වෙන කාඑක්කවත් අනුරාගයෙන් බැඳෙන්න මට බෑ – අමීෂා කාවින්දි

  • ඉගිල්ලෙන්න ඇයි ඔච්චරටම දැඟලුවේ ?
    ඉගිළෙන එක ඉතින් අමාරුනේ… තටුත් එපැයි…
  • ඉගිළෙන්න දඟලපු හැටියට නම් කලින් තිරයේ දැකපු අමීෂා නෙවෙයි හිටියේ?
    ඔව්, සෑහෙන්න වෙනස්. චණ්ඩිත් එක්ක හරි හරියට සටන් වදින්න, වෙඩි තියන්න, ඔය චණ්ඩි පාට් ඔක්කොම ඉගෙන ගන්න වුණා.
  • කවුද චණ්ඩි පාට් ඉගැන්නුවේ?
    අර්ජුන අයියා.
  • එයා ඔය හැටි චණ්ඩියෙක්ද?
    අනේ නෑ. සාමාන්‍ය ජීවිතයේදී බොහොම සුන්දර සාමකාමී කෙනෙක්. හැබැයි අසාධාරණයේදී නම් ඉවසන්නේ නැතිව තරහ යනවා.
  • සටන් පුහුණුවේදී එහෙන් මෙහෙන් ඇත්තටම වදින්නත් ඇති?
    ඔව්, ඒ කාලේ හරිම සුන්දරයි. නිමේෂා සටන් පුහුණුවෙන් පස්සෙත් අතපය විසි කරනවා. එහෙම වෙලාවක වැදුණු පාරක් නිසා තාමත් ඒ පැත්ත හොල්ලන්න බෑ.
  • ජිනා කියන චණ්ඩි කෙල්ල එක වෙලාවකදි කොහොමද හොඳටම අනුරාගී වුණේ?
    ඒකත් ජිනාගේම චරිත ලක්ෂණයක්.
  • ඔයා බොක්කෙන්ම ඒ රංගනය කළා?
    ඔව්, ඒක ඉතාම සජීවී ලෙසින්ම කරන්න අර්ජුන අයියාට අවශ්‍ය වුණා. අර්ජුන අයියත් එක්ක මිසක් වෙන නළුවෙක් එක්ක නම් මට ඒ වගේ අනුරාගී රංගනයක් කරන්න බැරිවෙයි.
  • ඉගිල්ලෙන්න ඇයි දඟලන්න චිත්‍රපටයේ චණ්ඩි පාට් දාපු- අනුරාගී රැඟුම් පෑ අමීෂා ඇත්ත ජීවිතයේදී කොහොම කෙනෙක්ද?
    අනේ මං හරිම නිහඬ, මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඉස්කෝලෙ යන කාලේ ඉඳලම මං එහෙමයි.
  • ඉස්කෝලේ යන කාලෙත් රඟපැම් කළාද?
    නෑ. නැටුම් ඉගෙන ගත්තා. පල්ලියේ ගීතිකා කිව්වා. ඕගන් ප්ලේ කළා.
  • අමීෂාට සිංදු කියන්නත් පුළුවන් ඇතිනේ?
    පල්ලියේ ගීතිකා කියද්දී නම් හොඳට කට ඇරලා සිංදු කිව්වා. ඒත් ප්‍රසිද්ධියේ සිංදු කියන්න ලැජ්ජයි වගේ.
  • මොකටද ලැජ්ජ වෙන්නෙ? ඇයි දැන් හැම නිළියක්ම ගායිකාවන්නේ?
    ඒ නිසාම තමයි ලැජ්ජා හිතෙන්නේ. මගේ කටහඬ ගැන සෑහීමකට පත්වෙන්නේ නැතිව සිංදු කියන්න යන්නේ නෑ. ඔයා හැමදාමත් දකින්න ලැබෙන්නේ වාණිජ චිත්‍රපටවල.
  • නරකද ඔය හැකියාව කලාත්මක චිත්‍රපටයටත් එකතු කළොත්?
    කැමැතියි. ගොඩාක් කැමැතියි. ඒත් මට එහෙම ආරාධනාවක් ලැබුණෙ නෑ.
  • ආරාධනා ලැබුණෙ නැද්ද? අර්ජුන එපා කිව්වද?
    අර්ජුන අයියා මට වෙන චිත්‍රපටවලට යන්න දෙන්නේ නෑ කියලා කතාවක් හදලා තියෙනවා. ඒ නිසාද දන්නේ නෑ. ඒත් එයා මට එහෙම එපා කියලා නෑ.
  • ඒ කියන්නේ ආරාධනාවක් ලැබුණොත් රඟපානවා?
    අපෝ ඔව්. හොඳ පිටපතක්, හොඳ චරිතයක් නම් මට නවකයෙක්ද, ප්‍රවීණයෙක්ද කියලා ප්‍රශ්නයක් නෑ. අනික මං තාම රංගන ක්‍ෂේත්‍රයේ පුංචි දූවිල්ලක් වගේනේ.
  •  අමීෂා රංගනයට ආවෙත් අර්ජුනගේ චිත්‍රපටයකින්ද?
    නෑ. නිශාන්ත වීරසිංහගේ ‘සඳ දෙව් දෝණි’ චිත්‍රපටයෙන්. ඒත් ඒක තවමත් තිරගත වුණේ නෑ. අර්ජුන අයියත් ඒකේ රඟපෑවා.
  • නිළියක් විදියටම ඉන්නද කල්පනාව? නිරූපණ ශිල්පිනියක් වෙන්න ආසා නැද්ද?
    Actress කෙනෙක් හැටියටත් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටින්නත් මට ආසාවක් නෑ. එහෙම ගියානම් ගොඩාක් සල්ලි හොයන්නත් තිබුණා. ඒත් රඟපෑම විතරක් කරලා හිටියා නම් හොඳයි කියලයි හිතෙන්නේ.
  • ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ ජිනාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
    හොඳයි ගොඩාක් දුරකතන ඇමැතුම් එනවා. ඒ වගේම මාධ්‍ය දර්ශනය වෙලාවෙත් මංගල දර්ශනය වෙලාවෙත් මාධ්‍යවේදීන්ගෙන් වගේම සහෝදර ශිල්පීන්ගෙනුත් මගේ රංගනය ගැන පැසසුම් ලැබුණා. ඒක මට ලොකු හයියක්.
  • කොහොමද චිත්‍රපටයට ප්‍රතිචාර?
    හොඳයි. ගොඩාක් හොඳයි. ඒත් මේ දවස්වල අර මාෆියාවෙන් චිත්‍රපටයේ ප්‍රදර්ශනයට බාධා එල්ලවෙලා. ඉක්මනින්ම හෝල්වලින් ගලවලා දාන්න කට්ටියක් උත්සාහ කරනවා. ඊට කලින් චිත්‍රපටය නරඹන්න කියලා මං අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
  • කාවින්දිගෙ යාළුවො කවුද ඔයාගේ නිළි පරපුරේ?
    මට විශේෂ යාළුවො නෑ. හැමෝම එක්ක හොඳින් ඉන්නවා. හොඳම යාළුවට ඉන්නේ මගේ අක්කා විතරයි.
  • ඇයි යාළුවො ඇසුරට බයද?
    යාළුවො කියලා හිතා සිටින අයම තමයි කට කතා හදන්නෙත්.
  • ඔයාටත් කට කතා හැදෙනවද?
    ඒවා ඉතින් කාටද නැත්තේ. මට කට කතා හැදුණේ අර්ජුන අයියා ගැනනේ. මේ අවුරුද්දේ අපි බැන්ඳම ඒ කට කතාත් ඉවරයිනේ.

ධම්මකා අක්මීමන – මව්බිම පුවත්පත​

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...