මේ දිනවල ව්‍යාපාර වැඩි වශයෙන් දියුණු වී ඇත්තේ කට්ටඬි මහත්වරුන්ගේ සහ කපුරාලලාගේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිය දරුවන් ළමා අපචාරයන්ගෙන් බේරාදෙන්නැයි මව්පියන් පැමිණ කට්ටඬි මහත්වරුන් හා දේවාලවල කපු මහත්වරුන් හමුවී ඉල්ලා සිටින තත්ත්වයක් උදාවී ඇතැයිද,තම ව්‍යාපාර දියුණුවී ඇති බව පෞද්ගලිකව ඒ කට්ටඬි මහත්වරුන් හා කපුරාලලා තමන් සමග පවසා ඇතැයිද වික්‍රමසිංහ මහතා කියා සිටියි.
අද(22)දෙල්කඳ සතිපොළේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
මේවන විට රටේ ළමා අපචාරවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත්,මව්පියන්ට ඒ සඳහා තම දරුවන්ගේ පිහිට ආරක්ෂාව පතා දේවාල ගාණේයාම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
කුඩාදැරියක මහ පාරේ ඇවිදයනු ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දුටුවොත් ඇය පැහැරගෙන ගොස් දූෂණය කරන තත්ත්වයක් උදාවී ඇති බව වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
එසේ වුවද රත්‍රන් ආභාරණ පැළඳ තනිව කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනිව ගමන් කළ හැකිව තිබූ වාතාවරණයක් අතීත රාජාණ්ඩු පාලන සමයේ පැවති බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
වර්තමානයේද පවතින්නේ රාජාණ්ඩුවක් වුවද මේ රාජාණ්ඩුව යටතේ සැතපුම් භාගයක් වත් එසේ ගමන් කළ නොහැකි බව විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.