මන්නාරම මහේස්ත්‍රාත්වරයාට අමාත්‍යවරයෙකු, තර්ජනය කිරීම සහ ඔහුව මාරූකර යැවීමට ගත් අසාර්ථක උත්සාහය මගින් රට අරාජිකත්වයට ගමන් ගන්නා බව පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අදාළ ඇමතිවරයාගේ මෙම ක්‍රියාව අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම එහි ගරුත්වයට එල්ල කරන ලද දැඩි පහරක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.
රට තුළ අපරාධ රැල්ලක් බිහි වී ඇති අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන බලපෑම් එල්ල වීම පිළිකුල් සහගත තත්ත්වයක් බව කරූ ජයසූරිය මන්ත්‍රීවරයා සඳහන් කරයි.
රට තුළ යහපාලනයක් ස්ථාපිත කිරීම සඳහා ගෙන එන ලද 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 18 වන සංශෝධනය ගෙන ඒම මගින් රට තවත් අරාජික තත්ත්වයකට ගෙන ඒමට වත්මන් පාලනය කටයුතු කළ බව මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.