වයසට වඩා පැසුන බාල කෙල්ලෝ කොල්ලෝ 50ක් පොලිසියට පටවයි

0
153

අනුරාධපුර නගරයට පංති පැමිණෙන මුවාවෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ උද්‍යාන කිහිපයක පෙම් සුව විඳිමින් සිටි බාල වයස්කාර සිසු සිසුවියන් ඇතුලු තරුණ තරුණියන් පනස් දෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ ළමා කාන්තා කාර්යාංශය එක්ව ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූවන් අවුරුදු 16, 17, 18, 19 සහ 20 යන වයස් සීමාවන්වලට අයත් බව පොලිසිය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ, ලිංගික අපයෝජන සහ ලිංගික අතවර සිදුවීම් බහුලව වාර්ථා වීම හේතුවෙන් අනුරාධපුර පෙළොන්නරුව භාර නි‍යෝජ්‍ය පොලිස්පති නන්දන විජේරත්න මහතා හා කොට්ඨාශ භාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මෙම හදිසි වැටලීම සිදු කොට ඇත. ඉරිදා දිනයේ අනුරාධපුර නගරයේ අතිරේක පංති පැවැත්වෙන බව පවසා පැමිණෙන සිසු සිසුවියන් උදෑසන සිට සවස් වනතුරුම උද්‍යාන තුළට වී පෙම් සුව විඳිමින් සිටින බවට තොරතුරු ලැබීම නිසා මෙම හදිසි වැටලීම සිදු කර ඇත. අනුරාධපුර පූජා භූමියේ පිහිටි රිවර් පාර්ක්, පොන්නාරම්කුලම වැව අසල පිහිටි උද්‍යානයේ හා ලව්ලේන් යන ස්ථානවල මෙම සිසු සිසුවියන් පෙම් සුව විඳිමින් සිටිද්දී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.