13.5 C
London
Friday, April 25, 2025
spot_img

සහජීවනය උ‍දෙසා හලාල් ලාංඡනය ඉවත් ‍කෙ‍රේ

බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනය පවත්වා ගැනීමේ අරමුණින් පාරිභෝගික භාණ්ඩ වල හලාල් ලාංඡනය ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසයි.

ලංකා වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් උලමා සභාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උලමා සභාව ඒ බව පැවසු‍වේය.

සිංහල සහ මුස්ලිම් ජාතිකයන් අතර කලක් මුළුල්ලේ පවතින සමගිය පලුදු නොවන ආකාරයේ තීන්දුවක් ගැනීම පිණිස නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් මුස්ලිම් නායකයන් සමඟ සාකච්ඡා කළ බව එහිදී ප්‍රකාශයක් කළ ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ. තවද මෙවැනි ගැටළු විසඳා ගැනීමේ හොඳම මාර්ගය “අතින් පයින් නොව,” බුද්ධිමත්ව සාකච්ඡා මාර්ගයෙන් බව ද එහිමියෝ පැවසූහ.

ජමියතුල් උලමා සභාවේ හලාල් අංශයේ ප්‍රධානී මුර්ශික් මුලාෆර් අදහස් දක්වමින් කියා සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීමේදී ගාස්තුවක් අය කලේ ඒ සඳහා වැය වන වියදම පියවා ගැනීම සඳහා බවයි.

කෙසේ නමුත් එසේ ගාස්තුවක් අය කිරීමත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනයට හානි කරන්නක් බවට මතයක් පවතින්නේ නම් එම ගාස්තුව පවා ඉවත් කර ගැනීමට තමන් සූදානම් බව ද ඔහු පැවසීය.

දෙපාර්ශවය අතර ඇතිකරගත් මේ එකඟත්වය කිසිදු පාර්ශවයක ජයක් හෝ පරාජයක් නොව “රටේ ජයග්‍රහණයක්” බව බෙල්ලන්විල විමලරතන හිමියන් අවධාරණය කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles