වෙද නළාව ඇති වුණේ මෙහෙමයි

වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීම ඈත අතීතයේ සිටම සිදු කෙරුනකි. හදවත ගැහෙන අන්දම අනුව හෘද සහ සෙසු රෝග පිළිබඳවද යම් නිගමනයක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවිය. රෝගීන් පරීක්ෂා කිරීම සඳහා Stethoscope නැමැති නළාව පාවිච්චි කරන අතර අතීතයේ එවැනි උපකරණයක් තිබුණේ නැත.

දහනව වන ශතවර්ෂයට පෙර වෛද්‍යවරුන් රෝගියාගේ හදවතේ නාදය දැනගනු ලැබුවේ ඔහුගේ ළය මත කන තැබිමෙනි. මේ කාලයේ ඉතාම දක්ෂ වෛද්‍යවරයකු වූ ප්‍රංශ ජාතික රෙනේ ලෙනක්ද තමා වෙත පැමිණෙන රෝගීන්ගේ ළයමත කන තැබිමෙන් හෘද ස්පන්දනය පරීක්ෂා කිරීම සිදු කළේය.
එහෙත් දිනක් සිදු වූයේ අහඹු සිද්ධියකි. මෙවැන්නක් මෙයට පෙර කිසිදු රෝගියෙකුගෙන් සිදුවූයේ නැත. දිනක් ඔහු වෙත පැමිණියේ හෘදරෝගී තරුණියකි. ඇය ඉතා ලැජ්ජාශීලී තරුණියක වූ අතර ඇය තම පපුව මත හිස තබා හදවතේ හඬ පරීක්ෂා කිරීමට වෛද්‍යවරයාට ඉඩ දුන්නේ නැත. අනෙක් හේතුව වූයේ ඇයගේ පියයුරු ඉතා උස්ව වැඩී තිබිමය. ඒ නිසාම ළය මත කන තබා පරීක්ෂා කිරීම දොස්තර මහතාට තරමක් අපහසු කාර්යයක්ද විය. ඇය එයට ඉඩ නොදීම නිසා කිසිදාක මුහුණ නොදුන් අත්දැකීමකට මුහුණ දීමට දොස්තර ලෙනක්ට සිදුවිය.
රෝගය සොයා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඇයගේ හෘදය ස්පන්දනය මැනිය යුතුවිය. ඒ සඳහා ළයට කන තැබිමට ඉඩ නොලැබේ. ඔහු දහ අතේ කල්පනා කළේය.
එවිට ඔහුට සිහි වූයේ මෙයට ටික කලකට පෙර ළමුන් දෙදෙනකු කළ සෙල්ලමකි. එහිදී එක් කුඩා දරුවෙක් අනෙකාගේ කනට අඩි තුනක් පමණ දිග බටයක් තබා අනික් කෙළවරට තට්ටු කරමින් සිටියේය. එසේ තට්ටු කරන වාර ගණන අනෙක් දරුවා හඬනගා කියයි. මෙහිදී වෛද්‍යවරයාට තේරුම් ගියේ නළයක් දිගේ ශබ්දය ගමන් කරන බවය. ඔහුට අදහසක් පහල වූයේය.
ලෙනක් දොස්තරට එවැනි නළයක් තම බෙහෙත් ශාලාවෙන් සොයාගත නොහැකිවිය. ඔහු කළේ ඝනකම් කඩදාසියක් සොයාගෙන එය නළයක් මෙන් රෝල්කර එහි එක්කොණක් තරුණියගේ ළයමත තබා අනෙක් කෙළවර තම කනේ තබා ගැනීමය. ඒ තුළිනු තරුණියගේ හදවත ගැසෙන රාවය කලින් නොඇසුණු පරිදි ඉතාම පැහැදිලිව ඇසුණි. එය ඔහුගේ සුවිශේෂ සොයා ගැනීමක් බවට පත්විය. වෛද්‍ය විද්‍යාවට නව ජවයක් ලැබුණු වෙද නළාව (Stethoscope) උපත සිදුවූයේ එසේය.
එසේ වුවද එකවරම අද පවතින නළාවට එය පරිවර්තනය වූයේ නැත. මුලදී වෛද්‍යවරුන් ඒ සඳහා රබර් නලයක් පාවිච්චි කළ අතර එයට ‘ලා සිලින්ඩර්’ යන නම ලැබුණි. මේ නිසා ළයට කන තබා ශබ්දය මැනීමේ හිරිහැරකාරී ක්‍රමයට තිත තැබිම සිදුවිය.
මෙම දොස්තරවරයා විසින්ම ස්වල්ප කාලයකට පසු ස්වකීය බාප්පා කෙනෙකුද සමග එක් වී වඩාත් වැඩිදියුණු කළ කුඩා ශබ්දයක් පවා ඇසෙන ස්ටෙතස්කෝපය යන නම තැබූ නළාව නිෂ්පාදනය කරනු ලැබිණ.
එදා තැනූ මෙම නළාව වර්තමානයේද සුළු වැඩිදියුණු කිරීමකින් පසු භාවිත කරන අතර එය සෑම වෛද්‍යවරයකුටම අත්‍යවශ්‍ය ආම්පන්නයක් බවට පත්ව තිබේ. වෛද්‍යවරයකු හඳුනා ගැනීම සඳහා මෙම උපකරණය අද යොදා ගනී.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...