ජයන්ත චන්ද්‍රසිරි නම් නිර්මාණකරුවා නිතරම සිය කලා කෘතීන් බිහි කළේ එකිනෙකට වෙනස් වූ නව සංකල්පයන් තේමා කොට ගනිමිනි. ඔහුගේ නිර්මාණ අපේ රටේ ප්‍රේක්ෂකයන් මෙතරම් වැළඳගෙන තිබෙන්නේද, ඔහුගේ නිර්මාණවල දැකගත හැකි ඒ වෙනස නිසායැයි කීවද වැරදි නැත. සිනමාවේ මතුනොව, ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේද තමාගේම සළකුණක් සටහන් කොට තිබෙන ඔහු, මෙවර ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කිරීමට සැරසෙන්නේ සිනමා නිර්මාණයකි. ඒ සිනමා නිර්මාණය ගැනත්, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ වත්මන් තත්ත්වය ගැනත් කතාබහ කරන්නට ප්‍රවීණ ටෙලි නාට්‍ය/ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි “මාධ්‍ය කවුළුව“ සමග සංවාදයට එක්වූයේ මේ අයුරිනි.
ඔබේ ටෙලි නාට්‍යයක් මෑතකදී දැක ගැනීමට ලැබුණේ නැහැ. ඊට හේතුව ?
ජනතා රසවින්දනයට වගකිවයුතු කලා ව්‍යපාරයක් විදිහට ටෙලි නාට්‍ය කලාවට තිබූ සුළු ඉඩකඩ පවා දැන් ඇහිරී තිබිම.
මෙගා ටෙලි රැල්ල ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ කරණය කෙරෙහි බලපා තිබෙන්නේ කොහොමද ?
මෙගා ටෙලි නමින් හඳුන්වන ක්ෂුද්‍ර මෙලෝඩ්‍රාමාව නොබලන කෙනකු හැටියට මා හෝ මගේ නිර්මාණ හෝ ඒ නිසා රෝගී වී නැහැ. අහෝ රාත්‍රී කාලයේ ටෙලි විෂනය වසා දමා පොතක් පතක් කියැවීම කවර සැපක්ද ?
ඔබේ නවතම සිනමා නිර්මාණය වන “සමනල සංවනිය” ළඟදීම ප්‍රදර්ශනය වීමට නියමිතයි. එහි කතා තේමාව ගොඩනගා ඇති ආකාරය කෙටියෙන් දක්වන්න පුළුවන්ද ?
මා එහි තේමා පාඨයේදී මෙසේ කියනවා. “එකකට එකක් සම්බන්ධ එකක් පස්සේ එකක් පැමිණෙන දෙසට මිනිස්සු කියන්නේ ජිවිතය කියල. එකක් පස්සේ එකක් එන එහෙත් එකකට එකක් කිසිම සම්බන්ධයක් නැති දෙයට මිනිස්සු කියන්නෙ ආදරය කියල.” ආදරය කියන මනෝභාවය පිළිබඳව මේ ලෝකයේ කතා නොකරපු කලා මාධ්‍යයක් කලා කෘතියක් නැතිව ඇති. එහෙත් කොතරම් කතා කළත් තවතවත් ඒ පිළිබඳව කතා කරන්න අවකාශයක් මේ මනුස්ස සමාජයට ඉතිරිවෙලා තිබෙනවා. ඊට හේතුව මිනිසාට ආදරය යන්න රුධිරය සේම අවශ්‍ය දෙයක් නිසා. ඒ වගේම ආදරය වෙනත් බොහෝ මනෝභාවයන් වගේ බොහෝවිට නිශ්චිත හේතුවක් දරන්නේත් නැහැ. ජාති, ආගම් කුලමල පමණක් නොවෙයි එය සමහර විට වයස් සීමාවන් දරන්නේත් නැහැ. ඒ සියල්ලටත් වඩා එහි ඓශ්චර්යය තමයි එය ඇතැම්විට අත්පත්කරගැනීමක් පතා සිටින්නේත් නැහැ. මෙන්න මේ වගේ ඉතාම සියුම් ඒවගේම ගැඹුරු ආදරයකින් බැඳුණු යොවුන් සංගීතඥයකු වටායි “සමනල සංවනිය” තේමාව ගොඩ නැගෙන්නේ.
ඔබ හැමවිටම වෙනස්ම ආකාරයේ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂ වරයෙක්. ඔබ මෙවර එබඳු කතා තේමාවකට යොමුවූයේ ඇයිද යන්න පැහැදිලි කරන්න පුළුවන්ද ?
මා කලාව ඥාන ගවේෂණයෙහිලා භාවිතා කළ යුතුයැයි විශ්වාස කරන කෙනෙක්. මිනිස් චිත්ත සන්තානය ගවේෂණය කිරීමෙන් තරම් ඒ ඥානය සොයාගත හැකි අන් තැනක් නැහැ.
ආදරය වැනි ඉතාම ස්වාභාවික ඥාන විශේෂයක් සමග කටයුතු කිරීමෙන් මිනිසාට යම් ප්‍රඥාවක් සම්පාදනය කළ හැකි යැයි මා හැමදාමත් විශ්වාස කළා. ඒ නිසා ඔබ කියන්නා වාගේ කවර වෙනස් ප්‍රස්තුතයක් මා අතට පත්වුවත් මා එයින් ආදරයක් නිපදවා ගත්තා. මෙවර මට ආදරය සඳහා ප්‍රස්තුතය සපයන්නේ ආදරයමයි. මෙවර මෙබඳු කතා තේමාවකට යොමු වූයේ මන්දැයි ඔබ අසනවිට මට කියන්නට තිබෙන්නේ එයත් මිනිසුන් කෙරෙහි මා තුළ පවත්නා ආදරය නිසාම සිදුවූ බවයි.
ගැමුණු රජතුමාගේ චරිතය අළලා “මහරජ ගැමුණු” නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ වෑයමක් ඔබ තුළ තිබුණා. ඒ උත්සාහයට මොකද වුණේ ?
මා යනයන තැන හැම කෙනෙක්ම මගෙන් අසන ප්‍රශ්නය එයයි. මා ඉන් වටහා ගත්තේ මා මේ නිර්මාණය බිහිකිරීම පිළිබඳව මේ රටේ ප්‍රේක්ෂක ජනතාව ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටින බවයි. ඊට හොඳම සාක්ෂියක් තමා මා මගේ “මහරජ ගැමුණු” තිර රචනය ඇසුරින් රචනා කළ “මහරජ ගැමුණු” නව කතාව වසරක් තුළ පස්වන මුද්‍රණයත් විකිණී අවසන්වීම. “මහරජ ගැමුණු” සිනමා කෘතිය නිර්මාණය කිරීමේ උත්සාහය මා අතහැර නැහැ. මා ඔබට කියන්න සතුටුයි ළඟදීම එම උත්සාහය මල්ඵල ගැන්වේවි.
චිත්‍රපටයක් පළමු වටයේ ප්‍රදර්ශනය සඳහා පිටපත් 35කට සීමාකරන නීතියක් මේ මෑතකදී ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පණවනු ලැබුවා. එම තීරණය පිළිබඳව ඔබ දරන මතය මොකක්ද ?
වර්තමානයේ ශ්‍රී ලාංකික චිත්‍රපට කර්මාන්තය පවත්නා වාස්තවික තත්ත්වයන් සැලකිල්ලට ගත් විට එය ඉතාම යුක්ති සහගත තීරණයක්. චිත්‍රපටයක් සුවසේ ප්‍රදර්ශනය කළ හැකි සිනාමා ශාලා මේ රටේ තිබෙනනේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. යම් ආත්මාර්ථකාමී නිෂ්පාදකයකු තම චිත්‍රපටය පමණක් කෙසේ හෝ ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගෙන මේ සිනමා ශාලා වලින් ඉතා විශාල සංඛ්‍යාවක් ඩැහැගත් විට අනෙක්
නිෂ්පාදකයන් තම චිත්‍රපට ප්‍රදර්ශනය කළ යුත්තේ ප්‍රජා ශාලාවලද ? මගේ චිත්‍රපටයක් සිනමා ශාලා පණහක නොවෙයි සියයක වුවත් පෙන්වන්න මමත් කැමතියි. මගේ නිෂ්පාදකවරුනුත් කැමතියි. නමුත් මේ එයට කාලය නොවෙයි. මා මේ මොහොතේ එසේ කළහොත් තවත් අධ්‍යක්ෂවරුන් කී දෙනෙකුගේම සිනමා ධාවන කාල අවකාශය ඔවුනට අහිමි කෙරෙනවා. අනෙක අපි කවුරුවත් කියන්නේ නැහැ මෙය ශ්‍රී ලංකාවේ සදාකාලිකව පැවතිය යුතු නීතියක් කියල. ප්‍රමාණවත් සිනමා ශාලා සංඛ්‍යාවක් මේ රටේ ගොඩනැගුණු පසුව කෙනකු මේ ඉල්ලීම කිරීම යුක්ති යුක්තයි. ඒනිසා මගේ මතය සංස්ථාවේ තීරණය මේ මොහොතට ඉතාම නිවැරදි බවයි. අප සැබෑ සිනමාකරුවන් නම් මේ මොහොතේ කළයුතු වන්නේ ඉතාම හොඳ ප්‍රක්ෂේපණයක් සහිත සිනමා ශාලා පද්ධතියක් ගොඩනැගීම උදෙසා හඬනැගීමයි.
ඔබ කලින් නිර්මාණය කළ “වෙද හාමිනේ”, “දඬුබස්නාමානය”, “අකාල සන්ධ්‍යා” වැනි ටෙලි නාට්‍යවලට වඩා ඔබ අවසන්වරට නිර්මාණය කළ “සතර දෙනෙක් සෙන්පතියෝ” ටෙලි නාට්‍යයට හිමිවුණු ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු බවක් දක්නට ලැබුණා. ඊට හේතුව කුමක්ද ?
ඔබ කුමන සාධක මත එසේ කියනවාදැයි මට අවබෝධයක් නැහැ. “සතර දෙනෙක් සෙන්පතියෝ” එය විකාශය වන කාලවකවානුව අතරතුර වරක් ශ්‍රී ලංකාවේ සියලුම නාලිකා අරභයා කෙරෙන සමීක්ෂණ වාර්තාවක පවා ඉහළම ප්‍රේක්ෂක සහභාගිත්වය වාර්තාකර තිබුණා. නමුත් ප්‍රේක්ෂක ආකර්ෂණය යනුවෙන් ඔබ අදහස් කරන්නේ ඊට එහාගිය වෙනත් දෙයක් නම් සහ ඔබට ඒ සඳහා සාධක ඇත්නම් එය පිළිගැනීමට මා මැලිවන්නේ නැහැ. එසේ වූවානම් එය ප්‍රේක්ෂකයන්ගේ වරදක් නොව මගේ වරදක් බව පිළිගැනීමටත් මා මැළිවන්නේ නැහැ.
News : Lakbima.