බකමූණේ නිදන් හෑරීමට ආ ‘යකැදුරා’ විපර්යාසයකට ලක්වෙලා

බකමූණ කෝට්ටපිටිය ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය කාලයේ අපූරු සිහිනයක් දුටුවාය. මෙම සිහිනය එක් වරක් නොව කිහිපවරක්ම ඇයට පෙනිණ. ඉන් පැවැසුණේ තම නිවසට ආශ්‍රිත වනගත ස්ථානයක පෙර රජ දරුවන් විසින් නිදන් කළ මහා ධන සම්භාරයක් සහිත නිධානයක් ඇති බවකි. නිසි වත්පිළිවෙත් කොට ඊට අරක්ගත් බහිරවයා පහදවාගත හොත් එම මහා ධන නිධානය තමන් සතු කර ගත හැකි බව ද කිසිවකු ඇයට එම සිහිනයෙන් කියා තිබිණ.
මෙම පවු‍ලේ සමීප ඥාති පිරිසක් මහනුවර, අලවතුගොඩ, තලගහහේන ප්‍රදේශයේ වෙසෙති. එබැවින් ඉහත සඳහන් කාන්තාව දුකේදීත් සැපේදීත් පිහිටට එන එම ඥාතීන් හමුවේ තමන් දුටු ඒ අපූරු සිහිනය හෙළි කළාය. “ඉතින් ඇයි දෙයිහාමුදුරුවනේ ඕකට මුකුත් නොකර ඉන්නේ. තේරෙන්නේ නැද්ද ? ඔයාට ඔයාගේ පූරුවේ වාසනාවක් පෑදෙන්න එනවා කියලා” අලවතුගොඩ ඥාතීහු ඇයට එසේ අවලාද නැගූහ. එහෙත්, එම නිධානය ගැනීමේ අවශ්‍යතාව මිස එය ගත හැකි මගක් පිළිබඳව ගුප්ත විද්‍යාවේ මළ ‍පොතේ අකුරක්වත් නොදැන සිටි බකමූණේ කාන්තාව සහ ඇගේ පවු‍ලේ උදවිය නොදැන සිටියහ. අනෙක් කරුණ වූයේ එම ස්ථානයේ එවන් මහා ධන සම්භාරයක් නිදන් කොට ඇති බව බකමූණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වනවාට එම පවු‍ලේ සාමාජිකයන් තදින්ම විරුද්ධ වීමය.
“හරි, එහෙම නම් අපි ඔය වගේ දේවල් ගැන හොඳට දන්න කට්ටඩියෙක් මේ පැත්තෙන් හරි හොයලා එවන්න බලන්නම්කෝ ඇයි අනේ ඔය වගේ මහා නිධානයක් අත ළඟම තියාගෙන නිකම් බලාගෙන ඉන්න එක මොන තරම් මෝඩ කමක්ද ? හැබැයි මේ කතාව ගැන ඔය පැත්තේ නම් කටේ කෙළ ‍පොදක්වත් බිම හෙළන්න එපා එහෙම වුණොත් ඔයාලට නිධානේ විතරක් ‍නෙවෙයි ඔයාලගේ ජීවිතත් අහිමි වෙන්න ඉඩ තියනවා” අලවතුගොඩ ඥාතීහු බකමූණේ පවු‍ලේ නිවැසියනට එසේ අවවාද කළහ.
දිනය පසුගිය පෙබරවාරි 13 දාය. ප්‍රදේශයේ ගැමියන් උපන් හදවියකට දැක නොතිබූ පිටපළාතකින් පැමිණි අමුත්තන් සය දෙනෙක් බකමූණ කෝට්ටපිටිය ගමට පිවිසුනහ.
නමුදු සෙසු ගැමියනට කෙසේ වෙතත් එම පිරිස තම නිවස අද්දර පිහිටි නිධානය ගොඩගැනීමට එන එවැනි වැඩ ගැන උපන් හපන්කම් දක්වන යකැදුරකු සහ ඔහුගේ ගෝලබාලයන් බව එම සිහිනය දුටු කාන්තාව ඇතුළු එම නිවැසියන්ට රහසක් නොවිණි. සුදු කමිසයකින් සහ කළු දිග කලිසමකින් සැරසී සිටි එම කට්ටඩියා ඒ.එම්. සම්පත් කුමාර, නමැත්තෙකි. එදින දහවල එම නිවසට පැමිණි වේ‍ලේ පටන් සිය ගෝල බාලයන් ද කැටුව, වරින් වර එම නිධානය තිබූ ස්ථානයට ගිය කට්ටඩියා රාත්‍රියේ එම නිධානය ගොඩගැනීමට පෙර බහිරව දේවතාවා වෙනුවෙන් කළ යුතු වත් පිළිවෙත් සහ දිය යුතු බලි බිලි සංවිධානය කරන්නට විය.
එහෙත්, පිට පළාතකින් පැමිණි නාඳුනන පිරිමින් සය දෙනකු එම පාළු ඉසව්වේ හක්කලං කරමින් කුමක් හෝ අමුතු දෙයක් කිරීමට සැරසෙන බව ඔවුන්ගේ පැමිණීම පිළිබඳ තියුණු හෝදිසියකින් සිටි කෝට්ටපිටිය ගැමියන්ට වැටහිණ. ඒ අනුව එම සය දෙනාගේ කණ්ඩායමේ හැසිරීම් දෙස දිගින් දිගටම ඔවුනට රහසින් ඇස ගසා සිටීමට එම ගැමියෝ තීරණය කළහ.
රාත්‍රිය උදාවිය. ගැමියන් ගේ එම සෝදිසිය පිළිබඳව වගේ වගක් නොදත් ප්‍රධාන කට්ටඩියා එම නිධානය ඇති බව පැවැසෙන පාළු ඉසව්වේ බලි බිලි සහිත පූජා තටු, පහන් පැලවල් තනා විලක්කු පන්දම් දල්වා දුම්මල සහ කට්ටකුමන්ජල් සුගන්ධය මැද මන්ත්‍ර සජ්ජායනා කරමින් බහිරවයාට කන්නලව් කරන්නට විය.
මෙලෙස හෝරාවක් දෙකක් පුරා මෙම කන්නලව්ව සිදුවන අතරේ බහිරවයා එහි පැමිණ එම නිධානය හිමි කර ගැනීමේ වරම ඔවුන් වෙත ප්‍රදානය කළ යුතු විණි. එහෙත් බහිරවයා පැමිණිය යුතු මොහොතේ ඒ කිසිවකුත් සිහිනයෙන් වත් නොසිතූ ලෙස එහි කඩා වැදුණේ වෙනයම් පිරිසකි. එනම් බකමූණ ‍පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකි. එහි පැමිණි ඔවුනට මෙහි සිදුවන දෙය තේරුම් ගැනීමට අපහසු නොවිණි. එබැවින් පුරා විද්‍යා ආඥාපනතට අනුව අනවසර කැණීම් යන චෝදනාව යටතේ එම ඇදුරා ඇතුළු සය දෙනාම එම පූජා උපකරණ ද සමග අත්අඩංගුවට පත්වූහ. බකමූණ ‍පොලීසිය මෙම පිරිස ඊට පසුදින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යාන්ත එපිටවල මහතා හමුවට පමුණුවනු ලදුව මාර්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මෙම කතා ප්‍රවෘත්තියේ වඩාත් කුතුහලය දනවන කොටස ඇරඹෙන්නේ මෙතැන් සිටය.
‍පොළොන්නරුව බන්ධනාගාරයේ රිමාන්ඩ් සිර මැදිරියට ගෙන යන මෙම පිරිස අතුරින් යකැදුරා වන සම්පත් කුමාර ගේ හැසිරීම් කෙරෙහි සෙසු රැඳවියන් ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද විශේෂ අවධානය යොමු විය. සෙසු රැඳවියන් අතරේ අපහසුවට පත්වන සම්පත් කුමාර තමන් අතරින් සැඟවී සිටින්නට දරන වෑයම රිමාන්ඩ් මැදිරිය හොඳට හුරුපුරුදු රැඳවියන්ට ඉතා හොඳින් පෙනිණි. ඒ අනුව ඔවුහු සම්පත් කුමාර ගේ හැසිරීම් සියුම් ලෙස නිරීක්ෂණය කරන්නට වූහ. විශේෂයෙන් රිමාන්ඩ් රැඳවියන් සඳහා වෙන් කර තිබූ වැසිකිළිය භාවිතා කිරීම සඳහා සම්පත් කුමාර නමැති යකැදුරා දක්වන පසුබෑම ඔස්සේ ඇතිකර ගත් සුවිශේෂ සැකයක්, බන්ධනාගාර නිලධාරීන් තුළ ද ඇති වූ බැවින් ඔහු පිළිබඳ වාර්තාවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත සපයන ලදී. ඒ අනුව සම්පත් කුමාර වෛද්‍ය පරීක්ෂණයට යොමු කොට තමන් වෙත වාර්තාවක් සපයන ලෙස හිඟුරක්ගොඩ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා වෙත නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම ‍පොලීසියට භාර කළේය. ඒ අනුව එම සම්පත් කුමාර පරීක්ෂාවට ලක් කළ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී තැන සිය වාර්තාව මගින් සනාථ කොට සිටියේ සම්පත් කුමාර යන නමින් පෙනී සිට ඇත්තේ පිරිමියකු නොව ගැහැනියක බව ය. කෙසේ හෝ පසුගිය මාර්තු 11 දා ඒ. එම්. සම්පත් කුමාර නමින් පෙනී සිටි කාන්තාව සහ සෙසු සැකකරුවන් පස්දෙනා නැවත හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලදී. එහිදී අනවසර කැණීම යන චෝදනාව යටතේ වරද පිළිගත් හෙයින් ඉන් එක් අයකුට රුපියල් විසිපන්දහස බැගින් දඩ මුදල් නියම කළ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවල මහතා නීතිය හමුවේ අන් අයකු ලෙසින් පෙනී සිටීම ‍පොලිස් නිලධාරීන්ට අසත්‍ය තොරතුරු සැපයීම යන චෝදනා දෙක යටතේ පසුගිය විසි පස්වනදා දක්වා එම කාන්තාව නැවත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.
මෙහිදී තමන් අරක් ගත් නිධානයකට අත පෙවූ වරදට ඒ.එම්. සම්පත් කුමාර ගැහැනියක කිරීමට බහිරවයා කටයුතු කරන්නට ඇතැයි යමකුට හැඟෙන්නට පුළුවන. එහෙත් එය ද හුදු අසත්‍යයක් වනුයේ එම්.ඒ. සම්පත් කුමාර නමින් පෙනී සිට ඇත්තේ අලවතුගොඩ, තලගහහේන ප්‍රදේශයේ පදිංචි හතළිස් අට හැවිරිදි කාන්තාවක බව මේ වන විට තහවුරු වී ඇති බැවිනි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...