ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වර්ගවල පිළිකානාශක ගුණයක්
September 27, 2012
19 Views
ශ්‍රී ලංකාව තුළ වගා කෙරෙන පාරම්පරික රතු සහල් වර්ග කිහිපයක නිවුඩ්ඩෙහි පිළිකා සෛල නාශක ගුණයක් හඳුනාගැනීමට කාර්මික තාක්‌ෂණ ආයතනයේ පර්යේෂකයෝ පිරිසක් සමත් ව සිටිති.
පර්යේෂකයන් මෙහි දී පරීක්‌ෂා කර තිබෙන්නේ පෙනහලු පිළිකා සඳහා මුල් වන සෛලවලට මෙකී සහල්වලින් ඇති වන බලපෑමයි. පෙනහලු පිළිකා, සෙසු පිළිකා අතර සුලබව ම හඳුනාගැනෙන සහ රෝගීන් ගේ මරණවලට ප්‍රමුඛ හේතුවක් වන පිළිකා වර්ගයකි. වසරකට පෙනහලු පිළිකා හේතුවෙන් ලොව පුරා මරණ දස ලක්‌ෂයක් පමණ සිදු වන බව සඳහන් ය.
මසුරන්, දික් වී, ගොඩ හීනටි, සහ සුදු හීනටි යන සහල් වර්ග, විද්‍යාගාර තත්ත්ව යටතේ වර්ධනය කරන ලද පිළිකා සෛලවලට විෂ සහිත වූ බව මේ පර්යේෂණයේ දී පෙනී ගොස් තිබේ.
පර්යේෂණය මේ වන විට පවතින්නේ කවර අදියරක දැයි විදුසර කළ විමසීමක දී කණ්‌ඩායමේ අධීක්‌ෂකවරයකු වශයෙන් කටයුතු කරන ආචාර්ය ජී. ඒ. එස්. ප්‍රේමකුමාර ප්‍රකාශ කර සිටියේ මෙකී පිළිකා නාශක ගුණයට හේතු වන සංයෝගය වෙන් කර ගැනීම මීළඟ පියවර වනු ඇති බව ය.
“ඉන් අනතුරුව රෝගීන් යොදාගෙන සායනික අත්හදාබැලීම් සිදු කළ යුතු ව තිබෙනවා. මේ සහල් වර්ගවල නිවුඩ්ඩ පෝෂ්‍යකාරකයක් (Nutraceutical) ලෙස සකසා (කැප්ස්‍යලයක අසුරා) පරිභෝජනයට එක් කිරීමේ හැකියාව ගැනත් අපි සොයා බලනවා” යනුවෙන් ඒ මහතා සඳහන් කර සිටියේ ය. ආචාර්ය ප්‍රේමකුමාර කාර්මික තාක්‌ෂණ ආයතනයේ ඖෂධීය පැළෑටි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා ලෙස කටයුතු කරයි.
මේ පර්යේෂණය සිදු කෙරෙන්නේ ආචාර්ය උපාධි අපේක්‌ෂිකාවක වන ඩබ්ලිව්. කේ. එස්. එම්. අබේසේකර මහත්මිය ගේ උපාධි පර්යේෂණයෙහි කොටසක් ලෙස ය.
featured Latest slider 2012-09-27