ගම්පහ , වැලිවේරිය , රතුපස්වල ප්‍රදේශයේ ඇතිවී තිබෙන ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණය අතරවාරයේ ආරක්ෂක අංශ සහ ජනතාව අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් විසිදෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. ඉන් බොහෝ දෙනකු පැවසුවේ වැලිවේරියේදී වෙඩි වැදුණු බවයි. මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් එක් පුද්ගලයෙකු ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වූ අතර හෙතෙම අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකි.
මොවුන් ඊයේ දහවල් සිට රාත්‍රී 9.00 පමණ වන තුරුම කඩුවෙල බැලුම්මහර, නවනුවර මාර්ගයේ වැලිවේරිය හන්දියේ උද්ඝෝෂණයේ නිරත වූ අතර උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගය පැය කිහිපයක් වසා තැබුණි.
පසුව ආරක්ෂක අංශ විසින් මාර්ගයෙන් ඉවත් වීමට ජනතාවට දැනුම්දීමත් සමඟ ජනතාව සහ පොලිසිය අතර කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් හට ගත් අතර එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදාව ද කැඳවන ලදී. මෙම අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වය ගැටුමක් බවට පත්වූ බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
ආරක්ෂක අංශ විසින් ජනතාවට පහරදෙමින් පිරිස විසුරුවා හැරීමට උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන් විසින් පෙරළා පොලිසියට ද ගල්මුල් ප්‍රහාර එල්ල කළහ. ආරක්ෂක අංශ සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන් වන අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් ඊයේ රාත්‍රී 12 පමණ වන තුරුත් ගම්පහ රෝහල වෙත රැගෙන ආ බව වාර්තා වේ.
රතුපස්වල සිද්ධිය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ද වැලිවේරියේදී තුවාල ලබා නළලේ මැහුම් දැමිය යුතු තුවාල ලබා සිටියත් ඊයේ (1) රාත්‍රී අට වන තුරු ප්‍රතිකාර ගැනීමට රෝහලකට යෑමට ආධාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණැයි වාර්තා විය. ඇය සිටින ස්ථානය කුමක්දැයි කීමට ඇය දැන නොසිටියාය.
එසේම වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජලය අපවිත්‍රවීමට හේතුව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති අතර ඊට ජල සම්පාදන මණ්ඩලය, විශ්ව විද්යාල, සහ අදාළ අංශ ඒකාබද්ධව මෙම පරික්ෂණ සිදුකිරීමටයි තීරණය වී ඇත.
සති දෙකක් ඇතුළත අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමටත් තීරණය වී ඇත.