Saturday , 28 November 2020

පාසල් දැරියන් ගැබ් ගන්නේ කැමැත්තෙන්

“මට ඒ අයියට බෑ කියන්න බැරිවුණා.”

“එයා මට පණ වගේ ආදරය කළා. එයා තරහ වෙයි කියල මට බය හිතුණා. ඒ නිසයි මම මේකට කැමැති වුණේ”.

“ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ මේ වගේ දෙයක් වුණාම දරුවෙක් ලැබෙනවා කියලා”.

“මට එයත් එක්ක එකතු වෙන්න කුතුහලයක් ආසාවක් තිබුණා තමයි. ඒ වුණාට ඒකෙන් මම දරුවෙක් නම් කොහෙත්ම බලා‍පොරොත්තු වුණේ නැහැ”.

මේ කතාවැල කොතැනකින් මතුවූවක්දැයි ඔබ විපිළිසරව සිටිනු නොඅනුමානය. මේ වචන, අදහස් වෙන කාගේවත් නොව අපේම සමාජයේ පාසල් වියේ පසුවන ගැබ්ගත් දැරිවියන්ගේ මුවින් නිකුත් වූ සැබෑම තොරතුරුවලින් බිඳක් පමණි. මෙවැනි අඩිතාලමක් හරහා අප මේ පිවිසීමට බලා‍පොරොත්තු වන්නේ මුළු ලෝකයටම ගැටලුවක් වී තිබෙන නව යෞවන වයසේ සිදුවන ගැබ්ගැනීම් ගැන කතා කිරීමටය.

දැරියන් දහසකගෙන් විසි අටක්ම අඩු වයසින් ගැබ් අරගෙන

මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව වී තිබෙන්නේ ද මේ “නව යෞවනියන්ගේ ගැබ් ගැනීම් වළක්වා ගනිමු” යන්නය. ලොව පුරා නව යොවුන් වියේ පසුවන දැරිවියන් (වයස අවුරුදු 15-19 ත් අතර පසුවන) මිලියන 16ක් ගැබ්ගැනීම්වලට ගොදුරුව, දරුවන් බිහිකරන අතර තවත් මිලියන 3ක් ගබ්සාවලට ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. ලංකාවේ ගැබ් ගැනීම් අතරින් 6.1ක් අඩු වයසින් සිදුවන ගැබ් ගැනීම්ය.

වයස අවුරුදු 15-19 ත් අතර ගැහැනු දරුවන් 1000ක ගෙන් 28ක් අඩු වයසින් ගැබ් ගන්නා බව වාර්තා වී තිබේ. 2011 වසරේ අඩු වයසින් ගැබ් ගැනීම නිසා සිදුවූ සංකූලතා හේතුවෙන් මාතෘ මරණ 20ක් සිදුව තිබේ. එසේම 2012 දී එය සංඛ්‍යාත්මකව 11 වේ. නව යෞවන වියේ ඇති වන ගැබ් ගැනීම් අප වළක්වා ගත යුත්තේ ඇයිද යන ගැටලුවට හේතු රාශියක් ඇත. නව යෞවන වියේ පසුවන දැරිවිය තවමත් දරුවෙකි. ඇයගේ සිරුර සේම මනසද සම්පූර්ණයෙන් වැඩුණු එකක් නොවේ.

දරුවකු දරා සිටීමට ඇගේ ශරීරය සුදුසුකම් ලබා නැත. එසේම මොළයේ පිහිටි පූර්ව මස්තිෂ්ක බාහිකය සම්පූර්ණයෙන් වැඩී නොමැති නිසා තීන්දු තීරණ ගැනීම නිවැරදිව කළ නොහැකිය. මේ අය තවමත් වැඩිහිටියන්ගේ භාරයේ සිටිය යුතු දරුවන්ය.

බාහිරින් සියලු අඟපසඟ සම්පූර්ණ වී ඇති බව පෙනුණද ඔවුන් මානසික වශයෙන් හෝ ශාරීරිකව පිරිපුන් වැඩිහිටියන් නොවේ. ඔවුන් තීන්දු තීරණ ගන්නේ හැඟීම්වලට අනුකූලව මිස, එයින් අත්වන ප්‍රතිඵල ගැන නිසි දැනුවත් වීමකින් තොරවය. මෙවැනි දරුවන් මෙවැනි අකරතැබ්බවලට ගොදුරු නොවන ලෙස ආරක්ෂාකාරීව රැකබලාගැනීම දෙමාපිය වැඩිහිටියන්ගේ සේම මුළු සමාජයේම වගකීමකි.

වැඩේ වැරදුණාට පසු දැරියන්ට දොස්කීම

“ඔයාට ඕක කරන්න කලින් හිතන්න තිබුණේ නැද්ද මේකෙ ප්‍රතිඵල ගැන?”

මෙවැනි ගැටලුවලට මුහුණදුන් දැරිවියන්ගෙන් වැඩිහිටියන් අසනු ලබන ප්‍රධානම ප්‍රශ්නයයි. එහෙත් මෙවැනි ප්‍රශ්නයක් නැගීමට පෙර මනැස හරිහැටි නොවැඩුණු දැරිවියකට ප්‍රතිඵල දෙස බලා නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව වැඩිහිටියන් ලෙස මනාව තේරුම්ගත යුතුය. යමක් සිදුවූ පසු ඔවුන්ට දොස් පැවැරීමට බලා නොසිට එම අකරතැබ්බවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට කටයුතු සැලැස්විය යුතුය.

මෙවැනි දැරියන්ට වැඩිහිටියන් දොස් පවරන්නේ තම මානසික ආතතිය අඩුකර ගැනීමට බවද අප පිළිගත යුතුය. මෙවැනි ගැටලුවලට මුහුණ පා තිබෙන දැරිවියන් අළලා මෑතකදී කළ පර්යේෂණයකින් මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ කරුණු කීපයක් සොයාගෙන තිබේ. එම අඩුපාඩු හඳුනාගෙන ඒවා අවම කර ගැනීමට කටයුතු කිරීම මුළු සාමාජයේම පරම යුතුකමක් බව කිව යුතුමය.

අඩු වයසින් පාසලින් සමු ගැනීම ද හේතුවක් අඩු වයසින් ගැබ්ගන්නා දැරියන්ගෙන් 60ක් පමණ දරිද්‍රතාවයෙන් පීඩා විඳින්නියන් වේ. එසේම මින් 3/4 ක් පමණ දිගින් දිගටම දරිද්‍රතාවයේ ගොදුරු බවට පත්වෙයි. මේ දැරිවියන් අතරින් බහුතරයක් වයසට කලින් පාසලින් සමුගත් අයයි. පාසල් අධ්‍යාපනය අතරමග නවතා දැමීම, මෙවැනි අවදානම් චර්යාවලට යොමුවීමේ ඉඩ ප්‍රස්ථා වැඩි කරයි. එබැවින් පාසල් සමය සම්පූර්ණයෙන්ම නිම වන තුරු දැරිවියන් පාසල්වලට සීමාකර තැබිම විශේෂයෙන් කළයුතු වූවකි.

ඔවුන් විෂය කරුණු ඉගෙන ගත්තා හෝ නැතුවා පාසල තුළ සිටීමම මෙවැනි ආපදාවලින් ආරක්ෂාවට හේතුවෙයි. එසේම පවුල් සංස්ථාව තුළ ඇතිවන බිඳවැටීම් දැරිවියන් මෙම තත්ත්වයට තල්ලු කර දැමීමක් විය හැකිය. හැකි හැම විටම පවුල තුළ සතුට සමගිය ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමට මව්පිය දෙදෙනාම වගබලාගත යුතුය. ගෘහස්ථව සිදුවන හිංසා පීඩා නිසාද සමහර දැරිවියන් මෙවැනි අකරතැබ්බවලට ගොදුරු වෙයි. විශේෂයෙන්ම නව යෞවන කාලය තුළ සතුට අත්විඳින්නට සතුටින් ජීවත් වීමට අවශ්‍ය වටාපිටාව සකස්කර දීම ඉතාම අත්‍යවශ්‍ය කරුණකි.

මවගෙන් දුරස්වීමද මෙවැනි අනතුරුවලට මුලක්

එසේම ජීවිතයට කිසියම් ඉලක්කයක් හඳුන්වා දී ඒ ඔස්සේ ගමන් කිරීමට දරුවන් පුහුණු කළ යුතුය. යොවුන් දරුවන්ට විනෝදාංශ හඳුන්වා දිය යුතුය. එසේම මෙවැනි ගැටලුවලට මුහුණ දුන් බොහෝ දැරිවියන් මවගෙන් බොහෝ ඈත්ව සිට ඇති බව පෙනේ. දැරියකට මවක් යෙහෙළියක් ලෙස සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි. ඔවුන්ගේ සිතට කිසියම් ගැටලුවක් මතු වූ විට එය පැවැසීමට කෙනකු සිටිය යුතුය.

එසේම ඉතාම වැදගත්ම කරුණ වන්නේ තරුණ දුවකට කිසියම් තරුණයකු එවැනි යෝජනාවක් කළ විට එයට එකඟ විය නොහැකි බව පැවැසීමට අවශ්‍ය ආත්ම ශක්තිය ගොඩනැංවීමය. එවැනි යෝජනාවකට “නැහැ” “මට බැහැ” “ඒක කොහෙත්ම බැහැ” වැනි සෘජු පිළිතුරක් ලබාදීමට දැරිවියක පුරුදු පුහුණු කිරීම කුඩා කාලයේ සිටම කළ යුත්තකි. කෙළින් තම අදහස ප්‍රකාශ කරගත නොහැකිව සිතින් තැවෙමින්, අකමැත්තෙන් මෙවැනි යෝජනාවලට එකඟ වී මුළු ජීවිතයම අඳුරු කරගත් චරිත ඕනෑ තරම් අපට හමුවෙයි.

පෙම් සබඳතා අහිතකර නොවන බවත් ඉන් ඔබ්බට ගොස් ඒවා ලිංගික හැසිරීම් දක්වා වර්ධනය කරගැනීම මගින් ජීවිතයට අත්විය හැකි අඳුරු ඉරණම ගැන දරුවා දිගින් දිගටම දැනුවත් කිරීම කළ යුතුය. යොවුන් දරුවන්ගේ සිතැඟි වටහා ගනිමින් ඔවුනගේ ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු සොයාදීමට කටයුතු කරමින් ඔවුන් හා සමීපව දිවි ගෙවීම මෙවැනි ගැටලු අවම කර ගැනීමට මනා පිටිවහලක් වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාරක අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය නීලමණී රාජපක්ෂ හේවාගීගන විසිනි.

(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී කළ දේශනයක් ඇසුරිනි)

සටහන නිර්මලා කුමාරි සේනාරත්න (ලක්බිම​ පුවත්පත​)

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...