බොන්නේ නැතිවත් සිරෝසිස්

සමාජයේ ප්‍රචලිත මතය වන්නේ “සිරෝසීස්” නම් රෝගය ඇතිවන්නේ අධික බීමත්කම නිසා බවය. එය තරමක් දුරට සත්‍යය. එහෙත් එම අදහස සැම විටම සත්‍ය නොවේ.

සිරෝසීස් යනු අක්මාව ආශි‍්‍රතව ඇතිවන්නා වූ රෝගී තත්ත්වයකි. අක්මාව තුළ තිබිය යුතු සාමාන්‍ය සංයුතිය වෙනස් වී එය තුළ තන්තුමය පටක ප්‍රමාණය වැඩිවීම සිරෝසීස් රෝගය ලෙස සරලව හැඳින්විය හැකිය. අක්මාව යනු අපගේ ශරීරයට ඉතා විශාල මෙහෙයක් ඉටුකරනු ලබන ඉතා වටිනා ඉතා මෘදු ශරීර අවයවයකි; ඉන්ද්‍රියකි. සිරෝසීස් රෝගය නිසා අක්මාවේ ස්වභාවය වෙනස් වේ. එහිදී අක්මාවේ මෘදු බව නැතිව ගොස් තන්තුමය ස්වභාවය වැඩිවී එය තුළ ගැට සහිත ස්වභාවය වැඩි වේ. ප්‍රධාන වශයෙන්ම මෙහිදී අක්මාවේ පරිමාවේ අඩුවීමක් සිදු වේ. සිරෝසීස් රෝගය නිසා අක්මාව තුළ සිදුවන ව්‍යුහාත්මක වෙනස්කම් ඒවාය.

ඊට අමතරව සිරෝසීස් රෝගය අක්මාවේ සිදුකෙරෙන විවිධ පරිවෘත්තීය ක්‍රියාවන්ට බාධා පමුණුවයි. ග්ලුකෝස් නිපදවීම, රුධිරයේ තිබෙන ඇල්බියුමින් ග්ලොබියුලින් වැනි ප්ලැස්මා ප්‍රෝටීන වර්ග නිපදවීම, ග්ලුකෝස් පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කිරීම අපගේ රුධිරය කැටි ගැසීම වළක්වාලන ප්‍රෝටීන නිපදවීම, අක්මාව ඉටුකරනු ලබන කාර්යයන් අතරින් කීපයකි.

මීට අමතරව අප ගනු ලබන ආහාර වර්ග ජීර්ණයේදී ඇතිවන ඇමෝනියා නිසි ලෙස පරිහරණය කිරීම අක්මාව සිදු කරනු ලබන තවත් විශේෂ කාර්යයකි. එවැනි කාර්යන් රැසක්ම සිදු කරනු ලබන අක්මාවට එම කාර්යයන් කරගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ ඉතා භයානක රෝග ගණනාවකට අපට ගොදුරු වීමට සිදුවීමය; අප වෙතින් සංකූලතා, රෝග ලක්ෂණ ගණනාවක්ම පෙන්නුම් කිරීමය.

සිරෝසීස් රෝගය නිසා අප වෙතින් පෙන්නුම් කරන ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ රෝගියාගේ ශරීරය ඉදිමීමය. රුධිරයේ ග්ලොබියුලින් ප්‍රෝටීන ප්‍රමාණය අඩුවීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු කිරීමට හෝ නැතිකර දැමීමට වුවද හේතු වේ. සිරෝසීස් රෝගය ඇත්තන් වෙනත් විවිධ රෝගවලට පහසුවෙන්ම ගොදුරු වන්නේ මේ නිසාය.

කලින් සඳහන් කළාක් මෙන් අපට අවශ්‍ය වේලාවට අක්මාව තුළ ග්ලූකෝස් නිපදවීමත්, ග්ලුකෝස් වැඩිපුර ඇතිවිට ග්ලයිකොජන් ලෙස ඒවා තැන්පත් වීමත් සිදු වේ. සිරෝසීස් රෝගය නිසා අක්මාවට ග්ලුකෝස් නිපදවීම අපහසු වූ විට ශරීරයට ග්ලුකෝස් හිඟයක් ඇති වේ. මෙහිදී රෝගියාගේ අසාමාන්‍ය ස්නායු දුබලතාවයක් වැනි සිහි කල්පනාවේ අඩුවීමක් ඇතිවීමට හැකියාව ඇත. ඊටත් අමතරව අක්මාව දුර්වල වූ විට රුධිරය කැටි ගැසීමේ දුර්වලතා මතු වේ. එහි ප්‍රතිඵලය අභ්‍යන්තරව සහ බාහිරව සිදුවන රුධිර වහනයක් විය හැකිය.

එම අවස්ථාවේදී රෝගියාට එන්නතක් ලබාදුන් විටෙක වුවද එම ස්ථානයෙන් වුවද රුධිර වහනයක් සිදුවීමට ඉඩ ඇත. අක්මාවේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමේ ප්‍රතිඵලයක් වන්නේ රුධිරයේ ඇමෝනියා ප්‍රමාණය වැඩිවීමය. එය සිහි කල්පනාව අඩුවීමට ප්‍රබල සාධකයක් බව හෙළි වී ඇත.

එවැනි සංකූලතා රැසක්ම ඇතිවීමට හේතු වන සිරෝසිස් රෝගය ඇතිවීමට බලපානු ලබන සාධක පිළිබඳව දැන් අපි විමසා බලමු. මෙහිදී ප්‍රධාන වශයෙන්ම හේතු 3 ක් දැක්විය හැකිය. ඉන් පළමුවැන්න Congenital Cirrhosis රෝගයය. මෙය යමෙකු උපදින විටම ඇතිවන අක්මාවේ රෝගී තත්ත්වයකි.

අනෙක් හේතු දෙක ලෙස Alcoholic Cirrhosis රෝගය ඇතිවීමට හේතු වන ඇල්කොහොල් සහ Non Alcoholic Cirrhosis රෝගය ඇතිවීමට හේතු වන ඇල්කොහොල් නොවන වෙනත් හේතූන් ලෙස දැක්වීමට හැකිය.

මෙහිදී Alcoholic Cirrhosis රෝගයට හේතුව ඇල්කොහොල් භාවිතය බව පැහැදිලිය. එසේ වුවද Non Alcoholic Cirrhosis නම් රෝගී තත්ත්වය පිළිබඳව කතා කිරීමේ දී එකිනෙකට වෙනස් හේතූන් ගණනාවක්ම නිසා එම රෝග තත්ත්වය ඇතිවන බව පැහැදිලිය.

සෘජුවම ඇල්කොහොල් නිසා ඇතිවන සිරෝසිස් රෝගය පිළිබඳව මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් එලෙස ඇල්කොහොල් නිසා සිරෝසීස් රෝගයට ගොදුරු වන්නේ දිනපතා මත්පැන් බොන මත්පැන් ලෝලීන් පමණක් නොවන බවය. ඉඳහිට මත්පැන් ඉතා සුළු ප්‍රමාණයක් භාවිත කරන අයකු වුවද මෙම රෝගයට ගොදුරු වීමේ හැකියාව ඇත. එසේම ප්‍රමාණය ඉක්මවා ඇල්කොහොල් භාවිත කරන පුද්ගලයකුට වුවද ඇල්කොහොල් නිසා ඇතිවන සිරෝසීස් රෝගය ඇති නොවී තිබිය හැකි බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

මෙයින් පැහැදිලි වන්නේ සිරෝසීස් රෝගය ඇතිවන්නේ මෙතරම් ඇල්කොහොල් ප්‍රමාණයක් මෙතරම් කාලයක් ගත් විට යැයි කීම අපහසු බවය. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ එක් එක් පුද්ගලයාගේ ශරීරයේ ජාන සංයුතිය බව පැහැදිලිය. ඇල්කොහොල් නිසා සිරෝසීස් රෝගයට ගොදුරු වන කාන්තාවන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් අඩුය. එය සියයට 2 ක ප්‍රමාණයක් බව පෙනී යයි.

සිරෝසීස් රෝගයේදී අප විශේෂයෙන්ම සලකා බැලිය යුතු වන්නේ ඇල්කොහොල්වලින් තොරව ඇතිවන සිරෝසිස් රෝගයට හේතු වන සාධක පිළිබඳය. මෙම රෝගී තත්ත්වය හේතු ගණනාවක්ම නිසා හටගත හැකි බව පෙනී ගොස් ඇත.

ඉන් ප්‍රධානම හේතුව ලෙස දැක්විය හැක්කේ අපගේ ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවල ජානගත වෙනස්වීම්ය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ අක්මාව තුළ යකඩ (අයන් මූලද්‍රව්‍ය) තැන්පත් වීමය. ඕනෑම පුද්ගලයකුගේ ශරීරයේ යකඩ පරිවෘත්තිය ක්‍රියාවලිය සිදුවන්නේ අක්මාව තුළ ය. අක්මාව තුළ යකඩ තැන්පත් වන්නේ එබැවිනි.

අක්මාව තුළ යකඩ තැන්පත් වීම සිරෝසිස් රෝගය මෙන්ම වෙනත් අක්මා රෝග කීපයකටම හේතු වන බව පෙනී යයි. දියවැඩියාව රෝගය ඉන් ප්‍රධානය. අක්මාව තුළ තඹ ලෝහය තැන්පත් වීම නිසා ද සිරෝසීස් රෝගය ඇතිවන බව දැන් හෙළි වී ඇත. අක්මාව තුළ තිබිය යුතු යම් යම් එන්සයිමයන්හි ඇතිවන ඌනතා ද සිරෝසීස් රෝගයට හේතු වන බව පැහැදිලිය. ඊටත් අමතරව දීර්ඝ කාලීනව අක්මාවට බලපානු ලබන ආසාදනික තත්ත්වයන් ද සිරෝසීස් රෝගයට හේතු වේ. විශේෂයෙන්ම හෙපටයිටිස් ‘බී’ සහ හෙපටයිටිස් ‘සී’ වැනි ආසාදනය. අක්මාව තුළ සිරෝසීස් රෝගය ඇතිවීමට මෙම විෂබීජ හේතු වන්නේ ඒවා අක්මාව තුළ කාලයක් තිස්සේ තැන්පත්ව තිබීමය.

අපගේ ශරීරය හරිම පුදුම නිමැවුමකි. ඉන් එක් පුදුමයක් වන්නේ අපගේ ඇතැම් ශරීර ඉන්ද්‍රියයන්ට විරුද්ධව අපගේ ශරීරය තුළින්ම ප්‍රතික්‍රියාවන් ඇතිවීමය. එහි ප්‍රතිඵලය වන්නේ එම ඉන්ද්‍රියයන් තුළ රෝගාබාධ ඇතිවීමය. ආතරයිටිස් රෝගය, සුදු කබර රෝගය ඇතැම් පටක රෝග ඇතැම් චර්ම රෝග ආදිය මෙහිදී ඇතිවිය හැකිය. ඉහත අයුරින්ම අක්මාවට විරුද්ධව අක්මාව තුළින්ම ප්‍රතික්‍රියාවක් ඇතිවීමට ඉඩ ඇත. එහි ප්‍රතිඵලය වන්නේ ඇල්කොහොල් වලින් තොරව අක්මාව තුළ ඇතිවන සිරෝසිස් රෝගයයි.

ඇල්කොහොල්වලින් තොරව අක්මාව තුළ සිරෝසිස් රෝගය ඇතිවීමට බලපාන තවත් ප්‍රධාන හේතුවක් වන්නේ වෙනත් රෝගාබාධවලට ගන්නා විවිධ වූ ඖෂධයි. මෙහිදී ඇතැම් බටහිර ඖෂධ මෙන්ම ශාක නිස්සාරණයෙන් සාදා ගන්නා අරිෂ්ට වැනි ඖෂධ නිසාද ඇල්කොහොල්වලින් තොරව ඇතිවන සිරෝසිස් රෝගය ඇතිවන බව හෙළිවී ඇත. කිසි දිනෙක මත්පැන් නොබීවද අරිෂ්ට වැනි ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව දිගටම ලබාගත් ඇතැම් වයස්ගත කාන්තාවන් සිරෝසිස් රෝගයට ගොදුරුවී මිය යන්නේ එම හේතුව නිසාය.

ඊට අමතරව කිසියම් සුවිශේෂී හේතුවක් නැතිව සිරෝසීස් රෝගයට ගොදුරු වී ඇති රෝගීහු ද සිටිති. එමෙන්ම දීර්ඝකාලීනව අක්මාව තුළ මේදය තැන්පත් වීම ද සිරෝසීස් රෝගයට හේතුවන බව දැන් හෙළිවී ඇත. අක්මාව තුළ මේදය තැන්පත් වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ එබැවිනි.

සිරෝසීස් රෝගයේ ප්‍රධානම ලක්ෂණය වන්නේ විශේෂ රෝග ලක්ෂණ කිසිවක් මුල් අවස්ථාවේ පෙන්නුම් නොකිරීමය. බොහෝවිට රෝගියකු තමාට සිරෝසිස් තත්ත්වයක් ඇතැයි කියා දැන ගන්නේ වෙනත් රෝගයක් සඳහා වෛද්‍යවරයකු හමුවීමට ගිය විටය.

එබැවින් බොහෝ රෝගීන් වෙතින් සිරෝසීස් හඳුනා ගන්නේ සංකූලතා පෙන්නුම් කළාට පසුවය. එහෙත් අක්මාවේ සිරෝසීස් රෝගී තත්ත්වය ඇතිදැයි හඳුනා ගැනීමට රුධිරය පරීක්‍ෂණ දෙකක් මෙන්ම ස්කෑන් පරීක්‍ෂණයක් සාර්ථකව යොදා ගත හැකිය. එසේ වුවද සිරෝසීස් රෝගය සඳහාම ස්කෑන් පරීක්‍ෂාවක් කර ගැනීම බොහෝවිට ශ්‍රී ලංකාව තුළ තවමත් සිදුකරන්නේ නැත. ඒ එවැනි පහසුකම් බහුල නොවන බැවිනි.

ශරීරයේ කොලෙස්ටරෝල් මේදය වැඩි පුද්ගලයන් තුළ, විශාල උදරයක් සහිත පුද්ගලයන් තුළ ද සිරෝසිස් රෝගය ඇතිවීමේ හැකියාව වැඩිය. එහෙත් ඉහතින් දැක්වූ කිසිදු හේතුවක් නැතිව වුව ඉතා කෙට්ටු ශරීර ඇති පුද්ගලයන් තුළද මේ රෝගය ඇතිවීමේ හැකියාව ඇත.

ඇල්කොහොල්වලින් තොරව සිරෝසිස් රෝගය ඇතිවන පුද්ගලයන් තුළ තවත් රෝග ගණනාවක්ම ඇතිවීමේ අවදානමක් ද ඇත. අධිරුධිර පීඩනය, දියවැඩියාව, මේදයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම ඉන් ප්‍රධානය. ඊටත් අමතරව එම පුද්ගලයන් තුළ අක්මා පිළිකා ඇතිවීමේ ඉතා සුළු අවදානමක් ඇති බවද පෙනේ.

ඇල්කොහොල් නිසා මෙන්ම ඇල්කොහොල් වලින් තොරව ඇතිවන සිරෝසීස් රෝගයට නිසි ප්‍රතිකාර නොගෙන කලක් ගතවූ විට එය අක්මාවේ පිළිකාමය තත්ත්වයක් ඇතිවීමට හේතු විය හැකිය. මෙහිදී මතුවන ප්‍රධානම ගැටලුව වන්නේ අක්මාවේ ඇතිවන පිළිකා බොහෝවිට හඳුනා ගැනෙන්නේ රෝගය පැතිරී අවසාන අවස්ථාවේදී වීමය.

එබැවින් යමෙකුට වසර 10 කට වඩා වැඩි කලක් තිස්සේ සිරෝසීස් රෝගය පවතී නම් අක්මාවේ ස්කෑන් පරීක්‍ෂණයක් කර ගැනීම ඉතා සුදුසුය.

කිනම් අයුරකින් හෝ සිරෝසිස් රෝගය ඇතිවීමෙන් පසුව රෝගීන් කෙරෙන් බොහෝ සංකූලතා පෙන්නුම් කිරීමට පටන් ගනී. සාමාන්‍ය සිහිකල්පනාව වෙනස්්වීම ඉන් ප්‍රධානය. මොවුන්ට රාත්‍රියට නින්ද නොයන අතර දහවල් කාලයේ නිදා ගනී. එසේම මොවුන්ගේ හැසිරීමේ වෙනස්කම් ඇතිවේ. වෙනදා ප්‍රසිද්ධියේ නොකියන දේ ප්‍රකාශ කිරීම ඉන් එක වෙනස්කමකි. මෙම තත්ත්වය හොඳින් තේරුම් නොගෙන මොවුන්ව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළහොත් සිදුවන්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධ නිසා සත්‍ය රෝගී තත්ත්වය තවත් උත්සන්න වීමය.

එබැවින් කිසියම් පුද්ගලයකුගේ හැසිරීමේ වෙන්සකම් නිසා ඔහුට ඇත්තේ මානසික රෝගී තත්ත්වයක්දැයි තීරණය කිරීමට පෙර එම පුද්ගලයාගේ අක්මාවේ ගැටලුවක් ඇතිදැයි පරීක්‍ෂා කර බැලීම වැදගත්ය.

සිරෝසීස් රෝගය තරමක් උත්සන්න වූ විට ඇතිවන සංකූලතා වන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව රුධිර වහනයක් සිදුවීමය. “රෝගියා ලේ වමනය කළා” යැයි කියන්නේ මෙම අවස්ථාවය. මෙහිදී ඍජුවම රෝගියාගේ කටින් රුධිරය පිටවන්නේ නම්, එය රතු පැහැයෙන් දැක ගත හැකි වනු ඇත. එම රුධිරය අක්මාවේ පැයක් පමණ තිබී එළියට පැමිණියේ නම්, එම රුධිරය පෙනෙන්නේ කෝපි කුඩු පාටටය. එසේම එම රුධිරය මල සමඟ ගුද මාර්ගයෙන් පිටවූයේ නම් තාර කළු පැහැයෙන් පිටවේ. මෙවැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් රෝගියා තුළ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඇති බව නිගමනය කළ හැකිය. මෙහිදී වහා ප්‍රතිකාර අවශ්‍ය වේ.

සංකූලතා පෙන්නුම් කිරීමෙන් පසුව ඇල්කොහොල් නිසා ඇතිවන සිරෝසීස් රෝගී තත්ත්වය සහ එසේ නොවන සිරෝසීස් රෝගය අතර වෙනසක් හෝ ප්‍රතිකාරවල වෙනසක් හෝ නැත. සිරෝසීස් රෝගයට ප්‍රතිකාර කරනු ලබන්නේ රෝගයේ අවස්ථා 4 ක් පිළිබඳව සැලකිලිමත් වීමෙනි.

රෝගය පවතින්නේ පළමු සහ දෙවැනි අවස්ථාවල නම් එහිදී ඖෂධීය ප්‍රතිකාර පමණක් ලබාදෙනු ලැබේ. රෝගය පවතින්නේ තුන්වැනි හෝ හතරවැනි අවස්ථාවේ නම්, රබර් වෙලුම් යොදා අක්මාවේ රුධිර වහනය නතර කරනු ලැබේ. එය ශල්‍යකර්මයකි. නවීන ප්‍රතිකාර ක්‍රම නිසා මෙම රෝගය හොඳින් සුවපත් කර ගැනීමේ හැකියාව අද ඇත. එහෙත් වෛද්‍ය උපදෙස් අනුව තම හැසිරීම් පාලනය කර ගැනීම ඉතාම අවශ්‍යවේ.

වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව වෛද්‍ය උපදෙස් පිළිපැදීම ද ඉතා අවශ්‍යවේ. ඖෂධීය ප්‍රතිකාරවලට අමතරව උදරයට කරනු ලබන ව්‍යායාම ද අවශ්‍යය. එහෙත් එම ව්‍යායාම බොහෝ වේලාවක් කිරීම නුසුදුසුය. විනාඩි 20 ක් පමණ එම ව්‍යායාම කිරීම සුදුසුය.

ඇතැම් විට එවැනි රෝගීන් සඳහා දියවැඩියාව රෝගීන්ට ලබාදෙන “මෙට්ෆෝමීන්” නම් ඖෂධය ලබාදේ ඒ මේවනවිටත් සිරෝසීස් රෝගයට විශේෂිත ඖෂධ සොයාගෙන නැති නිසාය. ඉහත ඖෂධය ලබාදුන් විට ඇතැම් රෝගීන් කලබලයට පත්වනු දැකගත හැකිය. එම ඖෂධය ලබාදෙන්නේ ස්ථුලභාවය අඩුකිරීම, අක්මාවේ මේදය තැන්පත් වීම අඩුවීම, දියවැඩියාවෙන් වැළකීමට හේතුවීම වැනි කාරණා නිසාය.

එබැවින් රෝගීන් වෛද්‍ය උපදෙස් අනුවම එම ඖෂධ ගැනීම වැදගත්ය. මීට කලකට පෙර සිරෝසීස් රෝගීන් සඳහා ප්‍රෝටීන බහුල ආහාර නුසුදුසු බව ප්‍රකාශ කළද අද එම මතය බැහැර වී ඇත. මොවුනට ප්‍රෝටීන අවශ්‍යය. එබැවින් වෛද්‍ය උපදෙස් අනුව සාමාන්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් මෙවැනි රෝගීනට ලබාදීම සුදුසුය.

http://youtu.be/i8a8SLlu6BQ

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...