රන්ටැඹේ ශිෂ්‍ය භට බළකා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි විදුහල්පතිවරයකු ඊයේ (30 වැනිදා) හදිසියේ රෝගාතුර වීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ සීදුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහලේ විදුහල්පති ගම්පහ අකරවිට පදිංචි ඩබ්ලිව්. ඒ. එස්. වික්‍රමසිංහ (53) මහතායි. විදුහල්පතිවරුන් සඳහා කපිතාන් තනතුර ලබාදීමට රන්ටැඹේ පුහුණු පාසලේ ඊයේ (30 වැනිදා) පෙරවරුවේ පැවැති ඇවිදීමේ ව්‍යායාමයේ යෙදී සිටියදී හදිසියේ රෝගාතුර වූ ඔහු මහියංගනය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත. විදුහල්පතිවරයා පුහුණු පාසලට ඇතුළත් වීමේදී ශාරීරික යෝග්‍යතා සහතික ඉදිරිපත් කර තිබෙන අතර මරණයට හේතුව නිශ්චිතව සොයා ගැනීම සඳහා ඊයේ (30 වැනිදා) සවස පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
රන්ටැඹේ පුහුණු පාසලට විදුහල්පතිවරුන් 97 දෙනකු ඉකුත් 28 දා බඳවාගෙන ඇත්තේ මාසික පුහුණුවක් සඳහාය .සිද්ධිය පිළිබඳව හසලක පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුමාරසේකර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
අධ්‍යාපන අරමුණු වෙනුවෙන් කටයුතු කරන පිරිසකගෙන් ආරක්‍ෂක අරමුණු ඉටුකර ගැනීමට රජය උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදුහල්පතිවරයකුට අකාලයේ මිය යන්නට සිදුවී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (30 වැනිදා) පැවසීය.
රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටියදී සීදුව පඤ්ඤානන්ද විදුහලේ විදුහල්පතිවරයා මිය යැම සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් ජයසිංහ මහාතා එසේ කීය.
විදුහල්පතිවරුන් යනු දීර්ඝ කාලයක සිට අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින පිරිසක් බවත් ඔවුන්ට බලහත්කාරයෙන් මෙවැනි අහම්බෙන් ලබාදෙන පුහුණුව ලබාදීමට යැම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඉදිරියේදීත් ඇතිවිය හැකි බවද හෙතෙම කීය. එම නිසා දැන්වත් විදුහල්පතිවරුන්ට හමුදා තනතුරු නාම ලබාදීමේ වැඩපිළිවෙළ නවතා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද හෙතෙම කීය.
සැමියා මියයන්නට පෙර දුරකථනයෙන් මට කතා කළා
නෝමන් පලිහවඩන
අපි කිසිම කරදරයක් නැතිව රන්ටැඹේට ආවා කියා මගේ සැමියා මියයන්නට කලින් ජංගම දුරකථනයෙන් පැවසුවා යි රන්ටැඹේ පැවැති විදුහල්පතිවරුන්ගේ හමුදා පුහුණු වැඩමුළුවේදී මියගිය සීදුව පඤ්Æනන්ද විදුහලේ විදුහල්පති ඩබ්ලිව්. ඒ. එස්. වික්‍රමසිංහ (53) මහතාගේ මරණය පිළිබඳව ශෝක වෙමින් ඔහුගේ බිරිඳවන සුජාතා වීරසිංහ (49) මහත්මිය “දිවයින”ට ප්‍රකාශ කළාය.
මගේ සැමියා මෙම වැඩමුළුවට ලොකු සතුටකින් ගියේ. මා දන්නා තරමට මෙම වැඩමුළුව සති කීපයක් තිබෙනවා.
සැමියාට දරුණු අසනීපයක් පෙනෙන්නට තිබුණේ නැහැ. එයා ඉඳලා හිටලා දියවැඩියාවට බෙහෙත් පෙති ගත්තා.
news:divaina