මහින්ද බර්ටිට සාධාරණය ඉටු කළේ නැද්ද? October 4, 2013 Comments Off on මහින්ද බර්ටිට සාධාරණය ඉටු කළේ නැද්ද? 4 Views 2005 ජනාධිපතිවරණයට මහින්දගේ නම යෝජනා වෙද්දී මහින්දට තිබ්බ ලොකුම බය කැම්පේන් එකේ බර අදින්න හරිහමන් මනුස්සයෙක් තමන්ට ඉතිරි වෙයිද කියන එකය. මොකද ඒ වෙනකොට රට පුරාම ශ්‍රී ලංකා එකේ බලය අල්ලාගෙන හිටියේ චන්ද්‍රිකාගේ බලකණුය. ඒ දවස්වල ශ්‍රී ලංකා එකේ උතුරු මැද බලය අල්ලාගෙන හිටපු බර්ටි ප්‍රේමලාල් චන්ද්‍රිකාගේ හොඳම ගෝලයකු විය. 99දී චන්ද්‍රිකා දෙවැනි වරට ජනාධිපතිවරණයට ඉල්ලද්දී උතුරුමැද පුරා චන්ද්‍රිකාගේ අණසක පැතිර වූයේ මේ කියන බර්ටිය. “චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ බර්ටි මහින්දගේ කැම්පේන් එක ගොඩදායිද?” මේ ඒ කාලයේ මහින්ද වටේ සිටි අය තැන් තැන්වල කියපු කතාවය. මහින්දගේ වටේ සිටි අයට තිබූ මේ සැකය සාධාරණය. මොකද උතුරු මැද චන්ද්‍රිකාගේ දකුණු අත වගේ ප්‍රබල බර්ටි ඉන්දැද්දි ඒ කාලයේ පක්ෂය ඇතුළේ එච්චර හයියක් නොතිබුණු චන්ද්‍රසේනලා වගේ අය හිටියේ මහින්ද එක්කය. හැබැයි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද උතුරුමැද තමන්ගේ ඡන්ද කැම්පේන් එක ගැන වැඩි විශ්වාසය තැබුවේ තමන් ළඟ සිටි චන්ද්‍රසේනලාටත් වඩා චන්ද්‍රිකාගේ දකුණු අත වගේ සිටි බර්ටිලා ගැනය. මහින්ද එදා ගත් මේ තීන්දුවෙන් ගොඩාක් සතුටු වුණේ ශ්‍රී ලංකාකාරයන්ටත් වඩා යූ.එන්.පී.කාරයන්ය. මොකද බර්ටි චන්ද්‍රිකාගේ මිනිහෙක් කියා ලේබල් වෙලා තිබුණු නිසා යූ.එන්.පී. කාරයන් හිතුවේ බර්ටි මහින්දගේ කැම්පේන් එකේදී බොක්කෙන් වැඩ කරන එකක් නැහැ කියාය. බර්ටි මහින්දගේ කකුලෙන් ඇද රනිල්ට යටින් සපෝට් එක දෙනු ඇතැයි කියාය. හැබැයි මහින්ද ඒ මොනවත් තුට්ටුවකට මායිම් නොකොට බර්ටිට උතුරුමැද භාර දී වැඩි බරක් දුන්නේය. චන්ද්‍රසේනලාට අඩු බරක් දුන්නේය. ප්‍රතිඵලය වුණේ බර්ටිගේ හයියෙන් උතුරුමැදින් මහින්ද ගොඩ යෑමය. ජනාධිපතිවරණය දිනුවාට පසු උතුරුමැද පළමු පළාත් සභා මැතිවරණය තිබ්බේ 2008දීය. මේ ඡන්දය බර්ටිට ගල උඩ සටනක් විය. මොකද ඒ ඡන්දයේදී යූ.එන්.පී.ය උතුරු මැද සටනට දැමුවේ 2010 ජනාධිපතිවරණයේදී හෙළ උරුමය සිය අපේක්ෂකයා වශයෙන් ඡන්දයට ඉදිරිපත් කරන්න සැලසුම් සකස් කරගෙන සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරාවය. ජානක උතුරු මැද සෑම මනුස්සයකුගේම හදවතේ ජීවත් වූ චරිතයක් විතරක් නොව රටම දන්නා වීරෝදාර සෙන්පතියකු විය. “බර්ටිට ජානක එක්ක හැප්පෙනවා තියා හැරෙන්නවත් බෑ. කොහොමත් පරදිනවා….” සමහරු මහින්ද ළඟට ගිහින් එහෙම කීහ. “බර්ටිගෙ පෙර වැරැදි තියෙනවා. ඒ නිසා අපි අලුත් මුහුණක් උතුරුමැදට දාමු….” තව සමහරු එහෙම කීහ. “බර්ටිගේ පුතා දුමින්දව ඇමැති මණ්ඩලයට අරගෙන බර්ටිට තේරුම් කරලා දෙමු මේ පාර ඉල්ලන්න එපා කියලා…” සමහරු එහෙමත් කීහ. කවුරු මොනවා කීවත් බර්ටිගේ ශක්තිය ගැන, බර්ටිගේ හයිය ගැන මහින්දට විශාල විශ්වාසයක් තිබිණ. අනෙක 2005දී බර්ටි තමන් වෙනුවෙන් කළ කැපකිරීම මහින්දගේ හිතේ තිබිණි. “නෑ… බර්ටි තමයි මේකට නියම සුදුස්සා. බර්ටි කොයි වෙලාවෙත් ඉන්නෙ මිනිස්සු එක්ක. ඒ නිසා බර්ටිට මේක ගේමක් නෙවෙයි. ජානක නෙවෙයි ඩී.එස්.ව වළෙන් නැඟිටවලා ගෙනැත් උතුරුමැදට දැම්මත් අපි බර්ටිව දිනවන්න ඕනෑ….” මහින්ද බර්ටිව දිනවන සටනට එදා අත තිබ්බේ ඒ විදියටය. “යුද්ධෙ දිනපු යුද සෙන්පතියකුට ආණ්ඩුව ආරක්ෂාව දෙන්නේ නෑ. ආණ්ඩුව හදන්නේ ජානකට ආරක්ෂාව නොදී එයාව ගේ ඇතුළට කොටු කරලා තියන්න….” මේ ඒ දවස්වල මහින්ද බර්ටිට උදවු කරද්දී විපක්ෂය මහින්දට එල්ල කරපු චෝදනාවය. මේ චෝදනාව ඒ දවස්වල කොච්චර තදට ගියාද කියනවා නම් උතුරු මැද විතරක් නොව ජාතික ප්‍රශ්නයක් වන තරමට මේ කතාව ඔඩු දිව්වේය. හැබැයි මහින්ද ඒ චෝදනාවට බය වුණේ නැත. මහින්ද සටන නැවැත්තුවේ බර්ටිව නැවත වතාවක් මහ ඇමැති පුටුවේ ඉන්දවලාය. මේ විදියට මහ ඇමැති පුටුවේ පිට පිට වාඩි වුණු මහ ඇමැතිවරුන් ඉතිහාසයේ සිටියේ අතලොස්සකි. හිටපු ජනාධිපතිවරුන් කළේ තමන් පුටුවේ වාඩි වූ විගස ඉන්න මහ ඇමැතිවරුන්ගේ ඔළු ගෙඩි එහෙ මෙහෙ කිරීමය. ඒකට හොඳම උදාහරණය ප්‍රේමදාසය. ප්‍රේමදාස ජනාධිපතිවරණය දිනා ඉස්සෙල්ලාම කළේ 87 මහ විශාල ජවිපෙ භීෂණයක් මැද පළාත් සභාවලින් දිනලා මහ ඇමැති පුටුවේ වාඩිවෙච්ච මහ ඇමැතිවරුන්ගේ ඔළු ගෙඩි එහාට මෙහාට කිරීමය. ඒකට ප්‍රේමදාසට හේතු දෙකක් තිබිණි. පළමු හේතුව වුණේ අලුත් ජනාධිපතිවරයකු වෙච්ච ප්‍රේමදාසගේ යූ.එන්.පී. ආණ්ඩුවේ පරණ මුහුණු සමඟ ඉදිරියට යන්න අකැමැති වීමය. මොකද ඒ අයගේ කිල්ලෝටවල පරණ පව් තියෙන බව ප්‍රේමදාස දැන සිටියේය. අනෙක ඒ මහ ඇමැතිවරුන් ජේ.ආර්. පත් කළ ජේ.ආර්.ගේ මිනිස්සු බව ප්‍රේමදාස දැන සිටියේය. හැබැයි මහින්ද 2012 උතුරු මැද පළාත් සභා ඡන්දයේදිවත් බර්ටිට එහෙම දෙයක් කළේ නැත. බර්ටි තුන්වැනි පාරටත් මහ ඇමැතිකමට ඉල්ලන්න ඕනෑ බව කියද්දී මහින්ද බර්ටිව වළක්වන්න ගියේ නැත. මොකද මහින්ද හිතුවේ බර්ටි උඩින්ම මනාප අරගෙන මේ පාරත් දිනනු ඇතැයි කියාය. ඒ වගේම එස්.එම්.ගේ මල්ලි මහ ඇමැතිකමට එළිපිට යුද ප්‍රකාශ කරද්දී මහින්ද එදා වේදිකාවේදී කිව්වේ වැඩිම මනාප ගත් කෙනාට මහ ඇමැතිකම දෙනවා යැයි කියාය. බර්ටි මනාපවලින් රන්ජිත්ට දෙවැනි වනු ඇතැයි මහින්ද කිසිවිටෙකත් නොසිතුවේය. ඒ නිසා බර්ටිට බොක්කෙන්ම උදවු කළේය. අඩුම තරමින් බර්ටිට මහ ඇමැතිකම නොදෙනවා යැයි කියා මහින්ද වේදිකාවෙදිවත්, ඉන් පිටතදිවත් කොයිම විදියකටවත් ඉඟියක්වත් ඒ වෙලාවේ දුන්නේ නැත. හැබැයි ඒ ඡන්දයේදී බර්ටි කවුරුවත් නොහිතපු විදියට මනාපවලින් ආවේ දෙවැනි තැනටය. ඉතින් මහින්දට සිද්ධ වුණේ තමන් වේදිකාවේ ජනතාවට ප්‍රසිද්ධියේ දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්නටය. එහෙමත් නැතිනම් ඡන්දයෙන් වැඩිම මනාප ගත් චන්ද්‍රසේනලාට මහ ඇමැතිකම දෙන්නටය. එතැනදීත් මහින්ද බර්ටිට අසාධාරණයක් වෙන්න දුන්නේ නැත. පැති දෙකකින් මහින්ද බර්ටිට සාධාරණය ඉෂ්ට කළේය. එක් පැත්තකින් බර්ටිගේ පුතා වූ දුමින්ද දිසානායකට ඇමැති තනතුරක් දී මහින්ද බර්ටිටත්, බර්ටිට හිතැති උතුරුමැද ජනතාවටත් සාධාරණය ඉෂ්ට කළේය. තාත්තාට අසාධාරණයක් වුණා නම් දුමින්ද කීයටවත් ඒ මොහොතේ මහින්දගෙන් ඇමැතිකම ගන්න යන්නේ නැත. අනෙක් අතට කැබිනට් ඇමැතිවරයකුව සිටි රන්ජිත්ගේ සහෝදරයා වූ එස්.එම්. චන්ද්‍රසේන කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කොට නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් පමණක් ඔහුට ලබා දීමට මහින්ද කටයුතු කළේය. මහින්ද තමන්ට උදවු උපකාර කළ චන්ද්‍රිකාගේ මිනිසුන්ට සැලකුවේ ඒ ආකාරයටය. තමන් පක්ෂ නායකයා වුණා කියා, තමන් රටේ ජනාධිපතිවරයා වුණා කියා මහින්ද කොයි වේලාවේවත් බලතල අතට ගෙන චන්ද්‍රිකාගේ පරණ මිනිසුන්ව කපන්න ගියේ නැත. අදටත් මහින්ද වැඩ කරන්නේ එදා චන්ද්‍රිකා යටතේ සිටි පරණ මිනිස්සු එක්කය. ඒත් චන්ද්‍රිකා නම් කවදාවත් එහෙම කළේ නැත. චන්ද්‍රිකා පක්ෂයේ බලය අල්ලපු දවසේ ඉඳන් කළේ මැතිනියගේ මිනිස්සු එහෙට මෙහෙට කර තමන්ගේ මිනිස්සු ඒ ඒ තැන්වලට ඔබාගන්න එකය. ඒ අතින් බලද්දී මහින්ද පරණ ශ්‍රී ලංකාකාරයන්ගෙන් පමණක් නොව අලුත් ශ්‍රී ලංකාකාරයන්ගෙනුත් හොඳට වැඩගන්න දන්නා මනුස්සයෙකි. ඒ මදිවාට යූ.එන්.පී.කාරයන්ගෙන් වැඩ ගන්න හැටි දැක්කාම ඔළුවට එන්නේ කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියන ගමේ මිනිස්සු කියන කතාවය. Share awesome Don't Miss featured Latest pretty cool slider spotlight 2013-10-04 ceylonradio Share Facebook Twitter Google + Pinterest