රනිල් නායකත්වයෙන් ඉවත් කරන්න…

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් වහාම ඉවත් විය යුතු බවට දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති 27ක සහභාගිත්වයෙන් බැස්ටියන් මාවතේ එම මූලස්ථානයේදී ඊයේ (02දා) පෙරවරුවේ රැස්වූ ජාතික දුම්රිය සේවා සමිතිය ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

චෝදනා 14ක් අඩංගු යෝජනාවක් සභාගත කරමින් එහි උප ලේකම් ඩී.ජී.ඩී.එස්. ද සිල්වා මහතා කීවේ වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී සෝදාපාළුවට ලක්ව ඇති පක්‍ෂය නැවැත ගොඩගැනීමට හැකි පොදු ජනතාවගේ හදවත් දිනාගත් තරුණ නායකයකු වන සජිත් ප්‍රේමදාස මහතාට එ.ජා.ප. නායකත්වය බාරදිය යුතු බවයි.

මෙම යෝජනාව එහි විධායක සභික එම්.ඩී. මහින්ද සිල්වා මහතා විසින් ස්ථිර කරන ලදුව ඒකමතිකව සභා සම්මත විය. එ.ජා.ප. නායක ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු යැයි මුළු රටේ ජනතාව විරෝධය දක්වන බව ඊයේ දහවල් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූ එහි ලේකම් නිහාල් ගුණරත්න මහතා නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් සෙසු වෘත්තීය සමිති හා ජනතාව ඒකරාශී කරගෙන වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීමට දැවැන්ත අරගලයක් දියත් කරන බව සඳහන් කළේය.

එමෙන්ම ලබන 5 දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අබියසින් ඇරැඹීමට නියමිත රනිල් ඉවත් කරන මහා පා ගමනට ජාතික දුම්රිය සේවා සමිතිය ඇතුළු සෙසු වෘත්තීය සමිතිවල පූර්ණ දායකත්වය හා අනුග්‍රහය ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.
විධායක සභිකයන් 28කගේ අස්සන් සහිත මේ යෝජනාව එ.ජා.ප. නායකයාටත්, එහි පිටපත් ජාතික දුම්රිය සේවා සමිතියේ සභාපති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු සියලුම එ.ජා.ප. පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන්ට යැවීමට එහිදී ඒකමතිකව තීරණය වූ බවද ගුණරත්න මහතා පැවැසුවේය.
රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සම්මත කරගත් චෝදනා 14කින් යුත් යෝජනාව මෙසේය.

1. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියගේ පොදු පෙරමුණු රජයෙන් දේශපාලන පළිගැනීම්වලට ගොදුරු වූ අයට 2001 පිහිටුවූ එක්සත් ජාතික පෙරමුණු රජයෙන් සහනයක් ලබානොදීම හා ඔවුන්ගේ දරුවකුටවත් රැකියාවක් ලබානොදීම.

2. චරිත රත්වත්තේ මහතා ලේකම් තනතුරට පත්කරගෙන චක්‍රලේඛ නිකුත් කර ඇමැතිවරුන්ගේ බලතල කප්පාදු කිරීම නිසා එම ඇමැතිවරුන්ට ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීම.

3. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය බලය යොදා කැබිනට් අමාත්‍යවරු තිදෙනකුගේ ඇමැතිකම් පවරා ගැනීමට එරෙහිව ජනතාව දස දහස් ගණනින් වීදි බැස අරගලයක් සිදුකිරීමට සූදානම් වුවත් ඔබතුමා එයට නායකත්වය නොදී පලායෑම.

4. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ ආරක්‍ෂක හමුදා රට බේරා ගැනීම සඳහා දරුණු යුද්ධයක් පැවැතුණු අවස්ථාවේදී බුද්ධිමත් තීරණයක් නොගෙන මඟහැරීමෙන් ජනතාවගේ අප්‍රසාදයට පත්වීම.

5. 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාව ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් කොට ඒ මහතාව හා එ.ජා.පාක්‍ෂිකයන් අතරමං කිරීම.

6. ඔබතුමාගේ නායකත්වය යටතේ පැවැති මැතිවරණ ගණනාවකින් පරාජය උරුම කර දී රජය ශක්තිමත් කිරීමට දායක වීම.

7. දිගින් දිගටම ඡන්දවලින් පැරදීම හේතුකොටගෙන පාක්‍ෂිකයන්ගේ විරෝධය හමුවේ පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීමට යෝජනා අදහස් ලබාගෙන එය මහ සම්මේලනයේදී සම්මත වූ පසු හිතුවක්කාර ලෙස එම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

8. ඊළඟ වසරේ පැවැති මහ සම්මේලනයේදී ඒකාධිපතියකුගේ ස්වරූපයෙන් කටයුතු කර විජේදාස රාජපක්‍ෂ හා අජිත් පෙරේරා මන්ත්‍රිවරු දෙපළගේ යෝජනා ස්ථිරත්වයෙන් වසර 6කට නායකත්වය කාලය දීර්ඝ කරගැනීම.

9. එම කාලය දීර්ඝ කරගැනීමෙන් පසු පක්‍ෂයේ ප්‍රතිසංවිධානය වෙනුවෙන් පෙනී සිටි අයගෙන් පළිගනිමින් විනය චෝදනා ගොනුකොට ඔවුන් මානසික පීඩනයකට පත්කර කොන් කර තැබීම.

10. ජනතා අප්‍රසාදයට ලක්වී පාක්‍ෂිකයන් ප්‍රතික්‍ෂේප කළ අයට තනතුරු හා වගකීම් පවරා ජනතා ප්‍රසාදය දිනාගත් තරුණ මන්ත්‍රිවරු ඉවත් කර තැබීම.

11. වර්තමාන රජය බදු පිට බදු පටවා ජනතාවට දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දමා ඇතත් ඒ වෙනුවෙන් පෙනී සිටීම පසෙක තබා රජයේ අවශ්‍යතාවන්ට අනුව කටයුතු කර නායකත්වය රැක ගැනීම සඳහා රජයේ රැකවරණය ලබා ගැනීම.

12. රජයේ සේවකයන්ගේ හා පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් 2013 අය වැයෙන් වැටුප් වැඩි කරගැනීමට අරගලයක් කිරීමට සිදුවී ඇතත් ඒ වෙනුවෙන් වැඩ කරන ජනතාව සංවිධානය කර රජයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය නොකර නිහඬව සිටීම.

13. එල්.ටී.ටී.ඊ. හිතවාදී එන්.ජී.ඕ. මුදල්වලින් යැපෙන ජනතාව විසින් කුණු බක්කියට දමා ඇති නමට පමණක් සීමා වූ අන්තවාදී පක්‍ෂවල කුමන්ත්‍රණකාරීන්ට එ.ජා.පක්‍ෂය විනාශ කිරීම සඳහා ඉඩ සලසා දී විපක්‍ෂයේ පොදු සන්ධානය යනුවෙන් කූට සංවිධානයක් ස්ථාපිත කිරීම.

14. මහා සංඝරත්නය හා ආගමික නායකයන් ලබාදෙන අනුශාසනා හා උපදෙස් පිළි නොපැදීම.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...