විමලධර්මසූරිය රජු බිසෝවරුන් දියේ ගිල්වා මැරූ හැටි

දෙවන විමලධර්මසූරිය, රජුගේ අගබිසවට දරුවන් නොලැබීම නිසා දෙවැනි බිසෝ තනතුරට වත්තේගම නාරංදණ්ඩේ මුතුකුඩේ වලව්වේ මුතුකුඩ කුමරිය පත්වූවාය. රජුට දාව ඇයට පුත් කුමාරයකු ලැබිණි. මුතුකුඩ බිසවට පුතකු ලැබීමෙන් රජු මුතුකුඩ බිසවට වැඩියෙන් ආදරය කෙළේ අන් බිසවුන් අභිභවමිනි. මුතුකුඩ බිසව රූප ශෝභාවෙන්ද අගතැන්පත්ය. සෙසු බිසෝවරුන්ට වඩා මැය රජුට සෙනෙහස පෑවාය. ආදරය කළාය.

කලක් ගතවෙද්දී අගබිසව ඇතුළු සෙසු බිසෝවරු මුතුකුඩ බිසව හා උරණ වී වෛරයකින් සිටියහ. එහෙත් ඇයට එරෙහිව කිසිවක් නොකීවද ඉඩකඩ ලැබුණ අවස්ථාවලදී ඇනුම්පද කීම ඔවුන්ගේ සිරිත විය. ඉවසිලිවන්ත වූ මුතුකුඩ දේවිය අනෙක් බිසෝවරුන්ගේ ඇනුම්පද ගණන් ගත්තේ නැත. රජුට ඒ ගැන දැන්වීමටද ඇය කටයුතු නොකළාය. මේ අතර මුතුකුඩ දේවිය හා දරුවා මරා දැමීමට අගබිසව, අනෙක් බිසෝවරුන් සමඟ රහසේ කුමන්ත්‍රණයක යෙදුණාය. ඇතැම් අවස්ථාවල විවේකය ලත්විට මුතුකුඩ බිසවට තම දරුවා සමඟ මවුපියන් බැලීමට වත්තේගම මුතුකුඩ වලව්වට යෑමට රජුගෙන් අවසර ලැබී තිබිණි. මුතුකුඩේ වලව්වට යෑමට මහවැලි ගඟින් එගොඩ යා යුතුය. ලේවැල්ලෙන් එගොඩවී ගුන්නෑපාන මඩවල පාරෙන් යන ගමන කෙටි පාරකි. වලව්වට යනවිට ආරක්‍ෂක කතුන්ද යෑම සාමාන්‍ය සිරිතකි.

මුතුකුඩ බිසව හා දරුවා මැරීමට මුතුකුඩ වලව්වට යන ගමන උපයෝගී කර ගැනීමට අගබිසව හා අනෙක් බිසෝවරු සැලැසුම් කළහ. තමන්ට හිතවත් ලේවැල්ලේ ඔරුපදින තොටියා, රහසේ හොරෙන් ගෙන්වා ගැනීමට අගබිසව සමත් වූවාය. තොටියා ගෙන්වා ගත් අගබිසව, මුතුකුඩ දේවියට හා රජුට නොදැනෙන පරිදි තොටියා සමඟ රහස් සාකච්ඡාවක් පැවැත් වූවාය. තොටියාට වටිනා වස්තු ලබා දෙන බවට පොරොන්දුවී මුතුකුඩ දේවිය හා කුමරු ඔරුවෙන් එගොඩ වනවිට ඔරුව පෙරළා මරණයට පත්කිරීමට ගිවිස ගැනිණි. අත්තිකාරම් වශයෙන් තොටියාට අල්ලසක් ලැබිණි. ඔරුව ජලයට පෙරැළීම තමාගේ වුවමනාවෙන් කළ එකක් නොව එය අහඹු සිදුවීමක් ලෙස ඔප්පු කළ හැකි බවට සිතූ තොටියා අගබිසවගෙන් තවත් වස්තුව ලබා ගැනීමේ අටියෙන් මෙම අපරාධය කිරීමට පොරොන්දු විය.

දිනක් මුතුකුඩේ බිසව රජුගෙන් අවසර ලබා ආරක්‍ෂක දාසියන් කීපදෙනකු සමඟ වත්තේගම නාරංදණ්ඩේ වලව්වට යෑමට ලැහැස්ති වූවාය. මේ ගමන ගැන දැනගත් අගබිසව, චරපුරුෂයකු මඟින් මුතුකුඩේ බිසව ඔරුවෙන් එගොඩ වීමට එන වග තොටියාට දැන්වූවාය. තොටියා තම ඔරුවේ සිදුරක් තනා ලැහැස්තිව සිටියේය. මුතුකුඩේ දේවිය දරුවාද, පරිවාර ස්ත්‍රීන් සමඟ ඔරුවට නැංගාය. ගඟ මැදට යන විට ඔරුවට ජලය පිරුණි. ඔරුවට වතුර පිරෙන වග දැනගත් දේවිය ඇතුළු පිරිස මරහඬ දුන්හ. මරහඬ දෙන ශබ්දය එගොඩ සිටි තරුණයකුට ඇසුණි. මෙම වීරෝදාර තරුණයා උඩුදුම්බර, මඩුගල්ලේ සිට මහනුවරට යෑම සඳහා එගොඩ සිටි අයෙකි. මුතුකුඩ ඇතුළු සේවිකාවන්ගේ කෑගැසීම ගැන කලබල වූ ඔහු සියදිවි නොතකා ඔරුව වෙත පීනා ගියේය. බිසව සහ දරු කුමරාද පිට උඩ තබාගෙන පීනා ගඟ අසබඩ වෙත ආයේය. ඔවුන් ගං ඉවුරේ තබා යළි ගඟ මැදට පීනා ගොස් ඔරුව වැරයේ අල්ලා සිටින සේවිකාවන් සමඟ ඔරුව ගං ඉවුරට රැගෙන ආයේය.

මෙම වීර ක්‍රියාව හා සිද්ධිය රජුට දැන ගන්නට ලැබීමෙන් පසු රජු දේවිය, දරුවා ඇතුළු සේවිකාවන් රජවාසලට රැගෙන එන ලෙස රාජ පුරුෂයන් යවා, මරණයෙන් බේරාගත් පුද්ගලයාද කැටුව එන ලෙසට නියෝග කෙළේය.

ගඟමැද ඔරුව දියබත් වීමේ සිද්ධියට අදාළ කුමන්ත්‍රණය ගැන කිසිවක් හෙළිනොවූ අතර තොටියා මේ ගැන රජුට කියා සිටියේ ඔරුවට කලින් කරන ලද පිළියමක් ගැලවී ජලය කාන්දුවී ඔරුව දියබත්වූ වගකි. රජු තොටියාගේ කීම පිළිගත්තද අබල දුබල ඔරුවක් පාවිච්චි කිරීමේ වරදට ඔහුට සුළු දඬුවමක් පැනවීය. මේ සිද්ධිය නිසා රජු කුණ්ඩසාලේට සමීපව මන්දිරයක් ඉදිකරවා මුතුකුඩේ බිසව හා දරුවා එහි පදිංචිකර වූයේය.

දේවිය, දරුවා සහ සෙසු අය බේරාගත් නිර්භීත තරුණයා ඇමැතූ රජතුමා ඔහු ගැන තොරතුරු විමසා සිටියේය. තමා සේනාධිලංකාර ඈපා තුමාගේ පරම්පරාවෙන් පැවැත එන අයකු බවත් උඩුදුම්බර මඬුගල්ලේ පදිංචි අයකු බවත් පැවැසීය. එම කතාවට සවන්දුන් රජු සතුටට පත්ව මාලිගාවේ ගබඩා භාරකාර තනතුරට පත් කෙළේය. තවද ඔහුට උඩුදුම්බර ප්‍රදේශයෙන් ගම්බිම් කොටසක් නින්දගම් කොට පවරා දුන්නේය. මඩුගල්ලේ නිලමේ ගබඩා පාලන කටයුතු මැනවින් කරගෙන ගිය අතර සේවකාදීන්ද ඔහු ගැන පැහැදුණි. මුතුකුඩ දේවියද තමා මරණින් බේරාගත් මඩුගල්ලේ ගබඩා නිලමේ ගැන සහෝදර ප්‍රේමයෙන් කටයුතු කළාය. දේවිය දරුවා මැරවීමට තොටියාට පණිවුඩය ගෙන ගිය සේවකයාද උඩුදුම්බර උපන් අයකු නිසා ඔහු ගබඩා නිලමේ සමඟ සුහද විය.

අගබිසව ගබඩා නිලමේගෙන් හා මුතුකුඩ දේවියගෙන් පළිගැනීමේ චේතනාවෙන් සිටි අතර ඒ සඳහා මුතුකුඩ දේවිය ගබඩා නිලමේ සමඟ අයුතු හාදකමක් ඇති බව රජු වෙත දන්වා සිටියාය. රජු මේ ගැන සැක සිතා, කියන කරුණ සත්‍යදැයි දැන ගැනීමට යටකී තොටියා වෙත පණිවුඩය (රහස්) ගෙන ගිය සේවකයා ගෙන්වා තතු විමසීය. සේවකයා රජු බැහැදැක තමාට සමාව ලැබුණුහොත් තමන් දන්නා වැදගත් රහසක් හෙළි කරන වග කීය. එවිට ඔහු මුතුකුඩ දේවිය සහ දරුවා මැරවීමට අගබිසව කුමන්ත්‍රණයක් කළ වග හෙළි කෙළේය. තොටියා සිදුරක් සහිතව ඔරුවක පිරිස නංවා ගෙනගොස් ගඟ මැද දියේ ගිල්වා මැරවීම අගබිසවගේ අභිප්‍රාය වූ වග පසක් කෙළේය. මෙය අසා සිටි රජු කිපී අගබිසව ගැන බලවත්සේ කම්පා විය. අගබිසවට දඬුවම් කිරීම තම අභිමතය පරිදි නොකර විනිශ්චය මණ්ඩලයක් පත්කර එහි තීරණය ලබා ගත්තේය. මෙම විනිශ්චය මණ්ඩලයට රම්මලක මහ අධිකාරම් ඇතුළු දිසාපතිවරුන් කීපදෙනෙක් අයත්වූහ. නඩු තීන්දුවේදී අගබිසව ඇතුළු සෙසු බිසෝවරුන් දියේ ගිල්වා මැරීමටත් තොටියා උලසිටුවා මැරීමටත් නියම විය.

සටහන : ආර්. ඇම්. ටී. බී. රත්නායක
උපුටාගැනීම : මව්බිම පුවත්පත

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...