11.3 C
London
Saturday, May 17, 2025
spot_img

මිහින් ලංකා වසර 3ක පාඩුව කෝටි 1300යි

මිහින් ලංකා ගුවන් සමාගමේ තුන් වසරක පාඩුව රුපියල් එක්දහස් තුන්සිය හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂයකි (1373,50,00,000). විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම සමාගමේ ගිණුම් පිළිබඳ විගණන වාර්තාවේ එම විස්තරය දැක්වේ.

2007/2008 වර්ෂයේ පාඩුව රුපියල් තුන්සිය තිස් පන් කෝටි හැට ලක්ෂයක් (3,35,60,00,000) බවද, 2008/2009 වර්ෂයේ හාරසිය හැට පන්කෝටි හැත්තෑ ලක්ෂයක් (4,65,70,00,000) බවද සහ 2009/2010 පන්සිය හැත්තෑ දෙකෝටි විසි ලක්ෂයක් (5,72,20,00,000) බවද ගිණුම් වාර්තාවේ සඳහන්ය.

මිහින් ලංකා සමාගම ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගමෙන් ලබාගෙන ඇති රුපියල් පනස් කෝටියක (50,00,00,000) ණය මුදලට පොලී ගෙවා නැති බවද, එමෙන්ම මිහින් ලංකා සමාගම බැංකුවකින් රුපියල් තිස් අට කෝටි දස ලක්ෂ හැත්තෑ දහසක (38,10,70,000) බැංකු අයිරාවක් ලබාගෙන ඇති බවද විගණකාධිපතිවරයා වාර්තා කර තිබේ.

එමෙන්ම මිහින් ලංකා සමාගමේ බැරකම් ප්‍රමාණය රුපියල් දෙසිය කෝටි හතළිස් ලක්ෂයක් (200,40,00,000) බවද විගණනයට ඉදිරිපත් කර ඇති සංඛ්‍යා නිවැරැදි නොවන බවද විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කර තිබේ.

සමාගමේ පාඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවට වාර්තා කර ඇත්තේ සමාගම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක (1,60,00,000) මෙහෙයුම් ලාභයක් ලබා ඇති බවත්, මේ තත්ත්වය ඉදිරියේදී ධනාත්මක තත්ත්වයක පෙරනිමිත්තක් බවත්ය.

සමාගමේ ලාභ අලාභ තත්ත්වය සහ ගමන් ගත් ගුවන් මගීන් සංඛ්‍යාව කොපමණද යන්නත් ඉදිරිපත් කරන ලෙසට පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවෙන් සමාගමට නියෝග කර තිබේ.

ගුවන් තොටුපොළ ගුවන් සේවා සමාගමෙන් ගත් ණය මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට නියමිත බව අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවට වාර්තා කර ඇත.

srilankamirror

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles