කොළඹ රොස්‌මීඩ් පෙදෙස, විඡේරාම ප්‍රදේශයේදී ඊයේ (25 දා) උදේ අධික වේගයෙන් ධාවනය වූ කැන්ටර් ලොරි රථයකට යට වීමෙන් මාර්ගය අයිනේ ගමන්ගත් පුවත් පත් මාධ්‍යවේදිනියක් ඛේදනීය ලෙස මරුමුවට පත්වූනා.
මාධ්‍යවේදිනිය හප්පාගෙන ඉදිරියට ඇදීගිය ලොරි රථය මාර්ගය අයිනේ වූ තාප්පයක් ද කඩාගෙන ගොස් නතර වී තිබූ බව පොලිසිය කියනවා.
මේ අනතුරින් මියගොස් ඇත්තේ මව්බිම පුවත්පතේ අමිලා මෙන්ඩිස් ජයසිංහ (23) නමැති මාධ්‍යවේදිනියයි. මෙම ලොරි රථය රොස්‌මීඩ් පෙදෙසේ සිට වෝඩ් පෙදෙසට එකවර හරවනවාත් සමග
මාර්ගයේ අයිනේ ගමන්ගත් මාධ්‍යවේදිනිය හප්පාගෙන ගොස් ඇතැයි හෙළිවූ බවද රියෑදුරාගේ නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය කියනවා.
ඇය කොළඹ විජේරාම මාවතේ සිට සිලෝන් නිවුස් පේපර්ස් ආයතනය පිහිටා ඇති රොස්මිඩ් පෙදෙසට පාර පැනීම සදහා කහ ඉර අසල සිටියදී ලොරි රථ රියදුරුට සිය වේගය පාලනය කරගත නොහැකිව ඇයවද යටකරමින් ඒ අසල තිබූ නිවෙසක තාප්පයක්ද කඩා බිදිමින් පාරෙන් පිටතට පනිනු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.
පුස්‌සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම මාධ්‍යවේදිනිය කිරුලපන තක්‌ෂිලා පෙදෙසේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර ඊයේ ඇය එහි සිට රාජකාරි කටයුතු සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
“පාර මාරු වීමට ගිය මරණකාරිය ලොරිය එනවා දැකලා ආපස්සට හැරුණා. ඒ කියන්නෙ මගේ වම් පැත්තට ඒ අවස්ථාවේදී බ්රේක් එක වෙනුවට පෑගුණේ ඇක්සලේටරය. ඇය සිටි පැත්තට ලොරිය ධාවනය වුණා. මම දැක්කා මියගිය තැනැත්තිය ඒ අසල වූ තාප්පයටත් ලොරියටත් මැදි වී ඉන්නවා. ඇය ඉවතට ගැනීමට මම ලොරිය පිටුපසට ගත්තා”.
රණසිංහ ආරච්චිගේ සෝමසිරි (54) එසේ කීවේ තමන් පැදවූ ලොරි රථයේ ගැටී මියගිය “සිලෝන් ටුඩේ” පුවත්පතේ මාධ්‍යවේදිනියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා හමුවේ පැවැති පරීක්‍ෂණයේදීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි දෙමින් සැකකරු වන ලොරි රථයේ රියැදුරු.
“ලොරියට තෙල් දමාගෙන රොස්මිඩ් පාර ඔස්සේ මියුසියස් විදුහල පසුකර ගමන් කළා. විජේරාම දෙසට යෑමට ලොරිය වම් පැත්තට හැරවූවා. ඒ අවස්ථාවේදියි මේ සිද්ධිය වුණේ. ලොරියටත්, තාප්පයටත් මැදිවී සිටි මරණකාරිය ඉවතට ගැනීමට මම ලොරිය පසුපසට ධාවනය කළා.
ඇගේ හිසෙන් හා ඇලපත ප්‍රදේශයෙන් ලේ ආවා. මමයි, ලොරියේ ගෝලයයි ත්‍රිරෝද රථයක දමාගෙන ඇය රෝහලට ගෙන ගියා. ට්‍රොලියට දමන විටදී ඇය කෙඳිරි ගෑවා.”
ලොරි රථයේ සහායක නිසාන් සුලෝචන සාරංග
“ලොරියේ අයිතිකරු ආනන්ද මාවතේ පදිංචිකරුවෙක්. කන්නන්ගර මාවතේ තිබෙන ඉන්ධනහලින් ලොරියට තෙල් දමාගෙන මරදාන දෙසට යෑමටයි අපි ගියේ. මියගිය අය පදික මාරුවේ සිට අඩි 3ක් පමණ ඉදිරියෙන් පාර මාරු වෙමින් සිටියා. ලොරිය වංගුව ගන්නවාත් සමඟම එය දැකපු ඇය ආපස්සට ගියා.
ලොරිය වම් පැත්තට වැඩියෙන් හැර වුණා. පදික වේදිකාව පහුකරගෙන ගිහින් ලොරිය තාප්පයේ හැපුණා. ඇය වම් පැත්තට ගියේ බේරීමට. ඇගේ හිසෙන් ලේ ආවා. ඇලපත ප්‍රදේශයේ මස් ඉවතට පැන තිබුණා. සැකකරු කිව්වා ඔහුට තිරිංගය වෙනුවට ලොරියේ වේගය වැඩි කරන පැඩලය පෑගුණ බව.”
මරණකාරියගේ මාමා වන අජිත් ජිවේන්ද්‍රසිංහ.
“මියගොස් ඇත්තේ මගේ නංගිගේ දුව. නංගිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ බාලයා. ඇය පුවත්පත් මාධ්‍යවේදිනියක්. මේ අනතුරින් තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් තිබෙනවා.
“සැකකාර ලොරි රථ රියෑදුරු ලොරි රථයද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව කුරුඳුවත්ත පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‌ෂක කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‌ෂණ පැවැත් වෙනවා.
අහිංසකකමත්. නිරහංකාරකමත් ඇස්වල පුරවාගෙන හිනාවුණු අමිලා අපි කාවවත් වචනෙකින්වත් රිදෙව්වේ නෑ. ඔයා එදා අපේ නත්තල් පාටියේදී හමුවුණාමත් කිව්වේ අනිත් අය ලස්සනට ගවුම් අඳින බව දන්නවානම් මමත් ලස්සනට ගවුමක් ඇඳන් එනවා කියලා.
මේ පාර නත්තල් පාටියට බැරිවුණත් ඊළඟ නත්තල් පාටියට ලස්සන ගවුමක් අඳින්න එයා හීන මවන්න ඇති. ඒත් ඒ හැම හීනයක්ම බොඳ වුණේ නොහිතපු වෙලාවක. ඔයා අපෙන් නික්ම ගිය නිසා.
වෙනදා වගේ උදේ හවස සිලෝන් ටුඩේ එකේ ඉඳලා ‘මව්බිම’ට දුවගෙන එන්න අමිලා ඔයා දැන් නෑ. මාධ්‍ය සාකච්ඡාවලට යන්න, නිව්ස් හොයන්න, නොදන්න සිංහල කතා දැනගන්න උඩට දුවන් එන කෙනෙක් අදින් පස්සේ නෑ.
ඔයා ගැන හිතෙන, දැනෙන හැම හැඟීමක්ම කියන්න වචන නැති වුණත් අපේ පත්තරේ ලොකු පොඩි හැමෝගෙම ඇස්වලින් වැටෙන කඳුළු ඒක නොකියා කියනවා. මෙහෙම අකුරු අමුණන්න පැය ගාණක් අපිට දුක් විඳින්න වුණා. මෙච්චර ලියන අපිට ඔයා ගැන ලියා ගන්න බැරි වුණා. හැමෝම අඬනවා. කාටවත් එක දිගට වචන දහයක් ෙදාළහක් ගළප ගන්න බැරිතරම්.
එදා ගල්කිස්ස හෝටලේ මුහුදු වෙරළේ තිබුණු නත්තල් පාටියේදී ඔයා හිටියේ ආපු අමුත්තෝ දිහා බලාගෙන. අපේ රංචුවේ කෙනෙක් ඔයාගෙන් ඇහුවා ‘කෝ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා’ ඔයා කිව්වා අම්මෝ මොන බෝයි ෆ්‍රෙන්ඩ්ලාද මට කියලා. එහෙම කියපු ඔයාට මේ තරම් ආදරය කරන බෝයි ෆ්‍රෙන්ඩ්ලා, ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා හිටියා කියලා ඔයා කවදාවත් හිතන්නේ නැතුව ඇති.
ඔයා ගැන ලියාගෙන යද්දී අපේ කෙනෙක් මෙහෙමත් කිව්වා. ‘ඔයයි එයයි දවසක් රොස්මිඩ් ප්ලේස් එකේදී වැස්සට අහුවෙලා. ඔයා එතකොට කිව්වාලු නේද ‘වැස්සේ තෙමි තෙමි දුව දුව යමු කියලා.’ අනිත් කෙනා අදිමදි කරද්දි ඔයා කිව්වලු නේද එයාට ‘මේ වැස්සට ඔයා දිය වෙන්නේ නෑ කියලා.’
අදත් එදා වගේම මේ කොළඹට වහිනවා. ඒත් ඔයා නෑ ඒ සීතල වැස්සට තෙමෙන්න. ඔයා ගේම් එකට හුඟාක් ආසයි නේද? ඔයා පාට පාටින් ගත්ත ඒ ටී ෂර්ට්වලින්ම එකක් අන්තිමටත් ඔයා ඇඳන් හිටියා.
අපේ පත්තර කන්තෝරුවේ කොඩිය වෙනුවට අද එතන සුදුපාට කොඩියක් දාලා. ඒ ඔයා නිසා. රොස්මිඩ් පෙදෙසට උඩින් ආයේ කවදාවත්ම වල්ගා තරුවක් පායන්නේ නැතිවේවි. සීත උඳුවප් මහේ ජේසුගේ උපත කියන නත්තලත් එක්ක ඔයාගේ ඔය ළෙන්ගතු හිනාව හැමදාම මතක් වේවි.
සමාවෙන්න………ඔයා ගැන ලියපු මේ සටහන පිළිවෙළක් නැති නිසා. එහෙම පිළිවෙළකට ලියන්න අපි කාගේවත් හිත හයිය නෑ.
උපදින්න මාස දහයකටත් කලින් ඔයාගේ අම්මා, තාත්තාට අමිල වුණු ඔයා දවස් 365ක් ඇතුළත අපිටත් අමිල වුණ හැටි.
ඔයාගේ ෆේස් බුක් එකේ ඔයා දාල තිබුණේ අරුණැල්ල වැටුණු කඳු පන්තියක්. ඔයා බලන් හිටපු ඒ අලුත් ඉරට අලුත් දවසට කලින් ඔයා ඇස් පියාගත්තා……….
ඉතින් දයාබර යෙහෙළියේ ඔයාගේ ෆෝන් නම්බර් එක අපේ ෆෝන්වලින් මකන්නද? දිගටම තියාගන්නද කියලා හිතාගන්න බෑ. හැබැයි එක දෙයක් විශ්වාසයි ආයේ කවදාවත් ඔය නම්බර් එකෙන් ‘හෙලෝ කොහොමද කියලා ඇහෙන එකක් නෑ.’