ලෝකයේ විරලව සිදුවන දරු උපතක් දඹුල්ල මූලික රෝහලේදී 20 හැවිරිදි මවක් විසින් සිදුකරනු ලැබ ඇත. දඹුල්ල කුඹුක්කඳන්වල ගොවි ගම්මානයේ පදිංචි දිලිකා ප්‍රියදර්ශනී සිරිවර්ධන මහත්මිය සිය කුලුඳුල් දරු උපතේදී තම කුසයේ අසාමාන්‍යයෙන් පිහිටා තිබූ ගර්භාෂ දෙකක වැඩුණු ගැහැනු දරුවන් දෙදෙනකු බිහි කළාය.
දඹුල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය මහතා සඳහන් කෙළේ ලෝකයේත් මෙරටදීත් එක් ගර්භාෂයෙන් දරු උපත් එකක් හෝ කීපයක් සිදුවුවත් එක් කුසක ගර්භාෂ දෙකක් පිහිටා එම ගර්භාෂ දෙකෙහිම දරු උපත් දෙකක් සිදුවීම විරල බවය. ඉකුත් 18 දා මේ මව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවූවාය. ‘ඇගේ කුසෙහි පිහිටීම අසාමාන්‍ය බැවින් වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිදුකළා. කුසෙහි දරු කලලයට නියමිත කාලය සම්පූර්ණ වී තිබූ බැවින් සිසේරියන් සැත්කමක්් සිදුකිරීමට තීරණය කළා. උදරය විවෘත කර බලනවිට ගර්භාෂ දෙකක් ඇති බවත් එම ගර්භාෂ දෙකෙහිම දරු උපත් දෙකක් ඇති බවත් වැටහුණා.
ඒ අනුව ඉතාමත් පරිස්සමින් දරු උපත් දෙකක් සිදුකළා. දරුවන් බර ප්‍රමාණයෙන් පසුවෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරේන් ජයවර්ධන මහතා විසින් දරුවන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට තහවුරු කළා. මේ අසාමාන්‍ය දරු උපතත් සමඟ මවගේ ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන් සම්බන්ධයෙන් සිදුකළ යුතු පරීක්ෂණ සඳහා ඇය යොමු කර තිබෙනවා’ යැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සුමිත් වර්ණසූරිය මහතා පැවැසීය.
ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සමඟ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සිතාරා දසනායක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරේන් ජයවර්ධන, ජේයෂ්ඨ වෛද්‍ය එස්.එල්. සෙල්වනාදන්, ඉන්දික සේනාරත්න, වාට්ටුභාර වෛද්‍ය ධනුෂ්ක ජයසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් දරු ප්‍රසූතිය සඳහා සහාය ලබාදී ඇත.
උපුටා ගැනීම – මව්බිම පුවත්පත