රිසානාගේ මව ඉල්ලයි

2013 ජනවාරි 18 1:15 p.m

“රිසානා වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගෙන් මම කරන එකම ඉල්ලීම තමයි , සෞදිය වගේ ම්ලේජ්ජ රටකට අපේ රටේ කාන්තාවෝ, දරුවෝ යවන එක නවත්වන්න කියන එක. ආයේ වතාවක් රිසානා කෙනෙක් බිහි කරන්න ඉඩ තියන්න එපා,” යැයි සෞදියේ දී හිස්ගැසුම් කෑ රිසානා නෆීක් දැරියගේ මව වන අහමදු සෙයියදු මහත්මිය රජයෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටී. ඊයේ (17) සවස මූත්තූර් හි පිහිටි රිසානා නෆීක්ගේ පවුලේ උදවියට ආධාර මුදලක් ප්‍රධානය කරන්නට අධිකරණ ඇමති රවුෆ් හකීන්ම් මහතා පැමිණෙන බවට ලද තොරතුරක්මත ත්‍රිකුණාමලයේ ජනමාධ්‍යවේදීන් එම නිවෙස වෙත ගිය අවස්ථාවේ අප හමුවේ රිසානාගේ මව එසේ පැවසුවාය. සෞදි රජය සහ රිසානා වෙනුවෙන් සෞදි අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සමාගම විසින් රිසානාට මුදල් පරිත්‍යාගයක් කරන්නට සූදානම් බව ජනමාධ්‍යවේදීන් විසින් රිසානාගේ මවට මෙම අවස්ථාවේ දී පවසා සිටි අතර එහිදී ඇය මෙසේ පැවසුවාය. ‘සෞදිය වගේ මෙලේච්ච රටකින් එක සත පහක් මේ වත්ත හතර මායිමට ගේන්න එපා. ඊට වඩා මට වටිනවා ලංකාවේ දුප්පත් මනුස්සයෙක් දෙන රුපියල.’ අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා එම ස්ථානයට පැමිණි අතර රිසානාගේ මව හිඳ සිටි නැතින් නැගිට්ටේවත් නැත. ඇමැතිවරයා ඇය අතට රුපියල් ලක්‍ෂ 5 ක් වටිනා චෙක්පතක් ලබා දී දෙමළ බසින් සුළු වේලාවක් කතා කරමින් සිට රථයේ නැගී යන්නට ගියේය. රිසානා නෆීක් දැරියගේ මවවන අහමදු සෙයියාදු මහත්මිය හමුවීමට වරක් පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක මහතා පැමිණ රුපියල් ලක්‍ෂයක මුදලක් පිරිනමන්නට සූදානම් වූ අවස්ථාවේ ඇය එයද ප්‍රතික්ෂේප කළාය.

News: Lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...