ලොව විශාලම මැණික් ගල් දෙක බලන්න කැමතිද ?

0
162

ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම මැණික් ගල් දෙකක් මේ දිනවල රත්නපුර බටුගෙදර පිහිටි ප්‍රවීණ මැණික් විද්‍යාඥ සුනිල් පාලිත ගුණසේකර මහතාගේ මැණික් ප්‍රදර්ශනාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.

‘සිලෝන්නයිට් කිරිංචි’(Ceylonite Crystal/ Fe- rich Spinel) වර්ගයට අයත් මියගිය තත්ත්වයේ (කට්ටයක්) පවතින මැණික් ගලක් සහ මැඩගස්කර් රටෙන් රළු මැණිකක් ලෙස ලංකාවට ආනයනය කෙරුණු වෙනස් වර්ණ සහිත ‘Fluorite’ වර්ගයේ මැණික් ගලක් මෙසේ ප්‍රදර්ශනය කෙරේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රදේශයෙන් හමු වූ ‘සිලෝන්නයිට් කිරිංචි’ කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 600ක් හෙවත් කැරට් 2,03,000ක් බරින් යුක්තය. එය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, Excalibur Mineral Corperation ආයතනය මගින් පරීක්ෂා කර තත්ත්ව සහතික වාර්තාවක් නිකුත් කර තිබෙන අතර එය ලොව මෙතෙක් හමු වූ විශාලතම සිලෝන්නයිට් කිරිංචි ගල (කට්ටය) බව සුනිල් පාලිත ගුණසේකර මහතා පවසයි.

‘Fluorite’ වර්ගයේ මැණික් ගල ග්‍රෑම් 752.28ක් හෙවත් කැරට් 3761ක් බරින් යුක්ත වන අතර එය තැඹිලි සහ රතු මිශ්‍ර වර්ණයෙන් යුතුයි. මෙය ලංකාවෙන් හමුවන පද්මරාග මැණිකකට බොහෝදුරට සමානය. එය ලොව මතෛක් හමුවූ කපා ඔප දැමූ වෙනස් වර්ණ සහිත Fluorite වර්ගයේ විශාලතම මැණික් ගල බව සුනිල් පාලිත ගුණසේකර මහතා කියයි. එය තත්ත්ව සහතික වාර්තාවක්ද සමග ඇමෙරිකානු ඩොලර් 40,000කට මිලකර ඇත.