Saturday , 28 November 2020

මගේ උපරිමය පෙන්වන්න අවස්ථාවක් ලැබිලා නෑ – අනුරුද්ධිකා පාදුක්කගේ

අද අප හමුවන තරුව අනුරුද්ධිකා පාදුක්කගේ. ඇය අපගේ රංගන ක්ෂේත‍්‍රයට පායා ඇති තරුවක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඒ ඇය දක්ෂ චරිතාංග නිළියක බැවිනි. අනුරුද්ධිකාගේ රංගනයක් රූපවාහිනි පේ‍්‍රක්ෂකයින්ට කලකින් දැකගත නොහැකි වුවද මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශය වන ”මන්දාරම් වැහි” ටෙලිනාට්‍යයේ ඇගේ අපූරු රංගනයක් දැකගත හැකිය. අනුරුද්ධිකා අද අප එක් කරගන්නේ ඇයගේ නවතම තොරතුරු විමසා බලන්නටය.

මේ දිනවල ඔබ මොන වගේ වැඩත් එක්කද ඉන්නේ?
මේ දිනවල සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන ”ආදරය අවසන් නැහැ” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්ව.

මේ දිනවල ඔබ රඟපාන ටෙලි නාට්‍යයක් රූපවාහිනියෙන් දැකගන්න ලැබෙන්නේ කලකට පසුව නේද?
ඔව් මේ දිනවල මම රඟපෑ ”මන්දාරම් වැහි” ටෙලිනාට්‍ය සිරස නාළිකාවෙන් විකාශය වෙනවා. ටික කලකින් පසුව තමයි මගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්නේ. මේ ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වුණේ එහි රූපගත කිරීම් කොළඹ අවට යොදාගෙන තිබුණු නිසා; ඒ වගේම එය කොටස් 20 කට ආසන්න ටෙලිනාට්‍යයක් නිසා. ඒකට හේතුව තමයි මගේ පුංචි පුතාව දාලා රූපගත කිරීම්වලට ඈත ප‍්‍රදේශවලට යන්න තවමත් තියෙන අපහසුව.

දැන් පුතාගෙ වයස?
අවුරුදු එකහමාරයි.

විවාහයෙන් පසුව ඔබ කලක් රංගනයෙන් ඉවත්ව සිටියා නේද?
ඔව් ඒකට හේතුව වුණේ මට පුතා ලැබෙන්න සිටි නිසා. පුතාට අවුරුද්දක් පමණ වනතුරුම මම කිසිම රූපගත කිරීමකට සම්බන්ධ වුණේ නෑ. දැන්නම් මම වැඩ වලට සම්බන්ධ වෙනවා. මගේ පුතා බලාගන්න මට උදව් වෙන්නේ මගේ අම්මා.

ඔබ නිර්මාණවලට දායක වෙන්නේ තෝරා බේරාගෙනද?
කවදත් මම රංගනයට දායක වුණේ තෝරා බේරාගෙනයි. ටෙලි නාට්‍යයක හෝ චිත‍්‍රපටයක හෝ නිර්මාණාත්මක ගුණය ගැන මම ගොඩක් හිතනවා. දීර්ඝ ටෙලිනාට්‍ය වලට නම් මම දායක වෙන්න කැමැති නෑ. ඒ; එම ටෙලිනාට්‍ය වලට මම විරුද්ධ නිසා නෙමෙයි. ඒ ටෙලිනාට්‍ය හැදෙන විදිය ගැන පැහැදීමක් නැති නිසයි. පුතා ලැබුණට පසුව මම නිර්මාණ කීපයකටම දායක වුණා.

ඔබ හිතන විදියට පේ‍්‍රක්ෂකයින් වඩාත්ම ආදරය කළ ඔබ රඟපෑ චරිත මොනවාද?
”සුදුකපුරු පෙති” ටෙලිනාට්‍යයේ අංජලීගේ චරිතය, ”සින්¥ර්” ටෙලිනාට්‍යයේ අනුරාධාගේ චරිතය; ඒ වගේම ”කම්පිත විල්” ටෙලි නාට්‍යයේ මම කළ රංගනයටත් පේ‍්‍රක්ෂකයින්ගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. පේ‍්‍රක්ෂකයින්ගේ රසඥතාවය විවිධයි. ඉතින් ඔවුන් කැමති විදියේ චරිත අපි රඟපානවට තමයි ඔවුන් කැමැති.

ඔබේ සැමියා?
ඔහු නාලක විජේවර්ධන. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා.

ඔහු ඔබේ රංගන කටයුතුවලට සහයෝගය ලබා දෙනවද?
ඇත්තෙන්ම නාලකට සිනමාව රංග කලාව ගැන හොඳ අවබෝධයක් දැනුමක් තියෙනව. ඔහු මට ලෝකයේ තියෙන හොඳ සිනමා නිර්මාණ ගෙනත් දෙනව නරඹන්න. ඒවා මගේ රංගනය වැඩි දියුණු කරගන්නත් විශාල උදව්වක්. මම කිසියම් නිර්මාණයක් බාර ගත්තොත් ඒ ගැන ඔහුත් එක්ක කතා කරනව.

සිනමාව සහ ටෙලිනාට්‍ය තුළ ඔබට දමිළ චරිත රඟපෑමේ අවස්ථාව බොහෝ ලැබී තියෙනව නේද?
ඔව් මම අවස්ථා කීපයකදීම දෙමළ චරිත නිරූපණය කරල තියෙනව. ඒ මගේ බාහිර ස්වරූපය නිසා වෙන්න ඕන. දෙමළ භාෂාව ගැන මට විශේෂ දැනුමක් නෑ. නමුත් නිර්මාණයට අවශ්‍ය ආකාරයට නිවැරදිව දෙමළ භාෂාව හසුරුවන්න මම හැමවිටම උත්සාහ කරනව. ඒකට මම මා එක්ක වැඩ කරන දෙමළ සහෝදර ශිල්පීන්ගේ උදව් ගන්නවා.

ඔබ මෙතෙක් රඟපා ඇති චරිත තරමක් එක වගේ යැයි කිව්වොත්?
ඔව් ඒක තරමක් නිවැරදියි. මට මෙතෙක් නිරූපණය කරන්න බොහෝ අවස්ථාවල ලැබිල තියෙන්නේ යහපත් කෙනාගේ චරිතය. මම කැමැතියි වෙනස් ආකාරයේ රංගනය ඉදිරිපත් කරන්න. හැබැයි මම නිරූප ණය කරන චරිතවල ස්වභාවය හොඳින් හඳුනාගෙන ඒවායේ සියුම් තැන් මතු කරන්න මම හැම විටම උත්සාහ කරනවා.

සිනමාව තුළ ඔබේ රංගන හැකියාව උපරිමයෙන් පෙන්වන්න මේ වන විට අවස්ථාව ලැබිල තියෙනවද?
හොඳ නිර්මාණ කීපයකටම දායක වෙන්න මට මේ වන විට අවස්ථාව ලැබිල තියෙනව. නමුත් මගේ රංගන හැකියාව උපරිමයෙන් පෙන්වන්න මට තාම අවස්ථාව ලැබිල නැතැයි කියලයි මම හිතන්නේ.

උසස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් හැටියට ඔබ වෙනත් රැුකියාවක් තෝරා නොගන්නේ ඇයි?
විශ්ව විද්‍යාලයෙන් පිටවුණාට පසුව මට රැුකියා කීපයකටම අවස්ථාව ලැබුණා. නමුත් මම ඒ වන විට රංගනයට යොමුවෙලා සිටියේ. ඒ නිසා මට රංගනයෙන් ඉවත් වෙන්න හිත දුන්නේ නෑ. මම හිතන විදියට රංගනය ඉතාම ගෞරවාන්විත වෘත්තියක්. රඟපෑම තරම් හොඳ වාසනාවන්ත රැුකියාවක් නැහැයි කියලයි මම හිතන්නේ.

ඔබට වාණිජමය චිත‍්‍රපටයකට ඇරයුමක් ලැබුණොත්?
හොඳ නිර්මාණකරුවකුට වාණිජමය චිත‍්‍රපටයක් වුණත් ඉතාම නිර්මාණශීලීව කරන්න පුළුවනි. එවැනි චිත‍්‍රපටයකට ඇරයුමක් ලැබුණොත් මම හරිම සතුටින් බාර ගන්නවා. සරල වින්දනයට අපේ රටේ බොහෝ පේ‍්‍රක්ෂකයින් කැමැතියි.

සටහන​ : ගාමිණී සුසන්ත

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...