අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමට අයත් සෙබළකු විසින් ලියූ “නෝ ඊසි ඩේ” නමැති කෘතියට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඇමෙරිකන් රජය සූදානම් වේ. ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු ආකාරය සහ එම ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් මෙම කෘතියේ දක්වා ඇති කරුණු ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා 2011 වසරේ දී කළ ඝාතන මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තර ඇතුළත් මෙම කෘතිය ලබන 4 වැනිදා එළිදැක්වීමට නියමිතය. පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැබීමෙන් යැයි “නෝ ඊසි ඩේ” කෘතියේ සඳහන්ව ඇත. කෘතිය රචනා කර ඇත්තේ එම මෙහෙයුමට සම්බන්ධ වී, මේ වනවිට හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටින නේවි සීල් භටයෙකි. මාක් ඕවන් යන නමින් ඔහු මෙම කෘතිය රචනා කර ඇත්තේ ඇමෙරිකා මාධ්‍යවේදියකු වන කෙවින් මොරර් සමඟ හවුල් වෙමින් බව පැවසේ.
