වීදිය බණ්ඩාර දළදාව රැක ගත්තේ බඳ පටියේ බැඳගෙන

අදින් අවුරුදු එක්දහස් හත්සිය දෙකකට පමණ පෙර කාලය තුළදී ශ්‍රී ලංකාද්වීපයට භාරතයෙන් ලැබුණු ශේ්‍රෂ්ඨ මෙන්ම අති පූජනීය මහාර්ඝසම්පන්න වස්තුව වූයේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවයි. හතරවැනි සියවසේදී පමණ බුදුන් වහන්සේ වාම දන්ත ධාතුව කාලිංග දේශය යැයි එවකට හැඳින්වූ නූතන ඔරිස්සාහි රජ කළ පසු කලකදී බුදුදහම වැලඳගත් ගුහසීහ නම් රජතුමා සතු විය. රජතුමා දන්තධාතූන් වහන්සේ සිය පණ මෙන් රැක ගනිමින් සියලුම පුදපූජා හා දළදා වන්දනාව හා බැඳි චාරිත්‍ර සිරිත් විරිත් ඉටු කරමින් දළදාව ආරක්ෂා කළේය.

මෙම කාලයෙහි ලංකාවේ රජ වූ මහසෙන් රජතුමාද කාලිංගයේ ගුහසීව රජතුමා සමඟ මිතුදමක් ඇති කරගෙන සිටියේය. අද මධ්‍ය ප්‍රදේශයට අයත් වන උදේනි නුවර විසූ දන්ත නම් කුමාරයෙක්ද බුද්ධාගම වැලඳගෙන සිටියේය. මේ කුමාරයාට ගුහසීව රජතුමා සතුව දළදාව තිබෙන බව ආරංචි වූයෙන් දළදාව වැඳ පුදා ගැනීමේ ආශාවක් ඇතිවිය. කුමාරයා කාලිංග දේශයට පැමිණ රජතුමා හමුව දළදාව වැඳ පුදා ගත්තේය. දන්ත කුමාරයා කෙරෙහි පැහැදුණු රජතුමා සිය මාලිගය තුළම විසීම පිළිබඳවද අකැමැත්තක් නොදැක්වීය. කල්යත්ම කුමාරයා රජතුමාගේ දුව වූ හේමමාලා කුමරිය පාවාගෙන රජ මාලිගයෙහිම විසීය.

මේ අවධිය වන විට මෝගල්වරුන්ගෙන් ආක්‍රමණයක් ඇතිවීමේ තර්ජනයකට මුහුණපෑමට රජුට සිදුවිය. සමහර පැරැණි පොත්වල සඳහන් වන්නේ මෙම තර්ජනය සැවැත්නුවර සිටි රජ කෙනකුගෙන් සිදුවූ බවය. රජතුමා තම අමාත්‍ය මණ්ඩලය රැස්කරවා රටට මුහුණදීමට සිදුවන ආක්‍රමණය පිළිබඳ සාකච්ඡා කළේය. රජු අන් සියල්ලන්ටම වඩා මෙහිදී ප්‍රමුඛස්ථානය දී ඇත්තේ දළදාව ආරක්ෂා කර ගැනීමටය. ඇමැති මණ්ඩලයේ ඒකමතික තීරණය වූයේ දළදාව කලිඟු රටින් ආරක්ෂා සහිතව පිට කිරීමටය. එබැවින් රජතුමන් සමඟ මිත්‍රව සිටි මහසෙන් රජතුමා වෙත දළදාව එවීමට තීරණය විය. මෙම මහාර්ඝසම්පන්න පූජා වස්තුව ස්පර්ශ කරන්නට සුදුසු වන්නේ කවුද එය මුහුදින් මෙතෙරට ආරක්ෂිතව ගෙනඒමට විශ්වසනීය පුද්ගලයා කවුද යනාදී ප්‍රශ්න රැසකට රජතුමා සිය රාජසභාවේද එකඟත්වයෙන් විසඳුම් සෙවීය. අවසානයෙහි තමාගේ දුව සහ බෑනා තරම් සුදුසු පිරිසක් රජතුමාට සොයා ගැනීමට නොහැකි විය. දළදාවේ ආරක්ෂාව සඳහා මැදඟිල්ල තරම් රන් කරඬුවක් සාදා එම කරඬුව තුළට දළදාව බහා එම කරඬුව වසා දමා සිය දියණියගේ කෙස් කලඹෙහි සඟවා එවන ලදී. දන්ත කුමාරයා හා එම පිරිසෙහි ආරක්ෂාව හා ආවතේව කිරීම පිණිසද සුදුසු මෞර්ය වංශිකයන් පිරිසක් සමඟ අනතුරක් නොවන පරිදි නැවක නංවා පාකර හරින ලදී. මෙම නැව සහ පිරිස ලක්දිවට ලංකාපටුන නැඟෙනහිර වෙරළින් ළඟාවන විට මෙහි රජ වූයේ මහසෙන් රජුගේ වැඩිමහල් පුත් කිත්සිරිමෙවන්ය. ඔහු අභිෂේක ලබා ඒ වන විට අවුරුදු නවයකි. පූජාවලී කර්තෘවරයා සඳහන් කරන්නේ මෙහි එවන ලද්දේ දකුණු දළදාව බවය. මෙම පුවත වෙනත් මුද්‍රිත තොරතුරුවල අඩංගු නොවේ. පාලි දාඨාවංසයේ හා සිංහල දළදා සිරිතේ සඳහන් වන්නේ වාම දළදාව ගෙන ආ බවය. කිත්සිරිමෙවන් රජතුමා දළදාව අභයගිරි විහාරයෙහි වැඩ හිඳුවා වාර්ෂිකව නව ලක්ෂයක් ධනය වියදම් කරමින් දළදාව සඳහා පූජෝපහාර දැක්වීමට පෙරහරක් ආරම්භ කළ බව වංසකතාවල සඳහන්ය. එදා සිට අද දක්වාම අවුරුදු එක්දහස් හත්සියයක් පමණ කාලයක් තුළ නොකඩවා පැවැත්වෙන හෙළයේ මහා සංස්කෘතික හා කලා මංගල්‍යය වන්නේ සෙංකඩගල නුවර පැවැත්වෙන ඇසළ පෙරහරය. දළදාව අභයගිරි විහාරයට වැඩම කළේ එවකට මහසෙන් රජතුමා වෛතුල්‍යවාදය ඇදහූ බැවින් මහාවිහාර නාමයට වඩා අභයගිරි නාමය ඉන්දියාවේ පවා ප්‍රසිද්ධව තිබුණ නිසා හේමමාලා හා දන්ත කුමරුද මාහායානය ඇදහූ බෞද්ධයන් වීමය. ඒ වන විට අනුරාධපුරයද මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසට පිළිගෙන තිබිණි.

අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජ්‍ය මූලස්ථානය වෙනස්වන විටදී එහිද මාලිගා ඉදිවිය. දළදාව සමඟ අපට වාස්තු විද්‍යාව පිළිබඳ ශිල්පීය දැනීමක්ද නිතැතින් උරුම විය. අටදාගේ, වටදාගේ, හැටදාගේ ආදී ඉදිකිරීම්වලදී වාස්තු විද්‍යා ශිල්පීය ඥානය අපට බෙහෙවින් උපකාර විය. යාපහුව දළදා මාලිගයේ නටබුන් අදත් ලොව විස්මයට පත්කරයි. බුදුරජාණන් වහන්සේගේ අනෙකුත් ශාරීරික ධාතුන් වන කේශ ධාතු ලලාට ධාතු ආදී අනෙකුත් ධාතුන් නිධන් කොට තැබුවත් දන්ත ධාතුන් එසේ නිදන් කොට තබා නැත. එය රාජ්‍ය මූලස්ථානය වශයෙන් පැවැති සෑම නගරයකටම ගෙන ගොස් එම ස්ථානවල දළදා මාලිගා ඉදිකර තැන්පත් කොට තැබුවා පමණක් නොව ඒ සෑම ස්ථානයකම දළදා පෙරහරද පවත්වන ලදී. එබැවින් පොළොන්නරුව, බෙලිගල, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ ආදී රාජ්‍ය මූලස්ථාන හැම එකකම පාහේ දෙමහල්, තෙමහල්, සිවුමහල්, පස්මහල්, හයමහල්, හත්මහල් ආදී වශයෙන් එම යුගවල රටේ තිබූ සශ්‍රීකත්වය හා සාමකාමී පසුබිම අනුව දළදා මාලිගා ඉදිවී ඇත. ඒ හැම පායකම පාහේ නටබුන් අදත් දැක ගැනීමට හැකිය. දළදාවට අනෙකුත් සර්වඥ ධාතුන්ට වඩා විශේෂත්වයක් හිමිවන්නේ එය කරඬුවක බහා ගෙනයෑමට හැකි පරිදි ආරක්ෂා කොට ඇති නිසාය. එසේම දළදාව තාවකාලිකව රඳවා තැබූ තැන්වලට අදත් බෞද්ධයා කියන්නේ “ගමන් මාලිගා” යනුවෙනි. සතුරු උවදුරුවලදී දළදාව තැනින් තැන ගෙන ගිය බවට ඉතිහාසයද සාක්ෂි දරයි. දළදාවෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලංකාවේ රාජ්‍යත්වය සමඟ එහි ඇති බැඳීමය. දළදාව අප රටේ ජනතාවගේ හදවත්වලට කොපමණ සමීපදයත් දළදාව හිමි නොවන ආරක්ෂා නොකරන කිසිවකු රටේ රජු වශයෙන් පිළිගැනීමට සිංහලයා එකඟ වූයේ නැත. පොළොන්නරුවේ රජ වූ මහාපරාක්‍රමබාහු රජතුමා සතුව දළදාව නොතිබූ බැවින් රජුගේ අභිෂේකය පවා ජනතාව පිළිගත්තේ නැත. සුගලා දේවිය දළදාව රැගෙන රුහුණට පලාගොස් සිටියාය. රජතුමා සටන් කොට දළදාව අත්කර ගත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ඇතිමලේදීය. පසුව ඔහු දෙවැනිවරටත් අභිෂේක ලබා ජනතා පිළිගැනීමට ලක්විය. පොළොන්නරුව යුගය බිඳවැටුණු පසු දුම්බර ගලහිටියාවේ බෝධිරාජ මාඝ ආක්‍රමණය ජයගෙන තුන්වැනි විජයබාහු නමින් ලක්දිව සිංහල රාජ පරම්පාරවක් ආරම්භ කළේය.

වර්ෂ 1232දී ආරම්භ වූ මෙම යුගයේදී දළදාව කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සඟවා තැබුවේය. ඔහු තුන් සිංහලය එක්සත් කරවාගෙන දළදාව පුසුල්පිටියෙන් බෙලිගල මාලිගයට රැගෙන ගියේය. ඉන්පසු දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝටටේ හා සෙංකඩගල ආදී ස්ථානවල දළදාව තබා ඇත. වර්ෂ 1232න් පසු වර්ෂ 1730 කුණ්ඩසාලේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස දක්වා දළදාව වසර පන්සියයකට වඩා කාලයක් තුළ ආරක්ෂා කර ගත්තේ දුම්බර ලැමනි, චන්ද්‍රකුල, මෙහෙනිවර, මෞර්ය, සවුළු විජයබා ආදී අපේ රජවරුන්ය. විජයබාහු රජතුමා බෙලිගල දළදාව රඳවා තැබුයේ කෑගල්ලේ කීරවැලිපත්තුවෙ ජනතාවට විශේෂ උපහාරයක් සඳහාය. මින් පෙර ශ්‍රී මහා බෝධිය රැගෙන ආ පිරිසත් නැවැත දළදාව රැගෙන ආ හේමමාලි කුමරිය සමඟ පැමිණි පිරිසත් පෙර රජවරුන් ගම්බිම් පුදා පදිංචි කරවා ඇත්තේ කීරවැල්ලෙහිය. දළදාව සතුරු ආක්‍රමණ පැමිණි අවස්ථාවලදී තැනින් තැනට ගෙන ගොස් ඇත. කෝට්ටේ යුගයේදීද පෘතුගීසි ආක්‍රමණ පැමිණි අවස්ථාවල එය රජතුමා පෞද්ගලිකව තමා ළඟ තබා ගත්තේය. වීදියේ බණ්ඩාර තමාගේ බඳ පටියෙහි බැඳ තබාගෙන දළදාව ආරක්ෂා කළේය. හත්වැනි බුවනෙකබාහු කෝට්ටේ රජකරන කාලයෙහි ඔහුට සිහිනයකින් කී පරිදි දළදාව ආරක්ෂාව සඳහා රට මැදට ගෙන ගොස් ඇත. “කෝට්ටේ කලාලේ ඉල්ලේ දත මැදගනින් රාලේ” යනුවෙන් ඔහුට සිහිනෙන් පවසා ඇත. මෙහි තේරුම නම් කෝට්ටේට කළ ආලය අත්හරින්න. දන්ත ධාතුව රට මැද්දට ගෙනි යන්න යන්නය. පසුව දළදාව දෙල්ගමුව විහාරයට ගෙන ගොස් ඇඹරුම් ගලක් යට සඟවා තබන ලදී. සීතාවක දෙල්ගමුව විහාරයේ තිබූ දළදාව සෙංකඩගල නුවරට වැඩමවන ලද්දේ ගලතුර තෙරුන් වහන්සේ සහ හිරිපිටියේ දිවානේරාල විසින් පළමුවැනි විමලධර්මසූරිය රජු දවස 1589දීය. එදා සිට අද දක්වා අවුරුදු 425ක පමණ කාලයක් තුළ දළදා පෙරහර සෙංකඩගල නුවර පවත්වා ඇත. සෙංකඩගල සමයෙහිද පෘතුගීසි, ලන්දේසි හා ඉංගී්‍රසි ආක්‍රමණ නිසා දළදාව තැනින් තැනට ගෙන ගොස් ඇත. කිවුල්ගම, මැදමහනුවර, කිතුල්පේ, හඟුරන්කෙත ආදී විහාරස්ථාන ඉන් ප්‍රධානය. වර්ෂ 1817 උඩරට කැරැල්ල සමයෙහිදී වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් දළදාව මතුරට වැල්ලගිරිය ප්‍රදේශයට ආරක්ෂාව සඳහා සඟවාගෙන යන ලදුව කර්නල් කෙලී නම් හමුදා නිලධාරියකු එහිදී දළදාව සිය භාරයට ගෙන තිබේ.

දන්ත ධාතුවට විශේෂත්වයක් ඇයි?

බුදුන් වහන්සේට දත් හතළිහකි. සාමාන්‍ය මිනිසකුට ඇත්තේ දත් තිස් දෙකකි. බුදුහාමුදුරුවන්ගේ දත් උස් මිටි නැති, උන්තක හෝ අවනත හෝ නොවූ රුවට යහපත් සේ පිහිටි චත්තාරිසත්, සුශුක්ල, සමදත්ත, අවිවර ආදී සංඛ්‍යාවේත ලක්ෂණයෙන් හෙබි දත්ය. නරසීහ ගාථාද මේ බව තහවුරු කරයි. “පිහිටි දත් දෙනිකට දෙතිසක් වේය දනහට උස් මිටි නොව රුවට පිහිටි දත් සතළිසෙකි මුනිඳුට” එබැවින් උන්වහන්සේ ධර්මය දේශනා කරන විට ඉතා මිහිරි ශබ්දයක් තුන් ලොවටම පිටවූ බව බුදුගුණඅලංකාරය කියයි.

සිංහලේ උත්සව සමය ඇරැඹෙන්නේ නව අස්වැන්න නෙළා අටුකොටු පිරවීමත් සමඟය. එය භාග්‍යවන්ත මාසය නොහොත් බක් මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමඟින් ඇරැඹෙයි. පසුව වන්දනාමාන සඳහා ගමන් බිමන් යන වෙසක් මාසයයි. ඉන්පසුව පොසොන් උත්සව මාසයයි. ඇසළ මාසය එළැඹෙන්නේ ඉන් අනතුරුවය. එය දෙවියන් උදෙසා පූජෝපහාර දක්වන මාසයයි. එදා මොරතොට හිමිපාණන් “ඇසළ මස දුටිමි යනවා දෙව්කෙළියේ” කීයේ එබැවිනි. මුලදී දන්ත ධාතුන් වහන්සේට උපහාර දැක්වීමට ආරම්භ කළ පෙරහර අද දෙවිදේතාවුන්ටද උපහාර දක්වන මංගල්‍යයක් බවට පත්ව තිබේ. සෙංකඩගල රජ සමයෙහි වඩුග රාජබිසවුන්ට ආගමික වතාවත් ඉටු කිරීමට දේවාල ඉදිවිය. පසුව එම දේවාලද දළදා පෙරහරට එක්විය. පුරාණයේ වැසි ලබා ගැනීම සඳහාද දළදා ප්‍රදර්ශන හා පෙරහර පැවැත්වූ බව සඳහන්ය. රටේ මහ රජතුමා බිසවුන්ද රාජ්‍ය සභාවේ අනෙකුත් ප්‍රභූන් මෙන්ම රට කරවන නිලමක්කාර ඇත්තෝ වසරකට වරක් සෙංකඩගලට පැමිණ පෙරහරෙහි ගමන් කරති. දිසාකොඩි, පළාත් කොඩි, කෝරල කොඩි, පත්තුවල කොඩි මෙන්ම වෙනත් ධජ පතාක තම තමන්ගේ ප්‍රදේශ නියෝජනය කරමින්ද, රන්දෝලි ආදියද පෙරහරෙහි රැගෙන යයි. පෙරහරෙහි ආරම්භයේ සිට අවසානය දක්වාම සියලු කටයුතු කරන්නේ නක්ෂාත්‍රානුකූලවය. නැකැතට කප් සිටුවීමෙන් ආරම්භ වන සියලුම පෙරහර චාරිත්‍ර විධි නැකතට සිදු කිරීම පෙර සිටම පැවැත එන චාරිත්‍රයයි.

එක් එක් දිසාවනිය වෙනුවෙන් ඉටුකළ යුතු කාර්යභාරයන් රජ දවස නියම වී තිබිණි. එම කාර්යයන් සඳහා නිල බලය පැවැරෙන පිරිසට රජතුමා ගම්බිම් දී තිබුණේය. නින්දගම්, බණ්ඩාරගම, බිසෝගම්, මුත්තෙට්ටුවේ ගම්, විහාරගම්, දේවලගම් ආදිය එවැනි ගම්ය. එම ගම් ප්‍රධානීන් තමාට අයත් නිල කොඩියද රැගෙන පෙරහරෙහි ගමන් කරයි. එදා පෙරහර අවසානයෙහි රජතුමා හමුව පෙරහර සාර්ථකව නිමවූ බව රපෝර්තු කිරීමේ චාරිත්‍රය අද දවස දක්වා පවතියි. අද දියවඩන නිලමේ, බස්නායක නිලමේ ආදි නිලමක්කාරයන් පෙරහර අවසන් වූ බවට වාර්තා කරන්නේ ජනාධිපතිතුමාටය. ඉංගී්‍රසි පාලන සමයෙහි ආණ්ඩුකාරවරයා මහනුවර රජගෙදරට පැමිණි නිලමේවරුන් හමුවිය. නච්ච ගීත වාදිත ආදී සකල කලාවන්ගේ පිරි මෙම මහා සංස්කෘතික හා කලා උළෙල හෙළය පවත්නාතාක්කල් පැවැතේ. මෙම උළෙල අවසන් කරන්නේ රටට සෙත් පතා කොහොඹකාංකාරි උළෙලක්ද පැවැත්වීමෙන් අනතුරුවය. එදා සිංහල ජාතියට උරුම වූ මෙම උළෙල අද ජාත්‍යන්තරයටම උරුම වී බොහෝ රටවල සංචාරකයෝ මෙය නැරැඹීමට පැමිණෙති. මහනුවර දිසාපති ප්‍රධාන කොට පෙරහර උත්සව කොමිටියට සම්බන්ධ සියලුම නිලධාරීන් හා නියෝජිතයන් මෙම උත්කර්ෂවත් අවස්ථාව ලෝක ප්‍රජාවට පෙන්වා අප රටට කීර්තියක් පමණක් නොව විදේශ විනිමය උපදවන වාණිජමය ක්‍රියාදාමයක් බවටද පත්ව ඇති අතර නූතන තාක්ෂණ දියුණුවත් සමඟ සෙංකඩගල ඇසළ පෙරහර ලෝකයේ සෑම රටකම රූපවාහිනියෙන් නැරැඹීමටද අවකාශ සලසා තිබේ.

ඇස්.බී. කරල්ලියැද්ද (මව්බිම සැණකෙළිය අතිරේකය​)

Check Also

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...