රහස් පරීක්ෂකයන් විසින් නොසලකා හැරි ඇඟිලි සලකුණු විද්‍යාවේ පුරෝගාමියා

අද වනවිට අපරාධකරුවන් සොයා ගැනීම් සඳහා රහස් පරීක්ෂකයන් හා අධිකරණ වෛද්‍යවරුන් අතර නැතුවම බැරි ක්‍රමවේදයක් බවට පත්ව ඇති ‘ඇඟිලි සලකුණු තාක්ෂණය’ ප්‍රථම වරට ලොව හමුවේ අනාවරණය කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ විසූ ගැමි ශල්‍ය වෛද්‍යවරයකු විසින් බව තහවුරු කෙරෙන ලිපියක් පසුගිය දිනකදී හමුවීමත් සමග එය ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවූ සිදුවීමක් බවට පත්ව තිබිණ. අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම පිණිස මෙම අපූරු තාක්ෂණය යොදාගැනීමට අඩසිය වසරකට පෙරදී මෙකී වෛද්‍යවරයා විසින් ඒ බව පළමුවරට ස්කොට්ලන්ඩ් යාඩ් ‍පොලීසියට ලියන ලද ලිපියකින් හෙළිකොට තිබිණි. 1840 දී පිටු තුනක් පුරා දිවෙන සේ ලියන ලද මෙම ලිපිය වගකිවයුත්තන්ගේ නිසි අවධානයට යොමු වූවා නම්, එකල වික්ටෝරියානු සමාජය තුළ පිළිලයක් සේ පැතිරී යමින් තිබූ ‘ජැක් ද රිපර්’ නමැති මිනීමරුවාගේ ඝාතන රැල්ලට තිත තැබිමට හැකිව තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. 1840 මැයි 6 දා මේෆෙයාර් ටවුන්හවුස්හි පිහිටි සිය නිදන ඇඳ මතම ගෙල සිඳී මියගොස් සිටියදී හමු වූ ප්‍රභූ පැළැන්තියේ දේශපාලනඥයෙකු වූ ‘විලියම් රසල්’ සාමිවරයාගේ මරණය සම්බන්ධයෙන් සැකකරු සොයාගැනීමට ආධාර විය හැකි කරුණු දක්වමින් මෙම ඓතිහාසික ලිපිය ලියා ඇත්තේ ශල්‍ය වෛද්‍ය රොබට් බ්‍ලේක් ඕබර්ටන් විසිනි. මියගිය තැනැත්තාගේ බෑණනුවන් වූද අනාගත අගමැතිවරයා වූ ‘ජෝන් රසල්’ සාමිවරයාට ලියන ලද මෙම ලිපිය ඔහු විසින් ස්කොට්ලන්ඩ්යාඩ් ‍පොලීසියට ලබාදීමට කටයුතුකොට තිබිණි. අපරාධය සිදුවූ ස්ථානයෙන් සොයාගනු ලැබූ ‍ලේ වැකුණ ඇඟිලි සලකුණු අපරාධකරුවා හඳුනාගැනීමට යොදාගත හැකි විශ්වසනීය සාක්ෂ්‍යයක් බව සඳහන් කරමින් වෛද්‍යවරයා විසින් මානව ව්‍යුහවේදය සම්බන්ධයෙන් තමන් තුළවූ දැනුම ආධාරයෙන් ඊට හේතු දැක්වීමද සිදුකර තිබිණි. “එක් එක් පුද්ගලයෙකුට අනන්‍ය වූද සුවිශේෂී වූද ඇඟිලි සලකුණක් උපතින්ම පිහිටින බව සාමාන්‍යයෙන් එතරම් ප්‍රචලිත නොවූ කරුණකි. මා තරයේම නිර්දේශ කර සිටිනුයේ අපරාධය සම්බන්ධයෙන් සැක කරන ලබන පුද්ගලයාගේ ඇඟිලි සලකුණු අපරාධය සිදුවූ ස්ථානයෙන් හමුවූ සලකුණු සමග සන්සන්දනය කරන ලෙසයි. තමාගේ න්‍යාය හේතුසාධක ඇතිව පැහැදිලි කිරීම සඳහා වෛද්‍යවරයා විසින් තීන්ත ආ‍ලේප කරන ලද ඇඟිලි සලකුණු යුගළ දෙකක්ද සිය ලිපියට ඇතුළුකොට තිබේ.

බ්‍රිතාන්‍යයේ නීති සමිතිය සතුව ඇති මෙම සුවිශේෂී ලිපිය අතීත අපරාධ විමර්ශන සම්බන්ධයෙන් ඔවුන් සතුව ඇති එබඳු ගණයේ ලිපි හත්සියයක එකතුවකින් එකක් පමණක් වන නමුදු ඒ සියල්ල අතරින් අද්විතීය ස්ථානයක් හිමි කරගන්නේ වෛද්‍ය ඔවර්ටන්ගේ ඇඟිලි සලකුණු සහිත ලිපිය බවට විවාදයක් නැත. යම් හෙයකින් මෙම ලිපිය වගකිව යුත්තන්ගේ නිසි අවධානයට බඳුන් වූවා නම් වික්ටෝරියානු යුගයේ ජැක් රිපර් භීෂණය පමණක් නොව ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාමාලාද වෙනස්ම මගක් ගන්නට තිබිණි. පුද්ගලයන් හඳුනාගැනීම සඳහා 1850 දී එනම් මෙකී අප්‍රකට වෛද්‍යවරයාගේ න්‍යාය ඉදිරිපත් වීමෙන් පනස් වසරකට පසුව බ්‍රිතාන්‍ය ජාතික නිලධරුවෙකු වූ ‘විලියම් හර්ෂෙල්’ විසින් ඇඟිලි සලකුණු ප්‍රථමවරට ප්‍රායෝගිකව යොදාගන්නා ලද අතර, ඒ අපරාධ විමර්ශන ක්ෂේත්‍රයට එහි කලඑළි බැසීම සිදුවූයේ ක්‍රි.ව. 1890 දී ෂර්ලෝක් හෝම්ස් හට පවා ක්‍රි.ව. 1903 වන තෙක් ඇඟිලි සලකුණු තාක්ෂණයේ බල මහිමය පිළිබඳ අවබෝධයක් නොතිබිමෙනි. අපරාධ විද්‍යාවේ ඉතිහාසය වෙනස් කිරීමට බලපෑ හැකිව තිබූ වැදගත් න්‍යායයන් එලෙස නොසලකා හරිනු ලැබූ අතර වෛද්‍ය ඔවර්ටන්ගේ නාමයද අතීතයේ විසූ එක් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කාහටත් අමතකව යන ලද්දේ අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍ර ඉතිහාසයේ පිටු අතර සිය නම රැන්දවීමේ භාග්‍යයද ඔහුට අහිමි කරමිනි.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...