බොරු ආරූඩයක් නිසා තවත් දැරියක් මිය යයි

උගුරට පිහිය දාල හා‍රලා
අනෙක් දැරිය ගිනි ගොඩට විසි කරයි

දෙහිඅත්තකණ්ඩිය සදිරපුර ගම්මානයේ නිවෙසක බහිරවයන් එළවීමට යැයි කියමින් ඊයේ (28දා) අලුයම යාගයක් කරමින් සිටි අඹුසැමි යුවළක් ආවේශ වී පිහියකින් මුඛයට පහර දී පහළොස් වියැති සිසුවියක ඝාතනය කර ඇත. මෙම අවස්ථාවේ ගිනි තැබීමෙන් අවුරුදු 07ක දැරියක සහ අවුරුදු 19ක් වයසැති එක්දරු මවක බරපතළ පිලිස්සුම් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත. පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ සත් හැවිරිදි දැරිය ඊයේ සවස මියගිය බව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

පිහි ඇනුමෙන් ජීවිතක්‍ෂයට පත් වී ඇත්තේ කදිරපුර අංක 25හි පදිංචිව සිටි ‍ෙදාළකන්ද මහ විදුහලේ 9 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ එච්.එම්. අමන්දා ප්‍රභාෂ්වරී හේරත් නමැති සිසුවියකි. මෙම සිසුවියගේ පියා නොමැති අතර මව විදේශගත වී ඇත. සිය මිත්තණිය සමඟ සිටියදී මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත. තුවාල ලැබූ 19 වියැති එක්දරු මව වන ඊ.පී. චන්දිමා මධුමාලි යන අය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්. චන්දන කුමාර වීරපාන මහතා පැවැසීය.

පොලිසිය විසින් යාගය වූ නිවෙස පරීක්‍ෂා කිරීමේදී එම නිවෙස තුළ වළක් හාරා ඇති බව හෙළි වී ඇති අතර මෙය නිධන් වස්තු හෑරීමක් සඳහා සිදුකරන ලද්දක්ද යන්න ගැන පොලිසියට සැක මතුවී ඇත.
එම සිද්ධියට අදාළව වැල්ලවායේ සිට පැමිණි කට්ටඩියන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් පොලිසියට පවසා තිබෙන්නේ දේවාරූඪයකින් මෙය සිදු කළ බවය. පොලිසිය පවසන අන්දමට එය සිදුවී ඇති අන්දම මෙසේය.

පසුගිය 27 දින ශාන්තිකර්මයක් සිදුකිරීම සඳහා වැල්ලවායේ පුද්ගලයන් දෙදෙනෙක් එම නිවෙසට පැමිණ ඇත. එම ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එච්. ප්‍රදීප් බණ්ඩාර, කේ.එස්. නිරෝෂා කුමාරි යන දෙදෙනාට ඇතිවන දේව ආරූඪයක් හා ආවේශයක් ඉවත් කිරීම සඳහා මෙම කට්ටඩියන් එදින එම නිවෙසේ තොවිලයක් සිදුකර තිබේ.
ශාන්තිකර්මය අවසන් වීමෙන් පසු වැල්ලවාය පදිංචි කට්ටඩියන් දෙදෙනා නිවෙසෙන් පිටව ගොස් තිබේ. පසුව මෙම නිවෙසේ පදිංචි විවාහක යුවළ වන ඩබ්ලිව්.එම්. ප්‍රදීප් බණ්ඩාර සහ කේ.එස්. නිරෝෂා කුමාරි යන දෙදෙනා දේවාරූඪයෙන් ආවේශ වී ඇත. එහිදී එහි සිටි බාල වයස්කාර දරුවන් දෙදෙනාගෙන් එක් අයකු ඝාතනය කර අනෙක් දරුවා සහ තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකර ඇත.

දේවාරූඪ වූ කාන්තාව වන කේ.එස්. නිරෝෂා කුමාරි යන අය විසින් පිහියක් උගුරට දැමීමෙන් එම්.එච්. අමන්දා ප්‍රභාෂ්වරී හේරත් නමැති බාලවයස්කාර දැරිය මියගොස් තිබේ.
මෙම සිද්ධියේදී දේවාරූඪ වූ කාන්තාවගේ විවාහක සැමියා වන ප්‍රදීප් බණ්ඩාර හංසිකා හිරුකුමාරි නමැති හත්හැවිරිදි දැරිය ගිනි ගොඩකට දැමීමෙන් බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කොට පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
මෙම සිද්ධියෙන් චන්ද්‍රා මධුමාලි නමැති 19 හැවිරිදි විවාහක කාන්තාවද පිලිසුම් තුවාල ලබා දැනට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කොට ඇත. එයද සිදුකර ඇත්තේ ආරූඪ වූ කාන්තාව විසින් බවද පොලිසිය පැවැසීය.

මෙම සිද්ධිය ඊයේ අලුයම දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ආරංචි වීමත් සමඟ එහි ගිය පොලිස් කණ්ඩායමට යක්‍ෂාරූඪයෙන් සිටි අඹුසැමි යුවළ මෙල්ල කර අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ඒමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කෙළේය.
ඔවුන් පොලිසියට ගෙන ආ අවස්ථාවේද ආරූඪයෙන් සිටි එම දෙදෙනාගේ අතපය දරදඬු වී තිබූ බවද එම නිලධාරියා පැවැසීය.
එම සිද්ධියට අදාළව මියගිය දැරිය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයක් පැවැත්වීමට පොලිසිය කටයුතු යොදා තිබුණ අතර දෙහිඅත්තකණ්ඩිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...