11.3 C
London
Friday, May 16, 2025
spot_img

මෙවර ජනාධිපතිවරණයෙන් ඔබාමා ජයගත්තේ කොහොමද ?

තම රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන මිට් රොම්නි පරදවා බරක් ඔබාමා තව සිව් වසරකට ඇමරිකානු ජනපති පදවියට පත්විය.ඇමරිකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා මේ ජයග්‍රහණය ලැබුවේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද කොට්ඨාස 270 ලබාගනිමිනි. ඔබාමා මේ ජයග්‍රහණය ලැබුවේ එරට ආර්ථිකයේ කඩාවැටීම ගැන විවේචන හා රොම්නිගේ විශාල මුදලක් වැයකොට සිදුකළ මැතිවරණ ප්‍රචාරක කටයුතු මැද වීම විශේෂත්වයකි.
මේ සටහන ලියනවිට තවත් එක් ප්‍රාන්තයක ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට නියමිතව තිබුණු බැවින් ප්‍රධාන අපේක්ෂ-කයින් දෙදෙනා අතර ප්‍රතිඵලවල පරතරය නිසියාකාරව කිව නොහැකිය. කෙසේවුවද ප්‍රාන්ත පනස් එකෙන් පනහක ප්‍රතිඵල නිකුත්ව අවසන් වූ විට දෙදෙනා අතර ඡන්ද පරතරය ඉතා සුළු එකක් විය. ඡන්ද කොට්ඨාස අතරින් ඒ වනවිට ඔබාමා 303ක් ලබාගෙන තිබුණු අතර රොම්නිට හිමිව තිබුණේ 203කි.
බොස්ටන් හි පිහිටි තම ප්‍රධාන මැතිවරණ කටයුතු කාර්යාලයේ සිට හැඟුම්බර කතාවක් කරමින් ඔබාමාට සුබ පැතූ රොම්නි කියා සිටියේ තමා සහ තම උප ජනපති තනතුර සඳහා තෝරාගත් ‍පෝල් රයන් මුළු හදවතින්ම මැතිවරණය වෙනුවෙන් කැපවූ බවකි. වෙනස් දිශාවකට රට ගෙනයාමට තමාට අවස්ථාව ලැබුණේනම් යහපත් බව සිහිපත් කළ මිට් රොම්නි මැතිවරණය අවසන්වුවද තම ප්‍රතිපත්ති අවසන් නැති බවද කියා සිටියේය.
මෙවර කොලරාඩෝ, අයෝවා, පෙන්සිල්වේනියා, මිචිගන්, මිනෙසොටා, වර්ජිනියා යන ප්‍රාන්ත ජයගැනීමට ඔබාමා සමත් වූ අතර ඔහුගේ ජයග්‍රහණය තහවුරු කළේ අයෝවා ප්‍රාන්තයයි. ඒ අතර පසුගිය මැතිවරණයේදී ජනපතිවරයාට ජයගන්නට හැකිවූ නෝර්ත් කැරොලයිනා හා ඉන්ඩියානා යන ප්‍රාන්තවල ජය ලබාගැනීමට මිට් රොම්නි සමත්විය.
ආර්ථිකය කඩා වැටී විරැකියාව ඉහළ ගොස් තිබියදී ඔබාමා ජයගත්තේ කෙසේද?මැතිවරණ විචාරකයින් ඊට හේතුව ලෙස දක්වනුයේ ජනපතිවරයාගේ ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ සාර්ථක වීම, 2009 දී ඇමරිකානු මෝටර් රථ කර්මාන්තය ඇදවැටීමෙන් වළක්වාගැනීමට සමත්වීම හා ඔසාමා බින් ලාදින් මරාදැමීමේ මෙහෙයුම සාර්ථක වීම යන කරුණු මත ඡන්දදායකයින් වැඩි පිරිසක් මෙවරත් ඔබාමාට කැමැත්ත දුන් බවය.
ඇමරිකානු මැතිවරණ ඉතිහාසයේ ඉතාම තියුණු තරගයක් තිබූ මැතිවරණ අතරට 2012 ජනපතිවරණයද එක්වන අතර එතෙක් මතෛක් වැඩිම වියදමක් දැරූ ඇමරිකානු ජනපතිවරණයද මෙය බව වාර්තා වෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles