විනාශ කරන්නට එන්නත් දෙන්න තිබුණා. එවිට ඉදිමුණු කකුල සම්පූර්ණයෙන් සුව වීමට ගත වන්නේ දින දෙක තුනයි.
දියවැඩියාව රෝගය තිබිම, දුම්පානය නිසා ධමනිවල ක්‍රියාකාරිත්වය අඩුවීම, බරවා රෝගය නිසා කකුල ඉදිමීම, වයස්ගත වීම වැනි හේතු ඇති විට මේ රෝගය වැළදීමේ හැකියාව වැඩියි. වයස්ගත අයව කකු‍ලේ කැක්කුමක් ඇති නොවී කකුල ඉදිමීම සමග සිහි විකල් තත්ත්වයක් ඇති වන්න පුළුවන්. මේවාද මුලින්ම රෝහලකට පැමිණි විට ප්‍රතිකාර මගින් සුව කළ හැකියි. දියවැඩියා රෝගීන්ගේද මේ තත්ත්වය මුලින්ම හඳුනා ගැනීම තුළින් සුව කිරීම අසීරු වන්නේ නෑ.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...