දෙදහස් පහේ ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ එජාප ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට එරෙහිව රටපුරා ගහක් ගලක් ගානේ පෝස්ටරයක් ඇලවිණි. එහි සඳහන්ව තිබුණේ ‘රනිල්ට බෑ’ යනුවෙනි. මේ පෝස්ටරය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය භාරව හුන් මංගල සමරවීර බව දේශපාලනඥයන්ට රහසක් නොවීය. මක්නිසාද යත් එවැනි ව්‍යාපෘති සඳහා මංගල සමරවීර මහත් කීර්තියක් උසුලන බැවිනි. එනමුත් මහින්ද සමග විරසක වූ පසු මංගල කීවේ වෙනත් කතාවකි. මංගල සමරවීර පැවැසුවේ රනිල්ට පුළුවන් නිසා ඒ කතාව යටපත් කිරීමට ඔහුට බෑ යනුවෙන් පෝස්ටරයක් ගැසූ බවය.
කෙසේ නමුදු අනූහතරේ පක්ෂ නායකත්වයට පත්වූ දින සිට (දෙදහස් එකේදි හැර) මේ දක්වා පැවැති සියලු ඡන්දවලින් පරාජය වීම හේතුකොටගෙන රටේ මුල් බැස ගත් මතයක් වන්නේ රනිල්ට ආණ්ඩු පෙරළීමට හැකියාවක් නැති බවය. ගිලෙන නැවෙන් මීයොත් පනින්නාක් මෙන් දැන් දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් පැන ආණ්ඩුවට යන්නේ අඩුම තරමේ හත්ගව්වකින්වත් එජාප ආණ්ඩුවක් බිහි නොවන බවට පෙනෙන්නට ඇති නිසාය. එසේ එජාපය හැරගිය මන්ත්‍රීවරුන්ගේ ගණන හැට පහක් පමණ වෙයි.
ආණ්ඩු පෙරළන්නට රනිල් වික්‍රමසිංහට නොහැකිවීම ගැන පුදුම හිතෙන්නේ ඔහුගේ පරම්පරාවේ වගතුග හාරා අවුස්සා බලන විටය. රනිල්ගේ පියා රටේ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ආණ්ඩු පෙරළන්නටය.
ඒ නම දැන් දැන් දේශපාලනයේ ඇසෙන්නේ කලාතුරකිනි. එනමුත් මීට දශක කීපයකට පෙර එස්මන්ඩ් වික්‍රමසිංහගේ නම දේශපාලනයේ තිරය පිටුපසින් නිතර ඇසුණේය. ඒ, මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ කවුද එසේ නැතිනම් මීළඟ අගමැති කවුදැයි තීරණය කළ රජුන් තනන්නා ඔහු යටත් පිරිසෙන් ගම් සභාවකවත් මන්ත්‍රීධුරයක් දරා නැති මුත් එස්මන්ඩ් වික්‍රමසිංහ එකල මහා බලසම්පන්න චරිතයක් විය.
පරම්පරාවේ මෑත කාලයේ කැපී පෙනෙන මුල්ම චරිතය පී.එල්. වික්‍රමසිංහය. සිවිල් සේවයට ඇතුළු වී ලංකාවේ දිසාපති ධුරයකට පත් මුල්ම සිංහලයා ඔහුය. එක්දහස් නවසිය තිහේදි ඔහු සබරගමු දිසාපති ලෙස පත්විය. එපමණක් නොව මුල්ම ශ්‍රීලංකේය ඉඩම් කොමසාරිස්වරයා වූයේද පී.එල්. Nalini-&-Familiyවික්‍රමසිංහය. ඩී.ඇස්. සේනානායකගේ ගොවිජන ව්‍යාපාරයේ යෝධ ශක්තිය වූයේ ඔහුය.
ඔහු විවාහ වූයේ කුරුණෑගල මූනමලේ වලව්වෙනි. ඇය එස්මි මූනාමලේ ගුණවර්ධනය. ඔවුන්ට හුන් දරුවන් ගණන සිවු දෙනෙකි. වැඩිමලා එස්මන්ඩ්ය. තෙවැනියා වූයේ පසුකලෙක කුරුණෑගල රදගුරු ධුරයට පත් වූ ලක්ෂ්මන් වික්‍රමසිංහය. පවුලේ එකම ගැහැනු දරුවා මුත්තා වික්‍රමසිංහය. ඈ විවාහ වූයේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරූ සෑම් විජේසිංහ සමගය. සන්ධාන ආණ්ඩුවේ පත්කළ මන්ත්‍රීවරයකු වන මහාචාර්ය රජිව විජේසිංහ සෑම් හා මුත්තා යුවළගේ පුතාය.
මේ සොයුරු සොයුරින් අතරින් අපගේ කතාවේ ප්‍රධාන චරිතය වූ එස්මන්ඩ් වික්‍රමසිංහ ඉගෙනුම ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි. ඉක්බිතිව කොළඹ සරසවියෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක්ද ලබා නීතිවේදියකු බවටද පත්විය. පසුකලක එජාපයේ නිල නොවන නායකයා ලෙස හැඳින්වුවද එස්මන්ඩ් දේශපාලනයේ ‘අ’යන්න කියවූයේ ලංකා සම සමාජ පක්ෂයෙනි. ඔහු එහි ප්‍රබල චරිතයකි. පක්ෂයේ නිල ප්රකාශනය වූ ‘සමසමාජය’ සඟරාව විකිණීම භාරව හුන්නේ එස්මන්ඩ්ය. ඇතැම් දිනවල ඔහු සඟරාව වික්කේ සිය සුඛෝපභෝගී හම්බර් හෝක් මෝටර් රථයෙන් ගොස් බව එකල කියවිණි.
එස්මන්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ තරුණියක සමග ප්‍රේම සබඳතාවක පැටලුණේය. ඇය නාලිනී විජයවර්ධනය. ලංකාවේ පුවත්පත්
ක්ෂේත්රයේ මහා චරිතය වූ ඩී.ආර්. විජයවර්ධන නාලිනිගේ පියාය. එකල නිදහස් සටනට අවැසි කඩු මුවහත් කරමින් ජාතික නායකයන් තැනීමේ ලා පුරෝගාමියකු වූයේ ඩී.ආර්. ය.
කෙසේ නමුදු මාමා හා බෑණාගේ දේශපාලනය යාදෙක නොරතරත විය. වැඩිකල් යන්නට මත්තේ ඩී.ආර්. සිය බෑණාත් සිය මතයට නම්මා ගත්තේය. ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂධුරයට පත්වූ පසු එස්මන්ඩ් වික්‍රමසිංහ සමාජවාදය හැර පියා ධනවාදය වැළඳ ගත්තේය.
නාලිනි – එස්මන්ඩ් යුවළගේ දරුවන් අතරින් රටේ ප්‍රසිද්ධියට පත්වූයේ රනිල් පමණක් නොවේ. ලංකාවට රුපවාහිනිය හඳුන්වා දුන් ශාන් වික්රමසිංහත් ජනප්‍රිය චරිතයකි. විරාජ්, චන්න හා ශානිකා වික්‍රමසිංහ රනිල්ගේ සොයුර සොයුරියෝය.
එස්මන්ඩ් වික්‍රමසිංහ චරිතය මතුවන්නේ ඔහු ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂධුරයට පත්වීමත් සමගය. රනිල් මෙන් නොව ඔහු අලුත් අලුත් දේශපාලන චරිත රටට හඳුන්වා දුන්නේය. ඒ සඳහා පාවිච්චි කළේ තමා යටතේ තිබූ ලේක්හවුස් පත්තරය. එස්මන්ඩ් රටේ කෙතරම් බලසම්පන්න චරිතයක් වූවාදැයි කිවහොත් ඩී.ඇස්. සේනානායක මිය ගිය පසු ඩඩ්ලි අගමැති බවට පත්කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන චරිතයක් වූයේ ඔහුය.
ඩී.ඇස්. මරණයට පත්වූයේ අසුපිටින් වැටී බවට අදහන බොහෝ දෙනා අදත් සිටියත් සැබවින්ම ඔහු මිය ගියේ හෘදයාබාධයකිනි. වසර දෙක තුනක සිටම දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ සිටි ඔහු, සිය පුතුගේ අනාගතය භාර කළේ එස්මන්ඩ්ටය. ඩී.ඇස්. රෝගාතුර වූ මොහොතේ අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි හුන්නේ නොරටය. ඔහු ලංකාවෙන් පිටවීමට පෙර වැඩබලන අග්‍රාණ්ඩුකාර ධුරයට අගවිනිසුරු ශ්‍රීමත් ඇලන් රෝස් පත්කළේ උපදෙසක්ද දෙමිනි. ඒ අගමැතිවරයාට විපත්තියක් සිද්ධ වුවහොත් තමා එනතුරා එම ධුරයට කිසිවෙකු පත්නොකළ යුතු බව පවසමිනි. එමෙන්ම එස්මන්ඩ් වික්‍රමසිංහ සියලු කටයුතු බලාගනු ඇතැයිද ඔහු කීවේය.
මේ අතර අගමැති මිය ගියේය. ආණ්ඩුවේ දෙවැනියා වූ සභානායක ජෝන් කොතලාවල වැඩබලන අග්රාණ්ඩුකාරවරයාගෙන් අගමැතිකම ඉල්ලීය. ඒ වෙලාවේ ඉදිරියට ආවේ එස්මන්ඩ්ය. ඔහු සිය පුවත්පත් යොදාගෙන ඩඩ්ලි මීළඟ අගමැති විය යුතු බවට ජනමතයක් හැදුවේය. ඒ අතරේ රාජනීතිඥ ඇල්.ඇම්.ඩී. ද සිල්වා සමග එකතු වී තිරය පිටුපස සිට ඩඩ්ලි අගමැති කිරීමේ මෙහෙයුමද ක්‍රියාත්මක කරවීය. එහි ප්‍රතිඵලය වූයේ සෝල්බරි සාමි පෙරළා ලංකාවට පැමිණ ජෝන් කොතලාවල වෙනුවට ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත්කිරීමය. යම් හෙයකින් එස්මන්ඩ් වික්‍රමසිංහ ක්‍රියාත්මක නොවූවේ නම් ලංකාවේ දෙවැනි අගමැති වන්නේ ඩඩ්ලි නොව ජෝන්ය.
රනිල්ගේ තාත්තා ලංකා දේශපාලනයේ ප්‍රසිද්ධියට පත් වූයේ රජුන් තනන්නෙකු ලෙස පමණක් නොවේ. ඔහු දක්ෂ දේශපාලන නූල් සූත්තරකාරයෙකි. එනමුත් ඔහු නූල් සූත්තර එහාට මෙහාට ඇද්දේ ආණ්ඩු පෙරළන්නට මිසක් එජාපයේ තමන්ට එරෙහිව සිටින විරුද්ධවාදීන් පන්නා දැමීමට නොවේ. ඔහු තමාට තිබෙන සෑම සබඳතාවක්ම යොදාගත්තේ එජාපය ආරක්ෂා කරගැනීමටය. හැටහතරේදි පස්දෙනෙකුගෙන් සමන්විත ජුන්ටාවක් විසින් ආණ්ඩුව පාලනය කිරීමට උත්සහ ගනු ලැබූ අවස්ථාවේදී ඒ ආරංචිය විපක්ෂනායක ඩඩ්ලි සේනානායකට මුලින්ම කීවේ එස්මන්ඩ් වික්‍රමසිංහය.
එස්මන්ඩ් වික්‍රමසිංහගේ දේශපාලන නූල් සූත්තර කලාවේ කූඨප්රාප්තිය වන්නේ හැට හතරේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙරළීමට කළ පාර්ලිමේන්තු කුමන්ත්‍රණයය. වාමාංශික පක්ෂවල ඕනෑකමට බණ්ඩාරනායක අගමැතිනිය හැට හතරේදි පුවත්පත් මණ්ඩල පනතක් ඉදිරිපත් කර පත්තර මට්ටු කරන්නට හැදුවාය. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම ඇතුළු යෝජනා කීපයක් එම පනතේ තිබුණි. මේ අවස්ථාවේදී එස්මන්ඩ් වික්‍රමසිංහ දේශපාලනයේ තිරය පිටුපස සිට එම පනතට එරෙහිව වැඩට බැස්සේය. ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක ආදින් එළිපිට සටන් කරන විට එස්මන්ඩ් වික්‍රමසිංහ සුපුරුදු ක්‍රමය අනුගමනය කළේය. ඔහු ආණ්ඩුවේ හුන් පතාක යෝධයන් එකිනෙකා සිය සාක්කුවට දමා ගන්නේ කිසිවෙකුට නොහැඟෙන පරිදිය.
එම ක්‍රියාවලියේදී එස්මන්ඩ් කෙතරම් දක්ෂ ලෙස ක්‍රියාකළේ දැයි කිවහොත් ආණ්ඩුවේ දෙවැනියාව හුන් සභානායක සී.පී. ද සිල්වාත් (බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ඔහු ශ්‍රීලනිපයේ නායකත්වයද ඉසිලීය) විපක්ෂයට ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ එක වැඩි ඡන්දයකින් අගමැතිනියගේ රාජාසන කතාව පරාජය කර ආණ්ඩුව ගෙදර යැවීමය.
මේ සිද්ධිය ලංකා දේශපාලනයේ හැඳින්වෙන්නේ මහජන ඡන්දයකින් නොව පාර්ලිමේන්තු කුමන්ත්රණයකින් ආණ්ඩුවක් පරාජය කළ පළමු හා එකම අවස්ථාව ලෙසය. ඒ කුමන්ත්රණයේ මහ මොළකරු වූයේ රනිල්ගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහය. ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළීමට ඔහු දුන් නායකත්වය නිසා කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්ද විරුද්ධවාදීන් විසින් එල්ල කරනු ලැබිය.
ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළා නතර නොවූ එස්මන්ඩ් හැට පහේ ඩඩ්ලිගේ ආණ්ඩුව පිහිටුවීමටද මූලිකයා විය. එම ඡන්දයේදි එජාපයට හිමිවූයේ සුළු බහුතරයක් වුවද දෙමළ පක්ෂවල සහය ලබා ගනිමින් පස් අවුරුද්දක් ආණ්ඩුව පවත්වාගෙන යාමට එස්මන්ඩ් බොහෝ දේ කළේය.
ඔහු කිසිවිටත් කිසිවෙකු තරහ කර නොගත්තේය. කොටින්ම කියනවා නම් හැට පහේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හැදුවේ එස්මන්ඩ්ගේ ගෙදරදීය. එස්මන්ඩ්ගේ මේ රත්තරන් මොළය නිසා ඩඩ්ලි සේනානායක ඔහුව සෙනට් මණ්ඩලයට පත්කර විදේශ ඇමැති ධුරය දීමට යෝජනා කළේය. හැරත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ඔහුට තිබුණේ පුදුම හැකියාවකි. ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට තිබූ බාධක ඉවත්කර සාමාජිකත්වය ලබාදුන්නෙත් එස්මන්ඩ්ගේ මූලිකත්වයෙනි. මේ නිසා ජෝන් කොතලාවල අගමැතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකයා බවට එස්මන්ඩ් පත්කෙරුණි. කෙසේ නමුදු එස්මන්ඩ් ඩඩ්ලි සේනානායකගේ යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.
ඩඩ්ලි අගමැතිවරයා වුවද දිගටම එජාපය මෙහෙයවූයේ එස්මන්ඩ් වික්‍රමසිංහ බව පැවසේ. වරක් ඩඩ්ලිට ඉල්ලා අස්වන්නට ඕනෑ වූ විට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියත් හැදුවේ එස්මන්ඩ්ය. හැත්තෑවේ ඡන්දයෙන් එජාපය හතර ගාතේ වැටුණු මොහොතේදි
පක්ෂය ගොඩගැනීමට හැකියාව ඇත්තේ ජේ.ආර්.ට බව එස්මන්ඩ් දුටුවේය. ඩඩ්ලි මියගිය පසු ජේ.ආර්.ට පක්ෂ නායකත්වය දීමට එස්මන්ඩ් පෙරමුණ ගත්තේ එබැවිනි. නෑකම අනුව නම් ජේ.ආර්. හා එස්මන්ඩ් දෙමස්සිනෝය.
ජේ.ආර්. ජයවර්ධන පක්ෂ නායකත්වයට පත් වූ විගස එස්මන්ඩ් වික්‍රමසිංහට ආරාධනාවක් කළේය. ඒ ක්‍රියාකාරී දේශපාලනයට එන ලෙසය. එනමුත් එස්මන්ඩ් මෙවරත් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුදු ජේ.ආර්.ට වික්‍රමසිංහ පරම්පරාවෙන් දේශපාලනඥයකු ඕනෑ විය. අවසානයේදී ජේ.ආර්.ගේ තේරීම වූයේ රනිල් වික්‍රමසිංහය. නෑකම අනුව ජේ.ආර්. වූ කලී රනිල්ගේ මාමා ය.
නෑකම නිසා ඔහු එජාපයේ ඉහළට පැමිණියා මිසක් ජනතාව අතරින් මතු වූ නායකයකු නොවන බවටද චෝදනා එල්ල විය. හැරත් දහනව වසරක් පුරා රනිල් ප්‍රසිද්ධියට පත් වූයේ තම තනතුර රැකගැනීමට නූල් සූත්තර අදින්නෙකු ලෙස මිසක් ආණ්ඩුවක් පෙරළීමට පියා මෙන් දක්ෂයකු නොවන බවටය. ලංකා දේශපාලනයේ රජුන් තනන්නා ලෙස කිරුළු පළන් එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතාට එසේ වූයේ රටේ අවාසනාවකටදැයි එසේ නැතිනම් ඔහුගේ අවාසනාවකටදැයි කීමට නම් අප දන්නේ නැත.
Lakbima.lk