Wednesday , 12 February 2025

මුත්‍රා ආසාදනය ගැන යමක් (Urinary Problems)

කාන්තා පිරිමි බේදයකින් තොරව වයස්‌ සීමාවක්‌ නැතිව ඇතිවන රෝගාබාධ අතරට මුත්‍රා ආසාදනයන් ද එක්‌වේ.

මුත්‍රා ආසාදනයකට ප්‍රධානම හේතුව වන්නේ මුත්‍රා ජනන පද්ධතියට කිසියම් විෂ බීජයක්‌ ඇතුළු වීමය. එනම් වකුගඩු, මුත්‍රා නාලය සහ මුත්‍රාශය යන මුත්‍රා පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රියයන් වෙතට විෂ බීජයක්‌ ඇතුළු වුවහොත් ඉන් ඇතිවන බලපෑම නිසා මුත්‍රා ආසාදනයක්‌ හටගත හැකිය.

ඊට අමතරව පිරිමින්ගේ පුරස්‌ථ ග්‍රන්ථිය තුළ ඇතිවන ආසාදනයන් නිසාද මුත්‍රා ආසාදන මතුවීමට බලපාන තවත් හේතුවකි.

මුත්‍රා ආසාදනයට හේතු

මුත්‍රා ශරීරයෙන් බැහැර කළ යුතු අපද්‍රව්‍යයකි. දහදිය, මුත්‍රා සහ මළ සිරුරින් බැහැර කළ යුතු අපද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ මෙය හඳුන්වනු ලබන්නේ ස්‌වේධ, මුත්‍රා සහ පුරීෂ ලෙසිනි.

මුත්‍රා ලෙසින් පිටවන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍යය. එය වකුගඩුවලින් පෙරා මුත්‍රාශය වෙත පැමිණේ. මෙය ද්‍රව අපද්‍රව්‍යයක්‌ ලෙස සිරුරින් පිටවේ. මුත්‍රාවල වැඩිපුරම ඇත්තේ ජලයයි.

මුත්‍රා යනු අපද්‍රව්‍යයක්‌ නිසා ඉතා පහසුවෙන් විෂ බීජ ආසාදනයට ලක්‌විය හැකිය. එම විෂබීජ ශරීරය ඇතුළතින් හෝ පිටතින් මුත්‍රා පද්ධතියට ඇතුළු වේ.

විශේෂයෙන්ම කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. ඊට හේතුව වනුයේ ඔවුන්ගේ බාහිර මුත්‍රා මාර්ගය ඉතා කෙටි බැවිනි. එබැවින් ඔවුනගේ මුත්‍රා මාර්ගයට බාහිරින් විෂ බීජ ඉතා පහසුවෙන් ඇතුළුවිය හැකිය.

මුත්‍රා ආසාදන හඳුනා ගැනීම

සාමාන්‍යයෙන් නිරෝගී අයකුගේ මුත්‍රාවල පැහැය අවර්ණය. එය බාහිරයට පිටවන විට වීදුරු පැහැයක්‌ ගනී. මුත්‍රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක්‌ ඇති නොවේ. නමුත් මුත්‍රාවල පැහැයේ වෙනසක්‌ ඇත්නම් මුත්‍රා පිටවන විට ශරීරයට කිසිදු වේදනාවක්‌ මතුවේ නම්, පිටවන වාර ගණන වැඩිනම් සහ වරකට පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුනම් එය මුත්‍රා ආසාධනයක්‌ ලෙස අනුමාන කළ හැකිය. ඊට අමතරව සිරුර තුළ මතුවන උණ, ඇඟ ශීතල වීම, උදරය ප්‍රදේශයේ මතුවන කොරය, මුත්‍රා ඉතා උණුසුම්ව පිටවීම, මුත්‍රා පිටකළ පසු ඇතිවන දැවිල්ල ද මුත්‍රා ආසාදනයක මතුවන රෝග ලක්‍ෂණ වේ.

මුත්‍රා ආසාදන වළක්‌වා ගැනීම

දිනපතා ජලය ලීටර් හතරක්‌වත් පානය කළ යුතුය. නිසි ලෙස ජලය පානය යනු ශරීරය තුළ ඇති විෂ බීජ පිට කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමකි. සිරුරට ලැබෙන ජලය ප්‍රමාණය අඩුවන විට සිරුරේ නිපදවන අපද්‍රව්‍ය පිටකිරීමට අවශ්‍ය පහසුකමක්‌ නතරවීමය.

එසේම දිනපතා නිසි ලෙස මුත්‍රා පිටවීම තුළින් ශරීරය තුළ ජලයේ සමතුලනයක්‌ ඇතිවේ. එසේම රුධිර පීඩනය පාලනය කරයි. මත්‍රා හොඳින් පිට නොවන විට රුධිර පීඩනය වැඩිවීමටද හේතුවේ.

මුත්‍රා පිටවන ප්‍රමාණය

පුද්ගලයකුගේ සිරුරින් මුත්‍රා පිටවන ප්‍රමාණය සහ වාර ගණන අප ජීවත්වන පරිසරය සහ එදිනෙදා ගත කරන ජීවිතය අනුව වෙනස්‌ වේ.

අධික උෂ්ණ දිනයකදී සිරුරින් දහදිය පිටවීම වැඩිවේ. එවිට මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවේ. ශරීරය වෙහෙසවා වැඩ කරන විට සිරුරින් පිටවන දහදිය ප්‍රමාණය අනුව ද මුත්‍රා පිටවන ප්‍රමාණය සහ වාර ගණන වෙනස්‌ වේ.

ශීතල පරිසරයක ජීවත්වන විට සිරුරින් පිටවන දහදිය ප්‍රමාණය අවම වීම නිසා මුත්‍රා පිටවන ප්‍රමාණය වැඩිවේ.

අප විශේෂයෙන් අවධානයට යොමු කළ යුතු අවස්‌ථාවක්‌ වනුයේ අධික ලෙස දහදිය පිටවන විට ඊට සමානව ජලය පානය කිරීමය. මන්දයත් දහදිය සමග සිරුරේ ඇති ජලය පිටවීම නිසා මුත්‍රා පෙරීම සඳහා අවශ්‍ය ජලය අඩුවේ. එම ජල ප්‍රමාණය අඩුවන විට ඉතා පහසුවෙන් මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය.

මුත්‍රා පිටවීම අඩුවීමත් මුත්‍රා පිටවීම වැඩිවීමත් රෝගයකි. මුත්‍රා වැඩිපුර පිටවීමට ප්‍රධාන ලෙසම හේතුවන්නේ දියවැඩියාව රෝගයයි. එය බහු මුත්‍රාතාවය ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී දිනකට මුත්‍රා පිට කරන වාර ගණන වැඩිවීම රාත්‍රියට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව සාමාන්‍ය අයකුට වඩා වැඩිවීම දැකිය හැකිය.

මුත්‍රා ආසාදන වළක්‌වා ගැනීම

මුත්‍රා පෙරීමට හිතකර ආහාර පාන වර්ග එදිනෙදා ජීවිතයට එක්‌කර ගැනීම සහ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය නිසි ලෙස පානය කිරීම තුළින් මුත්‍රා ආසාධන ඇතිවීම වළක්‌වා ගැනීමට පිළිවන.

එහිදී රාත්‍රි බාර්ලි, රණවරා, ඉරමුසු ආදී ආහාර පාන වර්ග නිතර භාවිතයට ගත හැකිය. මෙම ආහාර පාන මුත්‍රා පෙරීමට අවශ්‍ය පහසුකම් සපයනු මෙන්ම මුත්‍රාවල ඇති විෂ බීජ විනාශ කිරීමේ හැකියාවක්‌ද පවතී.

ඊට අමතරව මුත්‍රා ආසාදන ඇතිවීමට බලපාන ආහාර පාන වර්ග ගැනීම අවම කළ යුතුය. එනම් අන්නාසි, තක්‌කාලි, රඹුටන්, විනාකිරි වැනි ලවන සහිත අම්ල අධික ආහාර නිතර නොගත යුතුය. සැර බීම වර්ග, කෘතිම රසකාරක සහිත පාන වර්ග නිතර පානයට නොගත යුතුය.

නිතර ඇතිවන මුත්‍රා ආසාදන

මුත්‍රා ආසාධනයකට හේතුවිය හැකි විෂ බීජයක්‌ මුත්‍රා පද්ධතියට එක්‌වීම නිසා ඇතිවන ආසාදනයකදී හොඳින් ජලය පානය කිරීම සහ මුත්‍රා පෙරීමට උපකාරී වන ආහාර පාන වර්ග ගැනීමෙන් මතුව ඇති රෝගී තත්ත්වය අඩුකර ගත හැකිය. පවතින රෝගී තත්ත්වය මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

නමුත් නිතර නිතර මුත්‍රා ආසාදන මතුවේ නම් එය වඩාත් අවධානයට යොමු කළ යුතුය. එය විෂ බීජයක්‌ මුත්‍රා මාර්ගයට ඇතුළුවීම නිසාම නොව මුත්‍රා නළ විකෘතිතාවක්‌ නිසා මතුවන්නක්‌ විය හැකිය. ඇතැම්විට මුත්‍රා පද්ධතියේ ගල් හට ගැනීමක්‌ද විය හැකිය. එවැනි අවස්‌ථාවකදී වහාම වෛද්‍ය උපදෙස්‌ ලබා මතුව ඇති රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගත යුතුය.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...