16 C
London
Thursday, November 13, 2025
spot_img

බොදු බලයේ බදුලු රැස්වීම තහනම්

හාලිඇළ – පියල් කිත්සිරි

උද්ඝෝෂණ, පෙළපාළි රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා සංවිධානයට සහ සිහළ රාවයට තහනම් කරමින් ඊයේ (18දා) බදුල්ල මහෙස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය තහනම් නියෝගයක් නිකුත් කළාය.

බදුල්ල පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර, විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක යන මහත්වරුන් ඊයේ (18දා) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බොදු බලසේනා හා සිහළ රාවය යන සංවිධාන බදුල්ල නගරයේ උද්ඝෝෂණයක් හා පෙළපාළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එය සිංහල, මුස්ලිම් ගැටුමකට හේතුවිය හැකි නිසා එය තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
අලුත්ගම, දර්ගා නගරය සහ බේරුවල ආදී ප්‍රදේශවල පසුගියදා ඇති වූ ආකාරයේ අවාසනාවන්ත සිද්ධියක් බදුල්ල ප්‍රදේශයේත් මේ හරහා ඇතිවීමේ අනතුරක් ඇතැයි මෙහිදී කරුණු දක්වමින් පැවැසූ එම පොලිස් නිලධාරීන් පිටස්තර ප්‍රදේශවලින් උද්ඝෝෂණ හා පෙළපාළි සඳහා පිරිස් රැගෙන විත් ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇතැයිද මේ සියලු කටයුතු බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි ජී.ඩී.එන්. දයාසිරි නමැත්තකු විසින් සංවිධානය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති නිසා අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 106 වැනි වගන්තියට අනුව රැස්වීම්, පෙළපාළි, උද්ඝෝෂණ සංවිධානය හා පැවැත්වීම තහනම් කරමින් එම පුද්ගලයාට තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ බදුල්ල මහෙස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය පෙළපාළි, උද්ඝෝෂණ, රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා හා සිහළ රාවයට තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කළාය.
මේ අතර ඊයේ (18දා) බදුල්ල නගරය පුරා පොලිස් කැරැලි මර්දන අංශයේ නිලධාරීන් යොදවා නගරයේ ආරක්ෂාව තර කර තිබෙන අයුරු දක්නට ලැබිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles