පෘථිවියේ ආරම්භයේ ඉඳලා ගත්තොත්… එතෙක් මෙතෙක් ඉතිහාසයේ මේ මිහිපිට හිටපු ජනප්‍රියතම හෝමෝ සේපියන්ස් මානවයා තමයි මයිකල් ජැක්සන්. කොකාකෝලා වෙළෙඳ නාමයටත් වඩා ජනප්‍රිය වෙළෙඳ නාමයක් ලෝකයේ තියෙනව නම් ඒ තමයි මයිකල් ජැක්සන්. මුල්ම කාලෙදී මයිකල් ජැක්සන් සහ ඔහුගේ සහෝදරයෝ එකතුවෙලා ජැක්සන් 5 කියලා බෑන්ඩ් එකක් නිර්මාණය කළා. එතැනින් තමයි මයිකල් ජැක්සන් සංගීත ලෝකෙට ආවේ. සංගීත ලෝකය හොල්ලපු මයිකල් ජැක්සන්, අසමසම ලෝක වාර්තා බර ලෝඩ් එකකට හිමිකම් කියනවා. මේ සුපිරි පොප් තරුව මේ මිහිපිට බිහිවූ නිර්මාණාත්මක මනුෂ්‍යා කියලා කියන්න පුළුවන්. ලෝකයේ සිටි වැඩිම ග්‍රෑමී සම්මාන ප්‍රමාණයක හිමිකරු වන මයිකල් ජැක්සන්ට සමකරන්න පුළුවන් වැඩකාරයෙක් මේ පෘථිවියේ තාමත් බිහිවෙලා නෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මයිකල් ජැක්සන් කියන්නේ පට්ට සිරා වැඩ්ඩෙක්.
ලෝකයේ ඉන්න ගොඩක් අය මයිකල් ජැක්සන්ව අනුකරණය කරනවා. ගොඩක් අය මයිකල් ජැක්සන්ව අනුකරණය කරන්නේ ඔහු ගැන ගැඹුරින් හැදෑරීමක් කරන්නේ නැතිව. අඳුරේ අතපත ගානවා වගේ මයිකල් ජැක්සන්ව අනුකරණය කරන එකේ කිසිම තේරුමක් නෑ. හැබැයි ලංකාවේ ඉන්න දුෂ්‍යන්ත් වීරමන් කියන සිරා පොර ජැක්සන් ගැන ගැඹුරු හැදෑරීමක් කරලා මයිකල් ජැක්සන්ව හරි තැනින් හරියට අල්ලා ගත්තා. මයිකල් ජැක්සන් ගැන ගැඹුරු හැදෑරීමක් එක්ක මයිකල් ජැක්සන්ගේ නිර්මාණාත්මක ආභාෂය විද්‍යාත්මකව අල්ල ගන්න දුෂ්‍යන්ත් ට පුළුවන් වුණා. දුෂ්‍යන්ත් කියන්නේ නටන්න ගයන්න රඟන්න පුළුවන් සිරා වැඩකාරයෙක්. කෙළින්ම කියනව නම් දුෂ්‍යන්ත් වැඩකට අතගැහුවොත් ඒ වැඩේ ගේමක් නැතුව ගොඩයනවා. මොහු ඩාන්සිං ස්ටාර් කිරුළ හිමිකරගත්තා, ආදායම් වාර්තා බිඳ දාපු ‘ඩාන්සිං ස්ටාර්’ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කළා. දකුණු ආසියානු සුපර් ස්ටාර් තරගයේ දෙවැනියා වුණා. ඒ විතරක් නෙවෙයි සිද්ධාර්ථ ෆිල්ම් එකෙත් දුෂ්‍යන්ත් රඟපෑවා. ඒ වගේම ජාත්‍යන්තර සිනමා කෘතියක් වන ‘කොමන් මෑන්’ ෆිල්ම් එකෙත් සිරා චරිතයක් කළා.
මේ ළඟදි දවසක මම
දුෂ්්‍යන්තගේ ගෙදර ගියා. එදා දුෂ්‍යන්ත් ගේ අයියා සන්තුෂ් වීරමනුත් ගෙදර හිටියා. ඔන්න ඉතින් කලාව ගැන ඇඩ්වටයිසිං ගැන, මියුසික් ගැන අපි කතා කරගෙන කරගෙන ගියා. ඔය කතාව අස්සෙදි තමයි මට දැනගන්න ලැබුණේ මේ ළඟදී ලංකාවට ආපු මයිකල් ජැක්සන්ගේ අයියව හම්බවෙන්න දුෂ්‍යන්ත් ට චාන්ස් එකක් ලැබුණා කියලා. මයිකල් ජැක්සන්ගේ අයියගෙ නම තමයි ජෙමෙයින් ජැක්සන්. ඔහුත් සංගීතඥයෙක් සහ ගායකයෙක්. ජෙමෙයින් තමන්ගේ සුරූපී බිරියත් එක්ක පහුගිය සතියක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මෙහේ සංගීත ප්‍රසංගයක් කරන්න පුළුවන්ද කියලා බලන්න සහ ව්‍යාපාරික අවස්ථා මොනාද කියලා බලන්න. මයිකල් ජැක්සන්ව දේවත්වයෙන් අදහන දුෂ්්‍යන්තට මේක මාර චාන්ස් එකක්. ඔන්න ඉතින් මම දුෂ්‍යන්ත් ගෙන් ඇහුවා ජෙමෙයින් ජැක්සන්ව සෙට් වුණු විදිය. අනර්කලී ආකර්ෂා, දුෂ්‍යන්ත් ට දුන්න ඇමතුමක් ගැනත් දුෂ්‍යන්ත් කිව්වා.
උදේ පාන්දර දුෂ්‍යන්ත් ඇඳේ පෙරැළි පෙරැළි ඉන්නකොට දුෂ්‍යන්ත් ට කෝල් එකක් ආවා. ඒ කෝල් එක ආවේ වෙන කාගෙන්වත් නෙවෙයි… ඒ කතා කළේ අනර්කලී…
අනර්කලී – ඔයා මොනාද කරන්නේ?
දුෂ්‍යන්ත් – මම මේ ගෙදර ඉන්නේ… මම නිදි!!
(අනර්කලීට ටිකක් කේන්ති ගියා… අනර්කලීට කේන්ති ගියහම ඉතින් දන්නවනේ)
අනර්කලී – ඔයා මාර ළමයෙක්නේ. ඔයා දන්නේ නැද්ද ජෙමෙයින් ජැක්සන් ලංකාවට ආවා කියලා… මයිකල් ජැක්සන් වෙනුවෙන් මැරෙන්න ගිය ඔයා මයිකල් ජැක්සන්ගේ අයියා ලංකාවට ආපු වෙලාවේ ගෙදරට වෙලා නිදි!!! අනේ අනේ… ඔයා නම් කිසි වැඩක් නෑ දුෂ්‍යන්ත් !! මම වගේ නම් එයා නවතින්න එන හොටෙල් එකට ගිහිල්ලා පාරට වෙලා බලාගෙන ඉන්නවා. ඔයා නම් කිසි වැඩක් නෑ. අනේ මන්දා!!! ඕන දෙයක් කරගන්නවා!!!
එහෙම කියලා අනර්කලී කේන්තියෙක් ෆෝන් එක තිබ්බා කියලා තමයි දුෂ්‍යන්ත් කිව්වේ. ඔන්න ඉතින් මේ ෆෝන් කෝල් එකෙන් පස්සේ දුෂ්‍යන්ත් කුලප්පු වෙලා ඊට පහුවැනිදාම ජැමෙයින් ජැක්සන්ව මීට් වෙන්න චාන්ස් එක හදාගත්තා. ඔන්න ඉතින් පහුවෙනිදා මයිකල් ජැක්සන්ගේ අයියා… ඒ කියන්නේ ජෙමෙයින් ජැක්සන් දවල් කෑමට හිල්ටන් එකට ආවා. එතැනදී තමයි දුෂ්‍යයන්තට ජෙමෙයින් ජැක්සන්ව සෙට් වුණේ. මේ කට්ටිය පැය 2ක් විතර කතා කර කර ඉඳලා තියෙනවා. එදා ඒගොල්ලෝ කතා කරපු දේවල් ගැන දැනගන්න මටත් මාර ඇම්මක් තිබුණා. මම ඉතින් දුෂ්‍යන්ත් ගෙන් ඇහුවා ජෙමෙයින් ජැක්සන් දුෂ්‍යන්ත් ගැන මොනාද කිව්වේ කියලා.
“සෑහෙන කාලයක් මියුසික් ෆීල්ඩ් එකේ හිටපු සාර්ථක ආර්ටිස්ට් කෙනෙක් කියලා තමයි ජැමෙයින්ව ලංකාවට ගෙනාපු සංවිධායකයෝ ජෙමෙයින් ජැක්සන්ට මං ගැන කියලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි මයිකල් ජැක්සන්ගේ ආභාසයෙන් සාර්ථකත්වයට පත්වුණු ආර්ටිස්ට් කෙනෙක් හැටියටත් ඒ අය මාව හඳුන්වලා දුන්නා. ඉතින්… ජෙමෙයින් ජැක්සන් ගොඩක් මිත්‍රශීලී විදියට මගේ වැඩ ගැන කතා කළා. එදා ජෙමෙයින් ජැක්සන් මගෙන් සෝනු නිගම් ගැන ඇහැව්වා. මං එකපාරටම පුදුම වුණා ජෙමෙයින් ඇයි මගෙන් සෝනු නිගම් ගැන අහන්නේ කියලා. බලාගෙන යනකොට 2011දී මම සෝනු නිගම් එක්ක කරපු සින්දුවක් ගැන ජෙමෙයින් දැනගෙන හිටියා. ඒක ඉන්දියාවේ මාර්කට් එකට කරපු සින්දුවක්. කොහොමහරි ජෙමෙයින් ජැක්සන්, සෝනු නිගම් ගැන ගොඩක් හොඳ කිව්වා. ඊට පස්සේ තමයි ජෙමෙයින් ජැක්සනුත් සෝනු නිගම් එක්ක සින්දුවක් කරලා තියෙනවා කියලා. මම ජෙමෙයින් ජැක්සන්ව හම්බවෙනකොට එයත් එක්ක එයාගේ වයිෆ් හිටියා. එයාගේ නම තමයි හලීමා රෂීඩ් ජැක්සන්. මම ඉන්න වෙලාවෙදිම හලීමා යූ-ටියුබ් එකෙන් මගේ වීඩියෝස් බැලුවා. එයත් මගේ නිර්මාණවලට ගොඩක් කැමැති වුණා.
ඉස්සර මයිකල් ජැක්සනුයි ජෙමෙයිනුයි හිටපු ජැක්සන් 5 වගේ බෑන්ඩ් එකක් ආයිත් හදන්න යනවා කියලා ජෙමෙයින් මට කිව්වා. මේ අලුත් ජැක්සන් 5 බෑන්ඩ් එක හදන්නේ මයිකල් ජැක්සන් වගේ සින්දු කියන්න නටන්න පුළුවන්, ලෝකයේ ඉන්න හොඳම ආර්ටිස්ලව එකතු කරලා. මේ ආර්ටිස්ට්ලව තෝරන තරගයක් මෙල්බර්න්වල තියෙනවා කියලා ජෙමෙයින් ජැක්සන් කිව්වා. ඊට පස්සේ ජෙමෙයින් මට කිව්වා ඒ තරගෙට ඉදිරිපත් වෙන්න කියලා. මගේ තියෙන ටැලන්ට් එකේ හැටියට ඒ තරගෙදි හොඳ චාන්ස් එකකුත් තියෙයිලු. අනේ මන්දා ලක්මිණ… ලංකාව දාලා යන්න බෑ කියලත් හිතෙනවා…”
ඔන්න ඔහොම තමයි හිල්ටන් එකේ ජැමෙයින් ජැක්සන් සහ දුෂ්‍යන්ත් හමුව ගැන දුෂ්‍යන්ත් මට කිව්වේ. දුෂ්‍යන්ත් ට හම්බුවුණු මේ පට්ට සිරා චාන්ස් එක මටත් හම්බවුණා නම් කියලා මට පස්සේ හිතුණා… අපරාදේ… පුළුවන්කමක් තිබ්බනම් මමත් යනවා මයිකල් ජැක්සන්ගේ අයියාව හම්බවෙන්න… ඒත් දැන් මොනා කරන්නද? පමා වැඩියි මම පමා වැඩියි… කියලා මම මටම කියාගත්තා.
ලක්මිණ රණසිංහ
Mawbima