බිබිසී ආයතනය කැළඹූ ලිංගික අපචාර චෝදනාව

ජේම්ස් සැවිල් උපන්නේ එංගලන්තයේ යෝක්ෂයර් කෝරළයේ ලීඩ්ස්හිදීය.ඒ 1926 වසරේදීය. රෝමානු කතෝලික පවුලක උපන් ජේම්ස් කුඩා කලදී දෙමව්පියන්ට කීකරු යහපත් දරුවෙකු ලෙස නමක් දිනාගත්තේය.
ගැටවර වියේ සිට සංගීතයට ඇළුම් කළ ජේම්ස් 1940 ගණන්වල මුල් භාගයේදී නැටුම් ශාලාවල ගී තැටි වාදනය කිරීම භාරව සිටීමේ කාර්යයට අතගැසුවේය. ඒ අනුව ලොව පළමු ඩිස්ක් ජොකී හෙවත් ගීත තැටි වාදනය කරන්නා ලෙසද ජේම්ස් සැලකෙයි.මේ අතරතුර මල්ලව ‍පොර, ධාවන හා පාපැදි තරගකරුවෙකු ලෙසද ඔහු නමක් දිනාගත්තේය. පසුකලෙක ජේම්ස් සැවිල් කියා තිබුණේ කොණ්ඩය වවාගත් ඩිස්ක් ජොකී කෙනෙකුට පැරදී ගෙදර යන්නට කැමති වෘත්තීය මල්ලව‍පොර ශූරයෙකු එදා නොසිටි බැවින් මල්ලව ‍පොර තරග බිමෙන් සමුගන්නාවිට තම ඇඟේ නොකැඩුණු ඇටකට්ටක් හොයාගන්නට නොතිබුණු බවය.
කාලය මෙසේ ගෙවී ගියේය. 1964 දී විකාශය වීම ඇරඹූ බ්‍රිතාන්‍ය රූපවාහිනී සේවයේ ‘ටොප් ඔෆ් ද ‍පොප්ස්’ ගීත දර්ශකය මෙහෙයවන්නා ලෙස හා ‘ජිම් විල් ෆික්ස් ඉට්’ නම් රූපවාහිනී වැඩසටහන් මාලාවේ පෙනී සිටිමින් ලොව පුරා ප්‍රකටවන්නට හා ජනප්‍රිය වන්නට ජේම්ස් සැවිල්ට හැකි විය.මේ වනවිට ඔහු ප්‍රකට වූයේ ජිමී සැවිල් ලෙසය. හොඳ සමාජ සේවකයෙකු වූ ඔහු පවුම් මිලියන හතලිහකට කිට්ටු මුදලක් සමාජ සේවය සඳහා රැස්කරදුන් අතර මහරැජිණගෙන් නම්බු නාමයක්ද ලබාගෙන වයස අවුරුදු අසුහතරක් ගෙවා කිසිදා විවාහ නොවී ගිය වසරේ මියයනවිට හැඳින්වුණේ ශ්‍රීමත් ජේම්ස් සැවිල් ලෙසිනි. රන්වන් පැහැ පෙට්ටියක බහාලූ ඔහුගේ දේහය මහජන ගෞරවය පිණිස ලීඩ්ස් හි කුවීන්ස් හෝටලයේ තැන්පත් කර තිබුණු අතර දේහයට ගරු කරන්නට හාරදහසකට අධික පිරිසක් පැමිණ තිබිණි.
මෙම බිබිසී නිවේදකයාගේ බැටළු හම ගැලවුණේ පසුගියදාය. ඒ තම ජනප්‍රියත්වය උපයෝගී කරගෙන ඔහු ලොවට රහසේ ළමා ලිංගික අපයෝජනයන් රැසක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවීමත් සමගය. මේ ඇතැම් අපයෝජනයන් සිදුකර තිබුණේ ලෝක ප්‍රකට බිබිසී ආයතනයේ මැදිරි තුළදීම වීම මෙම සිද්ධියේ ආන්දෝලනය තවත් වැඩි කරන්නක් විය. අපචාරයට ලක්වූ ඇතැම් දැරියන් බිබිසී වැඩසටහන්වලට සහභාගි වීමට පැමිණි අය බවද පැවසේ.
මේ වනවිට ස්කොට්ලන්ඩ් යාඩ් රහස් ‍පොලිසිය සැවිල් විසින් සිදුකරන ලද බව කියන ළමා අපයෝජනයන් තුන්සියයක් ගැන තොරතුරු සොයාගෙන තිබේ. ඉන් දෙදෙනෙකු හැර ඉතිරි පිරිස ගැහැනු දරුවන්ය. ඒ අනුව ලොව එතෙක් මතෛක් ජීවත් වූ දරුණුම ළමා අපයෝජකයා සැවිල් බවද කියැවෙයි. මේ ළමා අපයෝජන චෝදනාවන් ජීවත්ව සිටින කාලයේදීම විටින් විට ඔහු වෙත එල්ලවුවත් ඒ හැම අවස්ථාවකදීම යටපත්ව ගොස් තිබිණි. වරක් බිබිසී ආයතනයේම වැඩසටහනක් විසින් සැවිල්ට එරෙහි මෙම චෝදනා සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කරන්නට පියවර ගෙන ඇතත් යම් යම් බලපෑම් මත එයද යටපත් කර දමා ඇති බවට මේ වනවිට බිබිසී යටද චෝදනා එල්ල වෙයි. මෙම තත්ත්වය බිබිසී ආයතනයේ කීර්ති නාමයට දැඩි බලපෑමක් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
තමාට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ සැවිල් වරක් මාධ්‍ය වෙත පවසා තිබුණේ තමා ළමයින්ගේ නිරුවත් රූප නරඹනු ඇතැයි ලෝකය සැකකරන්නට ඉඩ ඇති නිසා කිසිදිනක පරිගණකයක් හෝ තමා සතුව නොතිබූ බවය.2008 දී තමාට ළමා ලිංගික අපයෝජනයන් පිළිබඳ චෝදනා එල්ල කළ බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පතට එරෙහිව ඔහු නඩු මගට බැස්සේය.තමාට මඩ ගසන බව කියමින් ‍පොදුවේ ටැබ්ලොයිඩ් පුවත්පත්වලට බැණ වැදුණේය.
ජිමී සැවිල්ගේ මරණයෙන් වසරකට කිට්ටු කාලයක් ගතවනවිට එනම් ගිය මාසයේ ජ්ඔඉඋඅජ්-ඊඩ්ජ් ඊඩ්ජ්අ ඉච්ජ් ජ් බ්ර්ර්ක ඉඒඹ්ජ් නමින් වාර්තා චිත්‍රපටයක් විකාශය කරන බව එක් රූපවාහිනී විකාශයක් කියා සිටියේය. 1960-70 ගණන් අතර කාලයේදී එවකට දැරියන්ව සිටි කාන්තාවන් දසදෙනෙකු මේ තුළින් පෙනී සිට තමාව ජිමී සැවිල් දූෂණය කළ ආකාරය විස්තර කරන බවට වූ ප්‍රචාරයෙන් මාධ්‍ය මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි ලෙස කැළඹිණි. 2012 ඔක්තෝබර් තුන්වැනිදා මෙම වැඩසටහන විකාශය වූ අතර සැවිල් ගැන තව තවත් තොරතුරු ඒ සමග පිටතට පැමිණියේය. ආරක්ෂක අංශ රට පුරා ගොස් මේ වනවිට දෙසීයකට අධික පිරිසකගෙන් සැවිල්ට එරෙහි චෝදනා ගැන සාක්ෂි ලබාගෙන තිබේ.සැවිල් අතින් අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් අතර ඔහුගේ ඥාති දියණියකද වෙයි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු දොළහකි. වර්තමානයේදී වයස අවුරුදු හතලිස්නමයක් වන ඇයව ජිමී විසින් අපයෝජනයට ලක්කරන ලද්දේ එවකට ඇගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වන බේ සිටි රෝලර්ස් මුණගැසීමේ අවස්ථාවක් ලබාදෙන බව කියමින් බව පැවසේ.
මේ කතාව හෙළිදරව් වීමත් සමග ජිමී සැවිල් නමින් නම්කර ඇති ස්ථානවල නාම පුවරු පවා වෙනස් කරන්නට අදාල බලධාරීන් පෙළඹී තිබේ. පසුගියදා මේ සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ්යාඩ් ‍පොලිසිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අවස්ථාවේ සැවිල් කවුදැයි හෙළිදරව් කිරීම ගැන ඊට සහභාගිවූ ‍පොලිස් ප්‍රධානියෙකු මාධ්‍ය වෙත තම ස්තූතිය පලකොට තිබුණි. අපයෝජනයට ලක්වූ දැරියන්ගේ ඥාතීන්ද ඊට සහභාගි වූ අතර ඔවුන් ඉල්ලා තිබුණේ සැවිල් භුමදානය කළ තැන තැන්පත් කළ සොහොන් ගල පවා උදුරා විනාශකොට දැමිය යුතු බවය. තම ඥාතියාගේ නොමනා ක්‍රියාකලාපය ගැන සමාව අයදිමින් සැවිල් පවු‍ලේ සාමාජිකයෙකු විසින් නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ දැක්වෙයි.
“අපේ වේදනාව හා බලා‍පොරොත්තු කඩවීම පීඩාවට ලක්වූවන්ගේ වේදනාවට සමාන කළ නොහැකි බව අපි දනිමු.අප හඳුනන හා අප විසින් ආදරය කරනු ලැබූ පුද්ගලයා මෙවැන්නක් කළේ කොහොමද? වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත්වූ සියල්ලන් ගැන සංවේදී වන අප ඔවුන් වෙනුවෙන් දෙවියන් යදින අතර ඔවුන් ගත කළ දුෂ්කර කාලය ගැන අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු. ඔවුන් මීට පෙර මෙම හෙළිදරව්වන් නොකිරීම අපට වටහාගත හැකි අතර දැන්වත් සියල්ල හෙළිකිරීමට ඔවුන් සතු වූ ධෛර්යය අගය කරමු”

http://youtu.be/RISSoVNNLk4

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...