දකුණු ඇමෙරිකාවේ බොලිවියාවේ කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා දැනට මෙලොව ජීවත්වන වයස්ගතම පුද්ගලයා බව වාර්තා ගතවී ඇත.
වර්ෂ 1890 දී උපන් ඔහු තවමත් හොඳ සෞඛ්‍ය තත්වයකින් යුතුව නිරෝගීව ඉන්නා බවටද වාර්තා වෙයි.
පසුගිය ජුලි මාසයේදී වයස 123 සපිරූ ඔහු ගමන් බිමන් යාමේදී තවමත් සැරයටියක් භාවිතා නොකරයි. ඔහුගේ අස්පෙනීමේ කිවයුතු දුර්වලතාවයක් නොමැති නිසා උපැස් යුවළක් පැළදීමේ අවශ්‍යතාවයක්ද නැත.
බොලිවියා අගනුවර වන ලපාස් සිට සැතපුම් 50 පමණ දුරින් පිහිටි කඳුකර ගම්මානයක්වන ෆ්රස්කුඉසියාහි ජීවත්වන ඔහු අයිමාර ගෝත්‍රික ගැමියෙකි. දරුවන් තිදෙනෙකුත් මුණුපුරන් 16 දෙනෙකුත් මීමුනුපුරන් 39 දෙනෙකුත් සිටින ඔහුගේ වයස දැනගෙන ඇත්තේ රෝමානු කතෝලික සභාව විසින් ලබාදී ඇති ඔහුගේ බෞතීස්ම සහතිකය අනුවය.
එම හැඳුනුම්පතේ සටහන්වී ඇති අන්දමට ඔහු ඉපදී ඇත්තේ 1890 ජුලි මාසයේ16වැනිදාය. බොලිවියාවේ උප්පැන්න සහතික නිකුත්කිරීම ආරම්භවුයේ 1940 දීය.ඔහුගේ බිරිඳ මියගොස් ඇත්තේ මීට වසර 10කත පෙරදීය.කිසිදවසක උදාසීන ලෙසින් ගත නොකිරීමත් ඇඟපත සවිබල තිබුකාලයේ වෙහෙස මහන්සිවී වැඩකිරීමත් දිනපතා දුරගමන් දෙපයින් ඇවිදීමත් සීනි පැණි වැනි ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීමත් තමන් මෙතරම් කාලයක් ජීවත්වීමේ රහස බව පසුගියදා බොලිවියානු ප්රවෘත්ති වැඩසටහනකට පෙනීසිටි කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා පැවසීය.
මේ පිළිබඳව ඔහු තවදුරටත් කියා ඇත්තේ “මම කවරදාකවත් කම්මැලි කමින් හිටියේ නැහැ. ගෙදර දොර වැඩකටයුතු ඉවුම් පිහුම් වැනි වැඩවලට පවා මම උදව් පදව් කළා. අපි කැවේ බීවේ කැලේ වැවෙන දේවල්. මස් හැටියට අපි වැඩිපුරම කැවේ උරුලෑ මස් තමා.
වෙන සත්තු මේ පලාත්වල හිටියේ හරිම අඩුවෙන්.අද වාගේ කුකුලන් එළුවන් හරකුන් වැනි සතුන් අපි පුංචි කාලේ හිටියේ නැහැ.අපි ඉතින් මස් හැටියට කෑවේ කැලේ ජීවතුන සතා සිව්පාවෝ තමයි. වෙන මොනවත් නොවේ.”යනුවෙනි.
කෙසේවෙතත් ලෝකයේ වාර්තා පිලිබඳ විද්‍යාත්මක නිරීක්ෂණ පවත්වා සහතික ලබාදෙන ගිනිස් ලෝක වාර්තා සංවිධානය මෙවැනි පුද්ගලයෙකු පිළිබඳව දන්නේ නැතිබව පවසයි. එවැන්නෙකු සම්බන්දයෙන් තම සංවිධානයට තොරතුරු සැපයුවහොත් ඒගැන සොයාබලා නිගමනයකට එළඹිය හැකිබව එම සංවිධානය පවසා ඇත.
source:lankadeepa