19.4 C
London
Thursday, June 19, 2025
spot_img

මගේ හැටි උඹ දන්නේ නැත්නම් පොලිසියෙන් අහගනින් – කොස්‌තාපල්වරියක්‌ ඩේඟා නටයි…

අපේ මුළු පවුලම ඉන්නේ පොලිසියේ. මගේ හැටි උඹ දන්නේ නැත්නම් බණ්‌ඩාරගම පොලිසියෙන් අහගනින්. උඹලා සේරම වෙඩි තියලා මරනවා…”

යෑයි හොරණ මූලස්‌ථාන පොලිසියේ කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියක තමාට මරණීය තර්ජනය කළ බව පවසමින් දෙදරු මවක්‌ මිල්ලනිය පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසුවා.

මෙසේ පැමිණිලිකර ඇත්තේ මිල්ලනිය, ලෙනවර, නව ලෙනවර උයන පදිංචි නිලීකා දමයන්ති නමැති කාන්තාවකි.

පසුගිය සිකුරාදා (7 වැනිදා) රාත්‍රි සැමියා අවශ්‍යතාවයක්‌ සඳහා නිවසින් පිටවී ගොස්‌ තිබූ අවස්‌ථාවේ ඇය දරු දෙදෙනා සමග නිවසේ දොර වසාගෙන සිට ඇත. එහිදී පොලිස්‌ කොස්‌තාපල්වරිය පැමිණ දොරට තට්‌ටු කර කතාකර තිබෙනවා. එම අවස්‌ථාවේ
කාන්තා හඬක්‌ ඇසීම නිසා පැමිණිලිකාරිය දොර ඇරීමෙන් පසු ඉහත තර්ජනය කර බව ඇය කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

එම කොස්‌තාපල්වරිය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු හා පැමිණ මෙම මරණීය තර්ජනය කළ බව ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

මීට දින කීපයකට පෙර කොස්‌තාපල්වරිය රැකියාවට යමින් සිටියදී බණ්‌ඩාරගම, අලුත්ගම වැව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු අශෝභන ක්‍රියාවක්‌ සිදුකළේ යෑයි පවසමින් යතුරුපැදි අංකයත් සමග බණ්‌ඩාරගම පොලිසිය වෙත ඇය පැමිණිල්ලක්‌ ඉදිරිපත්කර තිබිණි.

යතුරුපැදි අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා පුද්ගලයකු (තර්ජනයට ලක්‌වූ කාන්තාවගේ සැමියා) අත්අඩංගුවට ගන්නා ලදි. එහෙත් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමේදී කොස්‌තාපල්වරිය පැමිණිල්ල කරන ලද වේලාවේදී එම පුද්ගලයා එකී ස්‌ථානයට කිලෝ මීටර් ගණනක්‌ ඈතින් සිටි බවට විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් කටඋත්තර මත හෙළිවූ නිසා පොලිස්‌ ඇපමත මුදාහැරීමට පියවර ගත් බව එම උසස්‌ පොලිස්‌ නිලධාරියා කියා සිටියේය.

පොලිස්‌ කොස්‌තාපල්වරිය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සමග තර්ජනය කර ඇත්තේ පොලිස්‌ ඇපමත මුදාහැර සිටින පුද්ගලයාගේ බිරිඳට බව පැවසේ.

පොලිස්‌ කොස්‌තාපල්වරියට කළ බව කියන අශෝභන ක්‍රියාව සම්බන්ධයෙන් බණ්‌ඩාරගම පොලිසිය නිසි අයුරින් පරීක්‍ෂණ නොකළැයි එම කොස්‌තාපල්වරිය ඉහළ අංශවලට පැමිණිලි කර ඇතැයිද දැනගන්නට ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles