1948 දී නිදහස ලබාගත් ශ්‍රී ලංකාව එදා මෙදාතුර විවිධ වූ ආණ්ඩු මගින් විවිධ වූ නායකත්වයන් යටතේ පාලනය විය. එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කථාව පිළිබඳව විමසීමේදී බහුතරයක් දේශපාලනඥයන් පිළිබඳව පොදු ජනතාව තුළ ඇති ආකල්පය සුබවාදී නොවනු ඇත. ඊට හේතුව බහුතරයක් දේශපාලනඥයන් දේශයටත්, ජාතියටත් දේශපාලන ක්ෂේත්රයටත් තම යුතුකම හා වගකීම මැනවින් ඉටු නොකිරීම විය හැක.
එවැනි පසුබිමක් පවතින ලාංකික දේශපාලන භූමිකාව තුළ නිහතමානී වූත් අවංකවූත් කෘතහස්ත දේශපාලන චරිත ද හඳුනාගත හැකිය. එවන් වූ දේශපාලනඥයන් අතළොස්ස අතර ඩී. බී. විජේතුංග නාමයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
පොල්ගහඅංගේ විසූ මුදියන්සේ විජේතුංග හා පළිගු මැණිකේ විජේතුංග දෙමාපියන්ට දාව 1916-02-15 වන දින කන්ද උඩරටදී උපත ලබමින් උඩරට ප්රමුඛ පෙළේ විද්‍යාල ගණනාවකින් අධ්‍යාපනය ලබා රාජ්‍ය සේවකයකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හා සමුපකාර දෙපාර්තමේන්තුවේ සේවය කරන ලදී. විමලා කුමාරි මෙනවිය සමග යුගදිවියට එළඹි ඩී. බී. විජේතුංග මහතා රටටත් දැයටත් පොදු ජනතාවටත් සේවය කිරීමේ අරමුණින් දේශපාලනයට ප්‍රවේශ විය.
ඒ අනුව 1965දී එ. ජා. පක්ෂයෙන් උඩුනුවර අසුන ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත්ව 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයේ විදුලිබල හා බලශක්ති මෙන්ම මහාමාර්ග ඇමැති ධුරයටත් අනතුරුව කෘෂිකර්ම හා පර්යේෂණ ඇමැති ධුරයත් හොබවන ලදී. පසුව දේශපාලනයෙන් මඳක් සමුගනිමින් වයඹ ආණ්ඩුකාර ධුරයට පත්විය. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් නැවතත් දේශපාලනයට අවතීර්ණව පාර්ලිමේන්තුවට තේරීපත්වූ එතුමන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රජයේ මුදල් ඇමැතිධුරය දරමින් ඉතා අසීරු වූ ඇමැති ධුරයක වගකීම මැනවින් ඉටු කරන ලදී. දශක ගණනාවක සිට විවිධ තනතුරු දරමින් පරිණත භාවයට පත් මෙම නිහතමානී දේශපාලනඥයා වර්ෂ 1989 මාර්තු 06 වන දින ශ්‍රී ලංකාවේ 10 වන අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.
1993 මැයි 01 දින ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවයෙන් මෙරට තෙවන විධායක ජනාධිපතිධුරයට පත් වුයේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික ඡන්දයෙනි. හේ ශ්‍රී ලාංකීය ජනතාවට අද්විතීය නායකයකු ද විය. ජාතික ඇඳුම, සිංහල භාෂාව, බෞද්ධ ආගමට මූලිකත්වය ලබාදුන් එතුමා සරල නිහතමානී පුද්ගලයකු විය. එ. ජා. පක්ෂයේ ජයග්‍රහණය උදෙසා විශාල දායකත්වයක් දැක් වූ එතුමා එම පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලදී.
මා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වකවානුවේදී දැන හැඳිනගත් මෙම කෘතවේදී දේශපාලනඥයා මාගේ දේශපාලන ගමන් මගට මංපෙත් විවර කරන බව සඳහන් කරනුයේ දැඩි ගෞරවයෙනි. එපමණක් නොව විවිධ අවස්ථාවලදී ගුරුහරුකම් අවවාද අනුශාසන ලබාදෙමින් එතුමන් මා වෙත දැක් වූ සහයෝගය මා අද දිනයේදී සිහිපත් කරනුයේ ඉතා කෘතවේදීතාවයකිනි. උඩුනුවර ආසනය නියෝජනය කළ මේ උත්තරීතර දේශපාලනඥයාගේ නිහතමානිත්වය එදාට වඩා අද දින මා හට අවබෝධ වන්නේ එදා එතුමන් සමග ඇසුරු කළ බොහෝ දෙනෙකු යටිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන මා හට අද දින ඇසුරු කිරීමේ අවකාශය උදාවී ඇති බැවිනි.
1994 දී ජනාධිපති ධුරයෙන් හා දේශපාලන වේදිකාවෙන් විශ්‍රාමගත් එතුමාගේ නිහතමානිත්වයට කදිම උදාහරණයක් වන්නේ වයෝවෘද්ධව රෝගාතුර වූ විටදී අවශ්‍ය වෛද්‍ය පහසුකම් මහනුවර මහ රෝහලෙන් ලබාගැනීමට තරම් ඔහු සරල මිනිසෙකු විය. එතුමාගේ මෙම ගුණාංග දශක ගණනාවක සිට හඳුනාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතුමාට අවශ්‍ය සියලු විශේෂඥ වෛද්‍ය පහසුකම් මහනුවර මහ රෝහල හරහා ලබාදීමටත් ගමනා ගමනය සඳහා හෙලිකොප්ටර් යානයක් ඇතුළු පහසුකම් ලබා දීමටත් උත්සුක විය. 2008 සැප්තැම්බර් 21 වන දින දැයෙන් සමුගත් එතුමා පිළිබඳව අදටත් මෙරට පක්ෂ විපක්ෂ පොදු ජනතාව තුළ ඇත්තේ දැඩි ගෞරවයක් හා පිළිගැනීමකි. එය මා දකින්නේ උත්තරීතර දේශපාලනඥයකු සඳහා පිදෙන වටිනාම ජනතා උපහාරය ලෙසය.
අර්ල් ගුණසේකර (පා. ම)