14.9 C
London
Friday, April 25, 2025
spot_img

මංගලගේ මැරයෝ පහර දෙති …

රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත්වන්නැයි බල කරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් විසින් ඉකුත් සෙනසුරාදා (05දා) දෙවිනුවර
ශ්‍රී  විෂ්ණු දේවාලය අබියසින් ආරම්භ කරන ලද සාමකාමී පාගමනට එජාප මන්ත්‍රි මංගල සමරවීර මහතා ප්‍රධාන ඔහු විසින් මෙහෙයවනු ලැබූ මැර කණ්ඩායමක් විසින් ස්ථාන දෙකකදී පහරදී පාගමන කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලදී.

පොලු මුගුරු අතැතිව පැමිණි මේ මැර කණ්ඩායම පාගමනේ පැමිණි අයට පහරදුන්නේ පොලිස් නිලධාරීන් බලා සිටියදීය. මේ පහරදීමෙන් 10 දෙනකු තුවාල ලැබ රෝහල්ගතකර ඇති අතර පාගමනේ ඉදිරියෙන් පැමිණි ප්‍රචාරක රථය ඇතුළු වාහන කීපයකට අලාභහානි කර ඇත.
දෙවුන්දර විෂ්ණු දේවාලය අසලින් ඇරැඹි රනිල් විරෝධී සාමකාමී පාගමනේ යෙදුණු පිරිස මීටර් 50ක් පමණ ඉදිරියට පැමිණෙද්දී මංගල සමරවීර ඇතුළු පිරිසක් දෙවිනුවර නුග ගස අසලදී මුහුණට මුහුණ මුණගැසීමෙන් පසු ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව දෙපිරිස අතර ගැටුමක්ද ඇතිවිය

කාන්තාවන්ගෙන් මංගලට කම්මුල් ප්‍රහාර
මේ ගැටුමේදී පාගමනේ පැමිණි කාන්තාවන් කිහිපදෙනකු විසින් මංගල සමරවීර මහතාට කම්මුලට ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ අවස්ථාවේ මංගලගේ පිරිස පසුබැස පිටත්ව ගොස් ඇත.
පහර කෑමෙන් පසු මංගල ඇතුළු පිරිස මාතර නගරයට වෙනත් පාරකින් පැමිණ පාගමනේ පිරිස එනතුරු පොලු මුගුරු අතැතිව මාතර මහ නගර සභාව අසල රැඳී සිට ඇත. මේ අවස්ථාවේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක්ද රාජකාරියේ යෙදී සිටියත් මැරයන් ඉවත් කිරීමට හෝ සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් බවක් පෙනෙන්නට නොතිබිණි.

මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන් කීප දෙනකු පාගමන සංවිධානය කළ අයට මාතර නගරයේ කිසියම් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පාගමන නවත්වන ලෙසට ඉල්ලීමක් කර තිබේ. පාගමන  සංවිධායකයන් පොලිසියට පවසා තිබෙන්නේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පොලිසියේ රාජකාරියක් බැවින් පාගමන නතර නොකරන බවයි.

මැරයන්ට මාතර මහ නගර සභාවෙන් උදව්
මාතරදී පාගමනට ප්‍රහාරය එල්ල කිරීම සඳහා මැරයන්ට සංවිධානය වීමටත්, ඔවුනට අවශ්‍ය පොලු මුගුරු සපයා දීමටත් මාතර නගර සභාවෙන් විශාල උදවු උපකාර ලැබී තිබේ.

මේ පාගමන කඩාකප්පල් කිරීමට මංගල සමරවීර මහතා සැලසුම් කරන බව පාගමනේ සංවිධායකයකු වන දකුණු පළාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත්න මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.
රනිල් වික්‍රමසිංහ විරෝධී පෙළපාළිය ආරම්භ වූයේ දෙවිනුවර ශ්‍රී  විෂ්ණු දේවාලය අසලින්ය. එම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශිරාල් ලක්තිලක, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුෂාර විජේසූරිය යන මහත්වරු ඇතුළු පාක්ෂිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
පෙළපාළිය ආරම්භ කර මීටර් පනහක් පමණ යන විට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර, දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ සංවිධායක එච්.ආර්. විමලසිරි යන මහත්වරු ඇතුළු පන්සියයක පමණ කණ්ඩායමක් දෙවිනුවර නගර මධ්‍යයේ පිහිටි නුග ගස අසලට කඩා වැදුණේ රනිල් විරෝධී පාගමනට බාධා කරමින්ය. මංගල සමරවීර මහතා සමඟ පැමිණි කණ්ඩායමේ පිරිසක් ‘සාටකයේ’ සාපයට එරෙහිව පෙළ ගැසෙමු’ ‘රාජපක්ෂ රූකඩ පරදවමු’ ආදී සටන් පාඨ සඳහන් ආණ්ඩු විරෝධී විරෝධතාවක් පෙන්වන පුවරුද ප්‍රදර්ශනය කරමින් පැමිණ සිටියහ.

පොලු මුගුරු, ගල් සහ වීදුරු බෝතල්වලින් ප්‍රහාර
රනිල් විරෝධී පාගමන සහ මංගල සමරවීර මහතා නායකත්වය දුන් කණ්ඩායම අතර දෙවිනුවර දී ඇතිවූ බහින්බස් වීමෙන් අනතුරුව දෙපිරිස අතර පොලු මුගුරු, ගල් සහ වීදුරු බෝතල්වලින් පහර දීම් සිදු විය. මෙහිදී දෙවිනුවර ගම්මානයේ ජනතාවද මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් පැමිණි පිරිසට නොනවත්වාම පහර දුනි. අවසානයේ මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් පැමිණි කණ්ඩායම දෙවිනුවර නගරයේ සී සී කඩ විසිර ගිය අතර රනිල් විරෝධී පාගමන වැල්ලමඩම, මැද්දවත්ත, පල්ලිමුල්ල, කොටුවේගොඩ හරහා මාතර නගරයට පැමිණියේය.

වෙඩි ප්‍රහාර කිහිපයක්
අනතුරුව මාතර මහ නගර සභාව අසල රැඳී සිටි සංවිධානාත්මක කණ්ඩායමක් රනිල් විරෝධී පාගමනට යළිත් පහරදුන් අතර දෙපාර්ශ්වයේ ආරවුල අතරතුරදී වෙඩි කිහිපයක්ද එල්ල විය. විරෝධතා පාගමනේ පැමිණි වාහන කිහිපයකටද අලාභ හානි සිදුවිය. තුවාල වූ පිරිස් මාතර මහ රෝහලට ඇතුළත් කෙරිණි. විනාඩි පහළවක පමණ කාලයක් දෙපිරිස අතර ආරවුල පැවැති අතර ඉන් අනතුරුව මාතර මහ නගර සභාව අසල සිට පෙළපාළියට පහර දුන් පිරිස් මාතර නගරය පුරා විසිර ගියේය. පාගමනේ පැමිණි පිරිස් තම ගමනට බාධා කරන අය තවත් සිටී දැයි නගරය පුරා ජය ඝෝෂා නඟමින් සොයමින් යළිත් පාගමන ආරම්භ කළේය. අනතුරුව මාතර බෝධිය, අනගාරික ධර්මපාල මාවත ඔස්සේ නූපේ මන්සන්ධිය, පඹුරණ, වල්ගම, මඩිහ පසු කරමින් පැමිණි පාගමන එදින අවසන් වූයේ කඹුරුගමුව වැව අසලින්ය.
පොලිසිය විසින් පාගමන අත්හිටුවීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීම නිසා මේ මස 11 වැනිදාට කොළඹට පැමිණීමට නියමිතව තිබූ පාගමන නතර කිරීමට සිදුවිය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles