වඳ වී යන විල් මුවා රැකගනිමු

ශ්‍රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් හතර දෙනා අතුරෙන් දුර්ලභ ම සාමාජිකයා වන්නේ විල් මුවා හෙවත් ගෝන මුවා ය. සර්විඩේ (Cervidae) කුලයට අයත් වන විල් මුවා ඉංග්‍රීසියෙන් Hog Deer, Ceylon Hog Deer, Paddy – field Deer හා Swamp Deer යන නම්වලින් හඳුන්වයි. විද්‍යාත්මක ව Axis porcinus ලෙස හඳුන්වන මේ විශේෂය 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට ලක්‌ වූ නැත හොත් තර්ජිත (Endangered) විශේෂයක්‌ ලෙස දක්‌වා තිබේ.

ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක්‌ ඇති මේ සතුන් තෙත් කලාපයේ ක`ඵතර හා ගාල්ල දිස්‌ත්‍රික්‌ක දෙකෙහි රට තුළට වන්නට ස්‌ථාන කිහිපයක හා වෙරළබඩ කලාපය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල පමණක්‌ වාර්තා වේ. මතුගම, බුලත්සිංහල, අම්බලන්ගොඩ, ගෝනපීනුවල, ඇත්කඳුර, කරන්දෙණිය, තෙල්වත්ත, බටපොළ, ඌරගස්‌මංහන්දිය හා මාදු ග`ග ආශ්‍රිත දූපත්වල සු`ඵ වශයෙන් ජීවත් වේ. එහෙත් දැනට මේ සතුන් වාර්තා වන ප්‍රදේශවල සුදුසු වාසස්‌ථාන බොහොමයක්‌ එළි පෙහෙළි වීම හේතුවෙන් මේ සතුන් ගේ ගහණය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී.

මේ ප්‍රදේශවල ජනතාව විල් මුවා වගා බෝග ආහාරයට ගන්නා සතුරකු ලෙස සලකති. කිරිවදින ගොයම්, කුරුඳු දලු, එළව`ඵ බෝගවල දලු ආහාරයට ගැනීමට මේ සත්තු රාත්‍රී කාලයේ දී වගාබිම්වලට පැමිණෙති. එසේ පැමිණෙන සතුන් විදුලිසර යෙදීමෙන් හා මළ පුඩු වැනි උගුල් ඇටවීමෙන් මරණයට පත් කෙරෙයි. ඉතා ම සිමිත ගහණයක්‌ පමණක්‌ ජීවත් වන මේ සතුන් මේ අයුරින් මරා මස්‌ විකිණීම මේ ප්‍රදේශවල බහුලව සිදු කෙරෙයි. විශේෂයෙන් මෙය අම්බලන්ගොඩ, කරන්දෙණිය, බටපොළ හා ඌරගස්‌මංහන්දිය වැනි ප්‍රදේශවල බහුල ව සිදු වන්නකි.

ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක්‌ ඇති මේ සතුන් ආසියාවේ රටවල් කිහිපයක ම වාර්තා වේ. නේපාලය, භූතානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, වියට්‌නාමය, පාකිස්‌තානය හා ඉන්දියාව වැනි රටවල මේ විශේෂය ව්‍යාප්ත ව සිටී. ඉන්දියාවේ තරමක්‌ බහුල ව වාසය කරන මේ සත්තු බෙංගාලය, උතුරු ඉන්දියාව, පංජාබය හා ඇසෑමය යන ප්‍රදේශවල ජීවත් වෙති. මියන්මාරයේ කඩොලාන වනාන්තරවල තරමක්‌ බහුල ව මේ සතුන් වාර්තා වේ.

විල් මුවා ලංකාවේ ඉතා සීමිත ප්‍රදේශයක පමණක්‌ ව්‍යාප්ත ව සිටින බැවින් සමහරු මේ විශේෂය යටත්විජිත යුගයේ දී දඩයම පිණිස ලංකාවට හඳුන්වා දුන් සත්ත්ව විශේෂයක්‌ ලෙස හඳුන්වති. එහෙත් ඒ සඳහා කිසිදු ලිඛිත හෝ වෙනත් සාධක නොමැති අතර මේ විශේෂය ඈත අතීතයේ සිට ලංකාවේ ජිවත් වූ බවට සාධක පවතී. වසර 14000ක්‌ පමණ පැරැණි අලවල පොතුගල් ලෙන තැනීමේ දී විල් මුවා ගේ යටි හණුවේ දතක කොටස්‌ හමු වී ඇත. ඒ ගල් ලෙනෙහි හමු වූ සත්ත්ව නිදර්ශක පිළිබඳ ව ආචාර්ය ගාමිණි අධිකාරී මහතා සම`ග පර්යේෂණවල නිරත වන කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා මේ බව තහවුරු කර තිබේ.

ඒ අනුව විල් මුවා ඈත අතීතයේ සිට ම ලංකාවේ ජීවත් වූ බව තහවුරු වේ. තව ද දැනට වඩා පුළුල් ව්‍යාප්තියක්‌ මේ සතා ගේ අතීතයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. තව ද ලංකාවේ වර්තා වන විශේෂයේ ලක්‌ෂණය හා ඉන්දියාවේ වාර්තා වන විශේෂයේ ලක්‌ෂණ අතර පුළුල් වෙනසක්‌ පවතින බව බොහෝ පර්යේෂකයන් ගේ මතයයි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණවල නිරත වුව හොත් මේ විශේෂය ලංකාවට ආවේණික විශේෂයක්‌ වීමේ වැඩි හැකියාවක්‌ ඇති බව දැනට විද්‍යාඥයන් අතර පවතින මතයකි.

ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 60 – 65ත් අතර උසින් යුත් විල් මුවා ගේ ශරීර වර්ණය ඒකාකාර ළා දුඹුරු පැහැති ය. ශරීර ප්‍රමාණයෙන් තිත් මුවාට වඩා කුඩා වන අතර ඕලු මුවාට වඩා තරමක්‌ විශාල ය. ශරීරයේ සුදු පැහැති තිත් නොමැති බැවින් තිත් මුවා ගෙන් ද, ශරීර වර්ණය රතු – දුඹුරු පැහැයක්‌ ගන්නා බැවින් ඕලු මුවා ගෙන් ද වෙන් කර හඳුනා ගත හැකි ය. පිරිමි සතුන්ට කොටස්‌ තුනකට බෙදුණු අං යුගලක්‌ හිමි ය. සාපේක්‌ෂව තරමක්‌ දික්‌ වූ වලිගයක්‌ දරන මේ සතා ගේ පාද තරමක්‌ කෙටි ස්‌වභාවයක්‌ ගනී. ඇස්‌ පැහැදිලි ව නෙරා පෙනෙන අතර කළු පැහැයෙන් යුක්‌ත වේ.

මේ සතුන් ආරක්‌ෂා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ම වාසස්‌ථාන ආරක්‌ෂා කිරීම සිදු කළ යුතු ය. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතු ව ඇත. මීට අමතරව මේ සතුන් විවිධ ආකාරයෙන් මරණයට පත් කිරීමට එරෙහි ව නීති ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

2009 අංක 22 දරන පනතිත් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතට අනුව විල් මුවා ආරක්‌ෂිත සතෙකි. පනතේ 30 වැනි වගන්තිය අනුව මේ සතුන්ට තුවාල සිදු කිරීම, මැරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා මළ පුඩුවක්‌, උගුලක්‌, තුවක්‌කුවක්‌, පොල්ලක්‌ හෝ වෙනත් උපකරණයක්‌ භාවිත කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබු සතකු හෝ සතා ගේ කොටසක්‌ (මස්‌ ඇතුළුව) ළඟ තබා ගැනීම හෝ සන්තකයේ තබා ගැනීම, මස්‌ විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම් හෝ අං තට්‌ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි වරදකට වරදකරු වූ පුද්ගලයකු රු 20000කට නො අඩු හෝ රු. 50000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නො වන හෝ අවුරුදු පහකට වැඩි නො වන කාලයක්‌ සඳහා වූ බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.

මේ නීති ක්‍රියාත්මක කිරීම පමණක්‌ නො ව ජනතාව ඒ පිළිබඳව දැනුවත් කිරීම තුළින් මේ සතුන් රැක ගැනීම සඳහා යොමු වීම ද අද වන විට අවශ්‍ය ව තිබේ.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...