මවුපියන්ට නිවසක් දී දෙබිඩි ළදැරිය මෙලොව හැර යයි

සුවිශේෂී දරුවෙක් (දෙබිඩි දරුවෙක්) වශයෙන් ඉපදී ඊයේ (22) දින මියගිය සඳුනි නිල්මිණි දිසානායක දියණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (22) දින මොණරාගල, මැදගම පිහිටි මල්ගස්ලන්ද ගම්මානයේ පිහිටි නිවසට ගියේය.

සඳුනි නිල්මිණී දැරිය 2012 අගෝස්තු මස 13 වෙනි දින මෙලොව එළිය දුටුවේ ශරීර දෙකකින් යුත් දියණියක් ලෙසය. (දෙබිඩි දරුවෙකි) නමුත් ඇයට ඇත්තේ එක් හදවතක් පමණි. මෙම සිඟිති දියණිය අති දුෂ්කර ප්‍රදේශයක ඉපදුණු අතර ඇයට විශේෂ ප්‍රතිකාර ක්‍රම අවශ්‍යව තිබුණද එවකට ඇයගේ පවුල ජීවත් වූයේ අඩුපහසුකම් සහිත නිවසකය. මේ පිළිබඳ තොරතුරු දැනගත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ ජනසෙවණ නිවාස වැඩසටහන යටතේ සඳුනි දියණියගේ පවුලට කඩිනමින් නව නිවසක් ඉදිකර දෙන ලෙසයි. ඒ අනුව අංග සම්පූර්ණ නව නිවසක් සඳුනි දියණිය වෙනුවෙන් ඉතා කෙටි කාලයකදී ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හැකි විය.

සඳුනි දියණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් එම නව නිවස සඳුනි දියණියගේ මවුපියන් වෙත බාර දෙන ලදී. මෙම නව නිවස ඉදිකිරීම සඳහා වැයකෙරුණු මුදල රුපියල් ලක්ෂ 10 කට අධික වේ. මෙම නිවස ඉදිකිරීම සඳහා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා රුපියල් ලක්ෂ 5 ක ආධාර මුදලක් ලබාදුන් අතර ඉතිරි මූල්‍යාධාර ලබාදෙන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟිනි. නිවසෙහි සැලසුම් සකස් කිරීම, තාක්ෂණික උපදෙස් ලබාදීම ඇතුළු සියලු සම්බන්ධීකරණ කටයුතු නොමිලේ සිදුකරන ලද්දේ ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟිනි. නිවස ඉදිකිරීම සඳහා ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණේ ඉමහත් සහයෝගයකි.

මල්ගස්ලන්ද පදිංචි ආර්.ඇම්. සුමනාවතී මහත්මිය සඳුනි දියණියගේ මව වන අතර පියා වන්නේ දිසානායක මුදියන්සේලාගේ ගුණසේකර මහතායි. ඔවුන්ට මින් පෙර උපන් දියණියන් දෙදෙනෙක්ද සිටී. හදිසියේම වැළඳුණු ශ්වසන ආබාදයක් හේතුවෙන් සඳුනි දියණිය මොණරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කළ අතර එහිදී දැරිය මියගොස් ඇත.

සදුනි දියණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසීය. “ ආර්.එම්. සුමනාවතී මහත්මියට ඇතිවූ දෙබිඩි දරු උපතත් සමඟ ඒ සිදුවීම මාධ්‍ය මඟින් විශාල වශයෙන් අවධානයට යොමුවුණා. ඒ අවස්ථාවේදී අප තීරණය කළා මේ දරුවන් රැකබලා ගැනීමට සුවිශේසී කැපවීමක නිරතවෙන මේ දෙමවිපියන්ට යම් පිළිසරණක් වෙන්න. අනෙක් කාරණය මේ දෙමව්පියන් අඩු ආදායම්ලාභී පවුලක්. ඒ නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත්වෙලා නව නිවසක් ඉදිකරලා දෙන්න අපි තීරණය කළා. ඒ අනුව අපි පොරොන්දු වෙලා මාස කිහිපයක් ඇතුළත ඒ නව නිවස අපට ඉදිකර දෙන්න පුළුවන් වුණා. ඒත් අවාසනාවට ඒ නිවස දරුපවුලට භාරදෙන්න කලින් සඳුනි දියණිය මෙලොව හැරගොස් තියෙනවා. ඉතින් ඒ වේදනාකාරී අවස්ථාවේ අපි කල්පනා කළා කඩිනමින් ඇවිල්ලා නිවසේ අයිතිය දෙමව්පියන්ට භාරදෙන්න. සඳුනි දියණිය අද නැතත්, ඒ දරුවා මේ දෙමව්පියන්ට නිවසක් ලබාදුන් දරුවෙක් බවට පත්වෙලා තියෙනවා. ඉතිං ඒ මතකය මේ දෙමව්පියන්ට සදාකාලිකවම තියේවි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා, ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා, ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ප්‍රදේශයේ ගරු ඇමතිතුමා වන විජිත් විජිතමුණි සොයිසා ඇමතිතුමා, මර්වින් සිල්වා ඇමතිතුමා ආදී හැම කෙනෙකුගේම විශේෂ සහයෝගයක් මේ සඳහා ලැබුණා. ඒ නිසා තමයි මේ නිවස කෙටි කාලයකින් අංග සම්පූර්ණව ඉදිකරලා අවසන් කරන්න පුළුවන් වුණේ. අපි අද තවත් රුපියල් ලක්ෂයක මුදලක් මේ පවුල වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඔවුන්ට පුළුවන් ඒ මුදල් පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් යොදවන්න ” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...