ශ්‍රී මහා බෝධියට අටපිරිකර පූජා කරනවාට වඩා දුෂ්කර විහාර නගා සිටුවීමට උදව් කිරීම පින් – මාදුළුවාවේ සෝභිත හිමි

ජාති භේද එපා. කුල භේද එපා. පන්ති භේද එපා. ආගම් භේදත් එපා. සෑම මිනිසකුම මිනිසුන්ට සේවය කළ යුතුයි. මිනිසුන්ට උදව් කළ යුතුයි. පරත්ථං පටිපජ්ඡථ, පරාර්ථයේම යෙදෙන්න, අත්ථචරියං, අර්ථයක් ඇති වැඩක් කරන්නැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවැසූහ. උන්වහන්සේ ඒ අදහස් දැක්වූයේ පසුගිය 25 වැනිදා මහරගම පතිරගොඩ නාලන්දාරාමය විහාරස්ථානයේ පැවැති ශ්‍රී ජයවර්ධනපුර සුපහන් පූජා සංවිධානයේ වර්ෂ පූර්ණ සංවත්සරයේදීය. වැඩිදුරටත් කරුණු දැක්වූ සෝභිත හිමි, ශ්‍රී මහා බෝධීන් වහන්සේට අෂ්ඨාංග පරික්ඛාර පූජා කරනවාට වඩා රුවන්වැලි මහා සෑයට අෂ්ඨ පරික්ඛාර පූජා කරනවාට වඩා කළයුතු වැදගත් දේවල් තියෙනවා. මේවා කරන්න එපා කියනවා ‍නෙවෙයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කළාට ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිවුරු ‍පොරවන එකක්යැ. කොළඹ ඉන්න හාමුදුරුවරුන්ට දාන දෙන්න මහන්සි වෙන්න එපා. අපට මෙහෙ දානේ ලැබෙනවා. ඊට වඩා කළ යුතු බොහෝ දේ තියෙනවා. ඈත පිටිසර ගමකට යමු. එහේ දුෂ්කර දුප්පත් ගමක් තෝරා ගම්මු. ඒ ගම හදමු. ඒ මිනිස්සු ළඟ අහිංසකකම පිරිලා දුප්පත්කම පිරිලා තියෙනවා. සැදැහැතියන්ගෙන් ආධාර ලබාගෙන මහා පෙරහරවල් පවත්වා ඇති තැන්වලටම අටපිරිකර කඳු පූජා කිරීමට වඩා පෙරවීමට සිවුරක් හෝ ඇඳ ගැනීමට අඳනයක්වත් හරිහැටි නැති එහෙත් ශාසනයට ඉමහත් සේවයක් කරන දුෂ්කර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා උදෙසා යම් සේවයක් කරනවා නම් එය වඩා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

මම විලච්චියේ ගමකට ගියා. එහි නිවාස හැත්තෑ හයක් තිබුණා. ඒවා හදාගන්න උදව් කළා. බස් රථයක් නැහැ. ඒ ගමට පාසලක් තිබුණා. ඒකත් කසිකබල්. අවශ්‍ය කරන කිසිවක් එහි නැහැ. ගැබිනි මව්වරු වෛද්‍යවරයකු හමුවීමට සැතපුම් හයක් විතර පයින් යනවා. මම ඒ ගමට උදව් කළා. පාසල් ළමුන්ට ‍පොත්පත් මෙහෙන් ගෙනිහින් දුන්නා. දක්ෂළමයි කොළඹට එක්ක ඇවිත් ඉගැන්නුවා. මම එක ගමයි හැදුවේ. මෙතන ඉන්න අයට ඊට වඩා ලොකු සේවයක් කළ හැකියි. මව්පියවරුන් නැති දරුවන්ගේ වගකීම භාරගෙන භාරකාර පියකු වන්නට පුළුවන් අය තෝරාගෙන ඒ වගකීම භාරදෙන්න. එක පවුලකට මසකට අවශ්‍ය කරන ආහාර ටික භාරදීමට හැකි අය ඉන්නවා. එහෙම සොයා බලා එක ගමක් හදමු. එසේම දුෂ්කර විහාරස්ථාන තෝරා ඒවා නගාසිටුවීමට කටයුතු කිරීම තුළින් දුෂ්කර ප්‍රදේශවල ජනතාව තව තවත් ආගමට නැඹුරු කළහැකියි දුප්පත්කම බාධාවක් වුණාට ඔවුන් ආගමට නැඹුරු වෙන්න කැමතියි. ඒ තුළින් බිහිවන ආගමික ප්‍රබෝධය අති උතුම්.

Lakbima

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...