මුලින්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නම් ඉතිරි වුණේ කාන්තා නම් පමණයි

ලංකා දුම්රිය සේවය සමාගමක් ලෙස මුලින්ම ලියාපදිංචි කරනුයේ ලන්ඩනයේදීය. ඒ 1845 තරම් ඈත කාලයේදීය. අද වන විට වසර 160කට වැඩි කාලයක් ගෙවී ඇති ලක්දිව දුම්රිය ඉතිහාස කතාවේ ස්වර්ණමය යුගය ලෙස ගැනෙනුයේ බි.ඩී.රම්පාල මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරය දැරූ 1956-1971 අතර කාලය මෙම කාලයේ දුම්රිය සේවය තුළ සිදු වූ බොහෝ ප්‍රතිසංවිධාන අද දක්වා දුම්රිය සේවය පවත්වාගෙන යෑමට මූලික වූ බව නොරහසකි. රම්පාල මහතාට තාක්ෂණික කරුණුවලට අමතරව දුම්රිය සේවය ජනතාව අතරට ගෙන යෑමට යොදා ගත හැකි සාහිත්‍යාංග සහ සෞන්දර්යාත්මක උපායන් පිළිබඳව ද යම් අවබෝධයක් තිබූ බව එතුමන් කළ කී දෑ විග්‍රහ කිරීමෙන් වටහා ගත හැක. විශේෂයෙන්ම අදටත් ලංකා දුම්රිය සේවයේ ජනප්‍රිය අංගයක් වන “නම් කරන ලද දුම්රිය”NAMED TRAIN සඳහා දේශීයත්වය මුසු කිරීමට එතුමන් ගත් ක්‍රියාමාර්ගයන් ඊට කදිම නිදසුන් වෙයි.
1920 පමණ වන විට මෙරට භාවිත කළ සියලුම දුම්රිය එන්ජින් බ්‍රිතාන්‍යයයේ නිපද වූ වාෂ්ප එන්ජින් විය. කළු, රිදී, රතු වැනි එතරම් ඇසට ප්‍රිය නොවූ කර්කෂ වර්ණ ගැන්වූ එම දුම්රිය එන්ජින්වල තිබූ රළු පෙනුම වෙනස් කර ඒවා පහසුවෙන් හඳුනාගනු පිණිසත් ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් අනුස්මරණය කරනු පිණිසත් 1929 දී ලංකා දුම්රිය සේවයේ වාෂ්ප එන්ජින් හිටපු ආණ්ඩුකාරවරුන්ගේ නම්වලින් නම් කිරීම ආරම්භ විය.
ඒ අනුව අංක 251B1A දරන එන්ජිම “තෝමස් මේට්ලන්ඩ් නමින් 1929 දී නම් කරන්නට යෙදුණි. ඊට සමගාමීව අංක 243B1”ශ්‍රීමත් වෙස්ට් රිජ්වේ නමින්ද 253 B1 ශ්‍රීමත් ෆෙඩ්‍රික් නෝර්ත් නමින්ද නම් කරන්නට යෙදුණි. මේ ආකාරයෙන් ආණ්ඩුකාරවරු 16 දෙනකු පමණ අනුස්මරණය කරමින් දුම්රිය එන්ජින් නම් කෙරුණු අතර ශ්‍රී මත් රොබර්ට් චාර්මස් ආණ්ඩුකාරයාගේ නමින් අංක 245ඕ1 සහ අංක 255ඕ1ඒ යන එන්ජින් දෙක නම් කිරීම විශේෂයක් වනුයේ එන්ජින් දෙකක්ම නම් කර ඇත්තේ ඔහු නමින් පමණක් වන නිසාය. ඊට අමතරව අද දක්වාම සංචාරක ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා “ඪජඥ අධර” එන්ජිමද අංක 262 දරන ඬඪදඨ ට්ඥධපඨඥ ම දරන එන්ජිමද සුවිශේෂී වැදගත්කම් සහිත ඒවාය.


එන්ජින් නම් කිරීම වෙනුවට දුම්රියක් නම් කිරීම ලංකා දුම්රිය සේවයට එක්වන්නේ 1930 දශකයේදීය. ඒ හා පුරා කියා ලංකාවට ගෙන ආ දෙමුහුන් බලවේග කට්ටල 3 (Deisel Electric power set) silver spray), silver smith silver poem ලෙස නම් කිරීම සමගිනි. එංගලන්තයේ නිෂ්පාදකයන් විසින් කර තිබූ මෙම නම් කිරීම දේශීයත්වය මුසු නොවීමත් එම දුම්රියවල තිබූ අඩුපාඩුත් නිසා ඉතා කෙටි කලකින්ම මෙම දුම්රිය ධාවනයෙන් මෙන්ම මතකයෙන්ද ඉවත් විය. ඒ අනුව ලංකා දුම්රිය සේවය තුළ “නම් කරන ලද දුම්රිය” (NAMED TRAIN) සංකල්පය පළමුවරට අසාර්ථක විය. 1940 දී පමණ දුම්රිය එන්ජින් නාම කරණයට දේශීයත්වයක් ලබා දෙනු වස් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දුම්රිය එන්ජින් 4ක් මෙරට ප්‍රධාන පෙළේ විදුහල් හතරක නමින් නම් කරන ලදී. ඒ අනුව270D1 එන්ජිම“Ananda college ලෙසද 272D1 එන්ජිම S.t Thomas College ලෙසද 273D1එන්ජිම Royal College 274 D1 එන්ජිම S.T. JhOSEPH College ලෙසද නම් කරන ලදී. එයද එතරම් අවධානය දිනාගත් බව වාර්තා නොවූ අතර ඉක්මනින්ම අවධානයෙන් ගිලිහි යන ලදී.
කෙසේ නමුත් 1950 දශකය එළඹෙන විට රට පුරා මාර්ගස්ථ මගී ප්‍රවාහනය දියුණු මට්ටමකට පැමිණ තිබුණි. එතෙක් කල් පැවැති භාණ්ඩ ප්‍රවාහන ඒකාධිකාරියද දුම්රිය සේවයෙන් ගිලිහෙමින් තිබුණි. එනිසා මගී ආකර්ෂණය නංවා ආදායම වැඩි කරනු රිසියෙන් 1953 වන විට ඩීසල් එන්ජින් ජනප්‍රිය කිරීමට මෙරට දුම්රිය පාලකයන් කටයුතු කරන්නට විය.
එම වැඩපිළිවෙළ අනුව ඩීසල් එන්ජින් යෙදූ ශීඝ්‍රගාමී දුම්රිය තුනක් එකවර හඳුන්වාදීම 1953දී සිදුවිය. yalpanam Expressදුම්රිය යාපනය තෙක්ද “Ruhunu Express”දුම්රිය මාතර තෙක්ද “Mahanuwara Expres”දුම්රිය නුවර තෙක්ද ධාවනය කරන්නට කටයුතු යෙදුණි. මෙම සේවාවන් ඉතා කෙටි කලකට සීමාවීම නිසා මෙම නම්ද ඉක්මනින් ජනතාවට අමතක විය. ඒ අනුව ලක්දිව දුම්රිය සේවය තුළ “නම් කරන ලද දුම්රිය” සංකල්පය දෙවන වරටද අසාර්ථක විය.
1955 වන විට නව ඩීසල් එන්ජින් වල දැඩි අවශ්‍යතාවයක් උද්ගතව පැවතුණි. ඒ අනුව කොළඹ ක්‍රමය යටතේ කැනේඩියන් ආධාර ලෙස m2 වර්ගයේ ඩීසල් එන්ජින් 10ක් ලංකාවට ලැබුණි. එදා මෙදා තුර ලංකා දුම්රිය සේවයේ වාසනාවන්තම එන්ජන් ලෙස සලකන m2 වර්ගයේ මෙම කැනේඩියන් එන්ජින් වැන්කුවර් බ්‍රිටිෂ් කොලොම්බියා, නිව් ෆවුන්ඩ්ලන්ඩ් මොන්ට්‍රියෙල් වැනි කැනඩාවේ ප්‍රාන්තවල නමින් නම් කර තිබුණි. මෙම එන්ජින්වල සාර්ථකත්වය නිසාම පසුකාලීනව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ථ2 වර්ගයේ තවත් එන්ජින් කීපයක් මිලදී ගත් අතර ඒවා “ගාල්ල” “කන්කසන්තුරය” “නමුනුකුල” ආදී නම්වලින් හඳුන්වන ලදී. ගාල්ල සහ කන්කසන්තුරය එන්ජින් සිමෙන්ති ප්‍රවාහනය සඳහා යොදා ගත් බැවින් සිමෙන්ති කම්හල් පිහිටි ස්ථානවල නමින් නම් කර තිබුණද අද නවීකරණය කළ මෙම එන්ජින් මගී ප්‍රවාහන කටයුතු සඳහා ද යොදා ගනී.
1955 න් ඇරඹෙන විට රම්පාල යුගයේදී අතීතයේ දෙවරක් අසාර්ථක වුණ” නම් කරන ලද දුම්රිය”(NAMED TRAIN) සංකල්පය වඩාත් ආකර්ෂණීය ලෙස සමාජගත කරන්නට උත්සාහ ගනු ලැබිය. ඒ අනුව “යකඩ යකා” යන යල් පැන ගිය රළු ප්‍රතිරූපය ඉවත් කර දුම්රියකට ස්ත්‍රී ලාලිත්‍ය එක් කිරීමට කාන්තා නමකින් දුම්රිය නාම කරණය” 1955දී ආරම්භ විය.


මේ ආකාරයට නම් කරන ලද ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය “රුහුණු කුමාරි” දුම්රියයි. රුහුණු කුමාරි දුම්රිය සිය මංගල ගමන යෙදුණේ 1955වසරේ ඔක්තෝබර් 24 වැනි දිනයයි මේ ඓතිහාසික ගමන පිළිබඳව ලිපියක් පළ කරන “දිනමිණ” පුවත්පත එය වාර්තා කර තිබුණේ මෙසේය.
“කොළඹ සහ මාතර අතර සුවිශේෂී පහසුකම් සහ ආහාර ගැනීමේ පහසුකම්ද සහිතව ශීඝ්‍රගාමී දුම්රියක් ‘රුහුණු කුමාරි’ නමින් අද පස්වරු 4ට කොළඹ කොටුව දුම්රිය‍පොළෙන් ගමන් අරඹයි” යනුවෙනි.රුහුණු කුමාරියගේ ඓතිහාසික ගමන වෙනුවෙන් කොටුව දුම්රිය ‍පොළ මැනවින් අලංකරණය කෙරිණි.
ගමනට සූදානම්ව “බ්‍රිටිෂ් කොලොම්බියා” නම් m2 වර්ගයේ කැනේඩියන් එන්ජිම සහිත දුම්රිය 5 වෙනි වේදිකාවේ නතර කර තිබුණි. එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ශ්‍රීමත් ජෝන් කොතලාවල සහ ප්‍රවාහන ඇමැති ධුරය දැරූ මොන්ටේගු ජයවික්‍රම යන මහතුන් උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වූහ. සියලු දෙනාගේ සුභ පැතුම් මැද මාතර බලා නික්මුණු රුහුණු කුමාරිගේ ගමන අද දක්වාම නොනැවතී ක්‍රියාත්මක වෙයි.
රුහුණු කුමාරියගේ සාර්ථකභාවය නිසාම” මාස 6ක් තුළ තවත් “නම් කරන ලද” දුම්රිය දෙකක් ඇරඹීමට මෙරට දුම්රිය බලධාරීහු උත්සුක වූහ. ඒ අනුව යාල් දේවි සහ උඩරට මැණිකේ යන දුම්රියන් දෙක පිළිවෙළින් කන්කසන්තුරේ සහ බදුල්ල දක්වා ධාවනය කරන්නට ඇවැසි කටයුතු කඩිනමින් සම්පාදනය විය.
1956 අප්‍රේල් මස 23 වන දින උදෑසන 5.30 ට යාල් දේවි දුම්රිය කන්කසන්තුරේ බලාද උදෑසන 9ට උඩරට මැණිකේ දුම්රිය බදුල්ල තෙක්ද ධාවනය කරන්නට කටයුතු යෙදී තිබුණි. මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙසින් එවකට ප්‍රවාහන අමාත්‍යධුරය දැරූ මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සේනානායක මහතා සහභාගි විය. 1956 වන විට රට තුළ විශාල දේශපාලන වෙනසක් නිර්මාණය වී තිබුණ අතර එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සමගි පෙරමුණු රජයට පාලන බලය හිමිව තිබුණි. නමුත් රුහුණු කුමාරියගේ නම පවා වෙනස් නොකරන්නට එවකට ප්‍රවාහන ඇමැතිවරයා වූ මෛත්‍රිපාල සේනානායක මහතා තීරණය කිරීම වත්මන් දේශපාලකයන්ට කදිම ආදර්ශයකි.
අප රටේ “නම් කරන ලද දුම්රියන්” අතර අද දක්වාම ප්‍රමුඛ ස්ථානයක සිටින මෙම දුම්රිය තුනම එකම දවසක ඇරඹුන බව (1956-4-23) බොහෝ දෙනකු විශ්වාස කරන මුත් එය සාවද්‍ය බව අප ඉතා වගකීමෙන් සඳහන් කරමු. මෙම වැරදීමට මූලික හේතුව 1956 අප්‍රේල් මසදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීමකි.


“ලංකාණ්ඩුවේ දුම්රිය සේවය ප්‍රිය කර සොයුරියන් තිදෙනෙකු ඉදිරිපත් කරයි” යනුවෙන් පළ කර තිබූ එම දැන්වීම නිසා බොහෝ දෙනකු මෙම දුම්රිය සේවාවන් තුනම එක දිනයක ඇරඹුන බව වරදවා වටහාගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ‍ලේඛන සහ සමකාලීන පුවත්පත් විමසා බැලීමෙන් මෙම වැරදීම පහසුවෙන් නිවැරදි කර ගත හැකිය.
අදින් වසර පනහකටත් පෙර ඇරඹි මෙම “නම් කරන ලද “දුම්රිය සේවාවන්” අද වන විට කෙතරම් ජනප්‍රියද කියතොත් “උඩරට මැණිකේ” යැයි කියූ සැණින් ඕනෑම කෙනකුගේ සිත ඇදෙනුයේ සාම්ප්‍රදායක් කුල කාන්තාවක් නොව උදෑසන 9ට කොළඹ කොටුවෙන් බදුල්ලට ගමන් අරඹන දුම්රිය බව ඔබද පිළිගන්නවා ඇත. යාල් දේවියද දෙනුවර එක් කරන දුම්රියක් බවට පත්ව ඇත. මේ සියලුම දුම්රියන් හුදු ප්‍රවාහන භූමිකාවෙන් ඔබ්බට ගොස් පුළුල් සමාජ මෙහෙයක යෙදෙයි.
මෙම දුම්රිය තුනට අමතරව ලංකා දුම්රිය සේවය සතු තවත් නම් කරන ලද දුම්රිය ගණනාවකි. ඒ අතර උදයදේවී (ත්‍රිකුණාමලය) මීනගයා (මඩකළපුව) සමුද්‍රදේවි (ගාල්ල) රජරට රැජින(වවුනියාව) මුතු කුමාරි (හලාවත) සෙංකඩගල මැණිකේ (මහනුවර) ‍පොඩි “මැණිකේ”(බදුල්ල) වැනි දුම්රිය වඩාත් ජනප්‍රිය “දුම්රිය නාම” වෙයි.
අද වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතු සියලුම දුම්රිය නාම කාන්තා නාම වීම සුවිශේෂි කරුණක්.
දේශියත්වයට නෑකම් නොකියන විදෙස් නම්, සහ සිංහල හෝ ද්‍රවිඩ නාම ඉංග්‍රීසියෙන් යොදා ඇරඹූ සෑම “නම් කරන ලද දුම්රියක්ම” කෙටි කලකින් ජනතා අවධානයෙන් ගිලිහෙද්දී, යකඩ යකාගේ රළු පෙනුම මකාලන්නට ස්ත්‍රි ලාලිත්‍යයට හැකි බව වටහා ගෙන “දුම්රිය නාමකරණය” “කාන්තා කරණය” කරන්නට රම්පාල මහතාට තිබූ ඉව නිසා ඔහුගේ අදහස් තාක්ෂණික සහ කාර්මික කරුණුවලින් ඔබ්බට ගොස් තිබූ බව අපට වටහා ගත හැක.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...