තනිකඩකම පරාජයේ සංකේතයක් නෙමෙයි
විවාහය අහිමි නෑ… ඒත් ප්‍රමාදයි
තනිකඩයකු වුවත්, පවුල්කාරයකුට වඩා ඔහු කාර්ය බහුලය. පාන්දරින් අවදි වී මධ්‍යම රාත්‍රියත් පසුවී නින්දට යන තරමේ කාර්ය බහුලතාවක් ඔහු සතුය. උදෑසනින්ම අප ඔහුගේ නිවසට යන විටත් ඔහු සිය කාර්යාවලියට බැස තිබිණි. ආචාර සමාචාර පිළිගැනීම්වලින් පසුව ඔහු සමග අපි කතාවට එළැඹියෙමු.
ලෝක දැනුම හා විෂයය ක්‍ෂේත්‍ර ගණනාවක නිපුණතාවය සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන එඩ්වින් ආරියදාසයන්ගෙන් තනිකඩ ජීවිතය ගැන ඇසීම ආරම්භ කළ යුත්තේ කෙසේද?
ඒ ප්‍රශ්නයට පිළිතුරු ද රැගෙන අපි ඔහුගෙන් පළමු ප්‍රශ්නය විමසුවෙමු.
තනිකඩයා කියන්නේ කොයි වගේ චරිතයකටද?
සාමාන්‍ය ව්‍යවහාරයේදී තනිකඩයා කියන්නේ විවාහ නොවුණු කෙනා කියන අර්ථයයි. නමුත් තනිකඩයා කිව්වාම, ඊට එහා යන තේරුමක් එනවා. බැඳීම් අඩු, විවේකය සහිත, ටිකක් සෙල්ලක්‌කාර අයෙක් කියන තේරුමක් ඒකෙ තියෙනවා.
එඩ්වින් ආරියදාස කියන තනිකඩයාටත් ඒ තේරුම ඒ විදිහටම ගැලපෙනවාද?
මට විශාල වැඩ කටයුතු සම්භාරයක් දිනපතා කරන්න තියෙනවා. ඒ නිසා මට විවේකයක් කියලා දෙයක් තියෙන කෙනෙක් නෙමෙයි. මම වෘත්තීය ලේඛකයෙක් විදිහටයි හැමදාම කටයුතු කළේ. මොනතරම් කාර්ය බහුල වුවත් ලේඛන කටයුතුවලින් මම ඈත් වෙලා නැහැ. කොටින්ම කිව්වොත් මට තනිකමක් දැනෙන්නෙම නැහැ. සාමාන්‍ය සමාජයෙ තනිකඩයෙක් කිව්වාම තියෙන නිදහස මට නැහැ. aපවුල්කාරයකුටත් වඩා මට වැඩ තියෙනවා.
ඔහුගෙන් ප්‍රශ්න ඇසීම අමුතුම ආකාරයෙන් කළ යුතු වෙයි. ඔහු වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුගෙන් විවාහය, ප්‍රේම සම්බන්ධතා ගැන එකවර අසන්නටද නොහැකිය. එසේ වුවත් තනිකඩකම ගැන කෙරෙන කතාවකදී ඒ ප්‍රශ්න ඇසිය යුතුමය. ඒ දෙගිඩියාවෙන් පෙළෙමින් අප විසින් ආරියදාසයන්ගේ තරුණ කාලය ගැන ඇසුවෙමු.
ඔබ තනිකඩයෙක් බවට පත් වෙන්නේ කොහොමද? සම වයසේ මිතුරන් නෑයන් දන්නා හඳුනන උදවිය විවාහයට ඇතුල් වෙනවා. ඒ අය අතරම සිටිමින් ඔබ තනිකඩ ජීවිතයක් ගත කරනවා. මේ ගැන කතා කළොත්…….
මම විවාහය කියන එක ප්‍රතික්‍ෂේප කරන හෝ හෙළාදකින කෙනෙක් නෙමෙයි. මම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ ඇයි කියන එකට පිළිතුරු දෙනවා නම්, මගේ ළමා කාලයේ සිට ජීවිතය විවර කරගත යුතු වෙනවා. මගේ ගම ගාල්ලේ උණවටුනේ. අපේ පවුලේ බාලයා මම. මට වැඩිමහල් අයියන්ඩිලා දෙන්නෙක් හා අක්‌කන්ඩිලා දෙන්නෙක් හිටියා. මම තරම් පවුලෙන් ආදරය ලබපු කෙනෙක් තව හිටියාද කියලා මම නම් දන්නේ නැහැ. ඒ තරම් ආදරයක් ඇතිවයි මම පවුලේ හැදුනේ. ගමේ මිනිස්‌සුත් ඒ විදිහයි. මගේ යටි සිsතේ ඒ ආදරය බොහොම ස්‌ථාවර වෙලා තිබුණා. මගේ නියපොතු කපන්නේ, ඔලුවේ තෙල් ගාන්නේ නාවන්නේ ඔක්‌කොම කරන්නේ අක්‌කන්ඩිලා. මේ විදිහට දිගටම කෙරෙන කොට, ඒ ලැබෙන ආදරයෙන් යෑපෙන්න මම පුරුදු වුණා. මගේ ආධ්‍යාත්මික අධ්‍යාපනික කටයුතු හැරුණාම අනිත් බොහෝ දේවල් බාහිරින් කරගන්න තමයි මම පුරුදු වුණේ. අද පවා බොහෝ වෙලාවට මගේ නියපොතු කපන්නේ මගේ අක්‌කන්aඩිලාගේ පුතාලගේ පුතාලා. මම දැන් ජීවත් වෙන්නේ ඒ අයත් එක්‌කයි.
මගේ තනිකඩකමට ප්‍රධාන හේතුව වූණේ ඔය ආදරෙයි. පසු කාලෙක මනෝ විද්‍යාව ගැන කියවද්දී මම මේක දැනගත්තා. ඒකට කියන්නේ ප්ලොරොන් ඇනලසස් කියලයි. ඒ කියන්නේ දීර්ඝකාලීන ළමා කාලය. ඒ දීර්ඝ කාලීන ළමා කාලය කියන මනෝ විද්‍යාත්මක තත්ත්වයට මාත් පත්වෙලා තිබුණා. ඒක බොහෝ විට ඇතිවෙනවා පවුලේ ආදරයට වැඩියෙන් ලක්‌වුණාම. ඒ වගේ අය, වැඩිහිටි බවට පත්වෙනවයි කියන එක යටි හිතෙන් පිළිගන්නේ නැහැ…..
මම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන විභාගය සඳහා ගාල්ලේ මහින්දයෙන් මුහුණ දෙන්න යනකොට මගේ ඇඳුම් මැදලා කරලා සූදානම් කරලා තබන්නේ මගේ ලොකු අක්‌කයි. ඒ නිසා මට වැඩිමහල් වෙනවා කියන හැඟීම ඇති වුණේ නැහැ.
පාසල, සරසවිය කියන්නේ නව යෞවන සිතුම් පැතුම්වලින් පිරී ගිය තැන්. එතැනදී ප්‍රේමය පිළිබඳව සිතුම් පැතුම් ඇතිවෙනවා. ඔබට පාසල් ප්‍රේමයක්, සරසවි ප්‍රේමයක් තිබුණෙම නැද්ද? අඩුම තරමේ “ගමේ ප්‍රේමයක්” වත් තිබුණේ නැද්ද?…
පාසල් යන කාලේ නම් එහෙම සම්බන්ධතා තිබුණා. එහෙම වුණාට ඒවා ස්‌ථාවරව ගෙන යැමේ හෝ පවත්වාගෙන යැමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. මම හැමවෙලේම හිතුවේ, ආධ්‍යාත්මික, දේවල් ගැන විතරයි. මට අවශ්‍ය ප්‍රේමය, ආදරය ගෙදරින් ලැබෙනවා කියන ඒක තමයි මගේ අදහස වුණේ.
ඒ එක ප්‍රේම සම්බන්ධතාවක්‌වත් විවාහයට කිට්‌ටු වෙන දුරකටවත් ආවේ නැද්ද?
ඒවා තිබුණා. මට තාම ඒ අය මතකයි. නමුත් මම ඒ අයගේ නම් කියන්න කැමැති නැහැ. ඒත් මට ඒවා දැනුණේ නැහැ. මම විශ්වවිද්‍යාලයට ආවාට පස්‌සේත් ඒ වගේ සම්බන්ධකම් ඇතිවෙනවා. ඒත් මගේ මනස තුළ තිබුණු ළමා ගතිය හා මට ආධ්‍යාත්මික, අධ්‍යාපනික දේ ගැන තිබුණු උනන්දුව නිසා ඒවා අතහැරිලා ගියා.
අද, කල්පනා කරලා බලනකොට හිතෙන්නේ නැද්ද? ඒ අය අතරින් කෙනෙක්‌ව භාර්යාව, සහකාරිය කරගත්තා නම් හොඳයි කියලා……
මම ගාල්ලේ මහින්දෙ ඉගෙන ගත්තේ, “විනී විතාරණ, නන්දදාස කෝදාගොඩ, සිරි ගුණසිංහ වගේ අයත් එක්‌ක. ඒ අයත් එක්‌කමයි කොළඹ ඇවිල්ලා අපි හිටියේ. ඒ කාලේ අපි විශ්වවිද්‍යාලයේ බාහිර කටයුතුවලට ගොඩක් සහභාගි වුණා. සමස්‌ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය කියලා ප්‍රබල සංවිධානයක් ඒ කාලේ තිබ්බා. අපි හැම සති අන්තයේම ඒ කටයුතුවලට යනවා. සංවිධානයෙන් අපිට යන්න බස් වියදම් දෙනවා. අපි සති අන්තයේ ගත කළේ ඒ කටයුතුවලටයි. එතැනදී ගොඩක් තරුණියන් මට මුණගැහුණා. සුහද වුණා. ඒ අයත් එක්‌ක මිතුරුවෙලා, ගොඩක් අය විවාහ වුණා. ඒත් මම එහෙම හිතුවේ නැහැ. මම හිතුවේම මෙතැනින් එක්‌කෙනෙක් වෙන් කරලා අරගත්තොත් අනිත් අයත් එක්‌ක තියෙන සුහද බව නැති වෙනවා කියන එකයි. ඒ නිසා එක්‌කෙනෙක් වෙන් කරලා තෝරාගන්න මම කැමැති වුණේ නැහැ.
ඔබ එහෙම හිතුවට, ඔබගේ මව්පියන් සහෝදර සහෝදරියන් නෑ හිතවතුන් එහෙම හිතන්නේ නැති වෙන්න පුළුවන්. නිසි වයස එළැඹුණ විට විවාහ විය යුතුයි, කියන මතයේ තමයි සමාජයේ බහුතරයක් ඉන්නේ. මේ නිසා විවාහ වන ලෙසට බලපෑම් පවුලෙන් එල්ල වෙනවා. එවැනි බලපෑම් ඔබට තිබුණේ නැද්ද?
මං ගැන ගෙදර අය දන්නවා. මං ගන්න තීන්දු ගැන ඒ අය දන්නවා. මම කාටවත් හානිකර දෙයක් කරන කෙනෙක් නෙමෙයි කියලා, ඒ ගොල්ලෝ විශ්වාස කළා. ඒ නිසා මගේ ජීවිතයට ඒ අය බලපෑම් කළේ නැහැ. හින්නි මල්ලි තමන්ට කැමැති විදියට ඉඳියි කියලයි, ඒ අය හිතුවේ.
අක්‌කණ්‌ඩිලා විසින් ඇඳුම් සෝදලා මැදලා, කොණ්‌ඩේ තෙල්ගාලා, පීරලා යවපු හින්නී මල්ලි, මනමාලයෙක් වෙන දවසක් ගැන අක්‌කලාවත් හීන මැව්වේ නැද්ද?
අක්‌කලා මට එහෙම කිව්වේ නැහැ. මං විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. පොත පත ඇසුරු කරන කෙනෙක්. ඒ හැම දෙයක්‌ම මම හිතලයි කර ගත්තේ. මගේ ජීවිතේ තීන්දු සියල්ලම ගත්තේ මමයි.
ඒ නිසා මගේ ඒ තීරණයත් මට ඕනෑ විදිහට ගන්න අක්‌කණ්‌ඩිලා ඉඩ දුන්නා. මට වැඩිමහල් සහෝදරයෙක් හිටියා. එයා ටිකක් සෙල්ලක්‌කාරයා. අම්මලා, වැඩිහිටියෝ එයාට නිතරම කිව්වේ “ඔහොම බැහැ. පිළිවෙළක් වෙන්න ඕනේ” කියලා. මට කවුරුවත් එහෙම කිව්වේ නැහැ. කියන්න ඕනෑකමක් තිබුණෙත් නැහැ. පවුලටවත්, මටවත් හානිකර තීන්දුවකට මම එළැඹෙන්නේ නැහැ කියන විශ්වාසය ඒ අයට තිබුණා.
ගෙදර අයට එහෙම විශ්වාසයක් තිබ්බත්, රට්‌ටුන්ගේ කටවල් වහන්න කාටවත් බෑ. එක වයසක් වෙනකොට හමුවෙන හැම කෙනාම අහන්නේ “බඳින්නේ නැද්ද” කවදාද බඳින්නේ” ආදී විවාහය ගැන ප්‍රශ්න. ඒ සඳහා ඔබගේ පිළිතුර වුණේ මොකක්‌ද?
විවාහ වීම සඳහා කියලා එක්‌කෙනෙක් ගැන මට හැඟීමක් ඇති වුණා. ඒ අයගේ දෙමව්පියෝ මට දිනයක් කියලා එව්වා. මේ දවස වෙනකොට විවාහ වෙන්න ඕනේ කියලා. මට තිබුණු වැඩ කටයුතු එක්‌ක, ඒ ගොල්ලෝ කියාපු දවස පහු වුණා. ඊට පස්‌සේ ඒකත් නතර වුණා. ඒක තමයි මට විවාහයක් ලෙස කෙරෙන්නම තිබ්බ වැඩේ. ඒත් මට ඒ ගැන කනගාටුවක් දැනෙන්නේ නැහැ. මට ඕනෑ තරම් අවස්‌ථා තිබුණත්, දීර්ඝකාලීන ළමා විය කියන යටි සිතේ හැඟීමෙන් හා මගේ කාර්ය බහුලතාවයෙන් ඒ සියල්ල යට ගියා. ඒ නිසා මට පාලුවක් දැනිලාත් නැහැ. මට ඕනෑ තරම් යාලුවෝ ඉන්නවා. ඒ අය සමග වැඩකටයුතු තියෙනවා. ඒ නිසා මගේ තනිකඩකම, වෙන අය වගේ පාලුවෙන් පිරිච්ච එකක් නෙවෙයි.
බොහෝ අය තනිකඩයෝ වෙන්නේ, විරහ වේදනාව නිසා. සිතේ ඇඳී තිබූ රූපය අහිමි වීම නිසා. ඔබගේ තනිකඩකම පිටුපස එවැනි දෙයක් තියෙනවාද? ආරියදාසයන්ගේ මතක පොත පෙරළමින් අපි තවත් කඩඉමක් ගැන ඔහුගෙන් විමසුවෙමු.
නැහැ. එහෙම කිසිම වේදනාවක් මම විඳලා නැහැ. බොහෝ අය එහෙම හිතනවා. සමහරු මගෙන් එහෙම අහනවා. මම කවදාවත් බූට් කාලා නැහැ.
ආරියදාසයන් සිය තනිකඩකමේ කතාව මුළුමනින්ම පාහේ අපට පවසා අවසන්ය. නමුත් අප හා ඔහුගේ සාකච්ඡාව නිමා නොවේ. ඔහු තමන් හොඳින් දන්නා ලෝක දේශපාලනය ද පසු කතාවට ඈ¹ ගත්තේය. “බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙක් හිටියා එඩ්වර්ඩ් කීත් කියලා. ඔහු තනිකඩයෙක්. ඒ වගේම සාර්ථක දේශපාලනඥයෙක්.” තනිකඩකම පරාජයේ සංකේතයක් නොවන බවට එතෙර චරිත ද ආරියදාසයන් කරළියට ගෙනෙයි. ඒ අතරේම ඔහුගේ ළමා වියේ කතාවක්‌ද හේ යළි මතකයට නඟයි.
අපි පොඩි කාලේ, අපේ ගමට වේලාපත්කඩය බලන්න කෙනෙක් එනවා. එයා ගෙවල් ගානේ යනවා. එක ගෙදරකට ඇවිල්ලා ගෙදර ඔක්‌කොමගේ කේන්දර බලලා, කෑම එහෙම කාලා වරුවකින් විතර ඔහු යනවා. ඔහු එනවට අපි බොහොම කැමැතියි. අනාගතයේ ගැන කියන එව්වා ගැන අපි අහන්න ආසයි. මම කේන්දරේ ගැන විශ්වාසත්a නොකරන, අවිශ්වාසත්a නොකරන කෙනෙක්. ඒත් ඔහුගේ කතාව අසා ඉන්න අපි කැමැතියි. එයා කියන දේ අපට අමුතු ලෝකයක් වගේ. ඔහු මට හැමවෙළේම කිව්වේ, මගේ ජීවිතය ඉතා බලසම්පන්නයි. මම පසළොස්‌වක දා හැන්දෑවක ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ බලය මට තියෙනවා කියලයි ඔහු කියන්නේ. මගේ විවාහය ගැන ඔහු කිව්වේ, “ඒක ප්‍රමාද වෙයි” කියලයි.
ආරියදාසයන්ගේ කේන්දරය බැලූ ජ්‍යෙdතිර්වේදියාගේ ප්‍රකාශය බලන විට ආරියදාසයන්ගේ විවාහය අහිමි වන්නෙක් නොවේ. ප්‍රමාද වන්නෙක් පමණි. ප්‍රමාදයට වයස් සීමාවක් නැත. ආරියදාසයන් තනිකඩ ජීවිතයට හෙට වුවත් තිතක් වැටීමට බැරි නැත. ඒ, දෛවඥයාගේ අනාවැකිය අනුවය. දුම්රිය පැය ගණනකින් ප්‍රමාද වන විට වෙනත් මාර්ගයකින් මගියෝ ගමන් කරනු අප අසා ඇත. ඒ ආකාරයෙන් ම, ප්‍රමාද වන විවාහය හමුවේ ආරියදාසයන්ගේ තනිකඩකම සිය ජීවිතය කරගෙන තිබේද?
අඩක් කියවා නිමැවුණු පොතක් ඔහුගේ මේසය මතය. ලියූ විචාර ලිපියක් ද මේසය මත තිබේ. ඒ ඔහුගේ තනිකඩ රාජ්‍යයේ පාළුව මකන දැය. ඒ රාජ්‍යයේ ඔහුට රජ වෙන්නට ඉඩ දී ආරියදාසයන්ගේ තනිකඩ අසපුවෙන් අපි නික්‌ම ආවෙමු.
ඔසිත අත්තනායක