අතීතය උන් හිටි ගමන් අප පුදුමයට පත්කරවන්නට දක්වන්නේ දැඩි කැමැත්තකි. එය එසේ වන්නේ අතීතය අපට දක්වන්නා වූ ආදරය සේම, අතීතයට අප දක්වන්නා වූ අසීමිත ආදරයේ හුවමාරුකම් නිසා විය හැකිය.
ඒ නිසාම මෙවන් වූ අරුම පුදුම කතා අසන්නට දකින්නට අපහට අවස්ථාව ලැබී ඇත. ඇතැම් විටෙක ඒ කතා එකිනෙකට බද්ධ වූ අපූරු කතාමාලාවන් ලෙසද හමුවේ. මේ ලියන්නේ එවැන්නකි. හාල්දඬුවන යනු නාත්තන්ඩිය ආසන්නයේ පිහිටා ඇති ගම්මානයකි. දංකොටුව ආසන්නයේ පිහිටි හාල්දඬුවන යම්කිසි ඓතිහාසික නාමයක අවසන් පුරුක් ගණනක් සඟවා සිටින්නා වූ බිමකි. ඒ කවර නාමයක් දැයි සිතන ඔබට මෙය ඇතැම්විට පුදුමයක්ම වනු ඇත. එහි සිංහබාහු පරපුරේ නාමය රැඳුණු සිංහලයන් පිරිසක් තවමත් හාල්දඬුවන ජීවත්වන බවයි.
හාල්දඬුවන ගම්මානයට එම නම හැදෙන්නට හේතුව, නම් මී රා පැහෙන්නට දමන්නා වූ හල්පොතු ලබා ගන්නා හල් ගස් වනයක්ම මේ ප්‍රදේශයේ තිබීම නිසාය. එහෙත් හාල්දඬුවන ගම්මානයක් වන්නේ එක්තරා පිරිසක් නිසාය. ඒ රාජකීය වෙද පරම්පරා හතරක් හේතුවෙන්ය. සිංහලයේ අවසන් රාජධානිය වූයේ මහනුවර (කන්ද උඩරට) රාජධානියයි. එහි රජකම් කරන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. රජගෙදර රාජකීය පණ්ඩිත වෛද්‍ය පරම්පරා ගණනක්ද විය. එහෙත් තවමත් සොයාගත නොහැකි වූ යම් හේතුවක් නිසා කන්ද උඩරට සිටි රාජකීය වෛද්‍ය පවුල් හතරක් පහතරට වෙරළබඩ කලාපයේ පිහිටි හාල්දඬුවනට විත් පදිංචි වන්නට වූහ. එම පරම්පරා හතර ජයලත් ඉමිහාමිලාගේ, සිංහබාහු මුදියන්සේලාගේ, රාජපක්ෂ කෝරාළගේ, ශ්‍රී නාරායන යන වෙද පරම්පරාවන්ය. 1815දී මෙම ගමට පැමිණි වෙද පරම්පරා තමන්ට වූ රාජකීය පණ්ඩිත යන ගරුනම්බුනාම අත්හරින්නට වූහ. ඇතැම්විට රජුසමඟ තරහවීමක් නිසා මෙසේ පැමිණියා හෝ නැතහොත් ඉංග්‍රීසීන්ගෙන් බේරෙන්නට මෙසේ පැමිණියා වන්නට ඇති බව පැවැසුවේ හාල්දඬුවන රේණුක සඳරුවන් මහතා සහ ගුරුවරයකු වන පාලිත සිංහබාහු මහතාය. මෙසේ හාල්දඬුවනට පැමිණි සිංහබාහු වෙද පරම්පරාවෙන් පැවැත එන පිරිස අදටද හාල්දඬුවන ගම්මානය පුරා ව්‍යාප්තව සිටිති. ඔවුන්ගේ ශරීරය රෝම ගසින් වැසී ඇත.
අප සොයනා ‘සිංහබාහු’ පරපුරේ නිශ්චිත සාධක ඒ අතරම ඇද්දැයි සැක සිතෙන්නේ ඒ නිසාය. හාල්දඬුවන මෙම සිංහබාහු නාමය ඇති පවුල් රාශියකි. ඉන් අන්‍ය වික්‍රමසිංහබාහු පවුල් පහළොවක් පමණ ඉතිරි සිංහබාහු මුදියන්සේලාගේ නාමය ඇති පවුල් දහයක් පමණි. අදට වසර දෙදහස් පන්සියයකට ඉහත අතීතයේදී ඉන්දියාවේ සිදුවූ සුප්පාදේවි හා සිංහයකුගේ විවාහයකින් ඉපදුණු සිංහ සීවලී හා සිංහබාහුගේ දරුවකු වූ විජය ලංකාවට පැමිණීමත් සමඟ ලංකාවේ සිංහල ජාතිය ඇති වූ බව වංශ කතාවල සදහන්වේ. එහෙත් එය මේ වන විට විවිධ මතවාද වලට තුඩු දී ඇති කරුණකි.
නියම සත්‍යය කුමක්දැයි සොයා නැතත් අතීත ජනප්‍රවාදවලට නතුවූ කැමැත්ත ‘සිංහබාහු’ පරපුර පිළිබඳ සොයන්නට සිත පොලඹවන්නට විය. සිංහබාහු පරපුරින් එන බව නිශ්චිතවම දැන හෝ නොදැන වුව ඒ පරම්පරාවේ වයසක ඇත්තන් අදටද තම බාහුව ඉහළට ඔසවා බොහොම ආඩම්බරනේ කියන්නේ, අපි සිංහබාහු පරම්පරාවේ’ යනුවෙනි. කන්ද උඩරට සිට හාල්දඬුවනට පැමිණීමට පෙර වූ අතීතයක් පිළිබඳ කිසිදු අදහසක් නැති වුවද සිංහබාහු පරපුරේ යැයි පැවැසෙන අභයවික්‍රම සිංහබාහු මුදියන්සේලාගේ චන්ද්‍රසේකර වෛද්‍යවරයාගේ දරු මුණුබුරන් හා බිරිය තවමත් ඔවුන්ගේ සිංහබාහු නාමය තම උප්පැන්නට ඇතුළත් කර ඇත. ඔවුන් ඔවුන්ගේ පරම්පරා නාම උරුමයට ගරුකරයි. කිසි කලෙකත් ඊට අවනම්බුවක් වන දෙයක් සිදුකිරීමට උත්සාහ නොකරයි. මෑතදී මියගිය අභයවික්‍රම සිංහබාහු මුදියන්සේලාගේ චන්ද්‍රසේකර වෛද්‍යවරයාගේ බිරිය පැවත එන්නේද නාග ගෝත්‍රිකයන්ගෙන් බව ඇගේ අදහසය. ඇය නයිනා නායක පතිරන්නායකලාගේ පේමලතාය නාගයන්ගෙන් සිංහයන්ගෙන් එකතුව අදටද පරම්පරාවකට ජීවය දී ඇත. චූලෝදර – මහෝදර නාග පරපුරෙන් තමන් පැවැතෙන බව කියන පේමලතා මහත්මිය හාල්දඬුවනට දීග එන්නට පෙර මීරිගම කොටදෙණියාවේ පදිංචිව සිට ඇත. අතීතයට හංගනු බැරි අතීත උරුමයක් තම උප්පැන්නයේ සඟවා සිටින සිංහබාහු පරපුරේ මේවන විට සිටින වයස්ගතම තැනැත්තාට වයස අසූහයකි. අභයවික්‍රම සිංහබාහු මුදියන්සේලාගේ ගුණසේකරය.
ඔහු වෘත්තියෙන් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකි. අදටද ඔහුගේ උරපතුවල කන් වල පවා පවතින රෝමගස් දැකගත හැකිය. ඇතැම් විටක ඔවුන් සැබැවින්ම සිංහබාහු පරපුරෙන් පැවතෙනවා විය හැකිය. ඇතැම් විට ඇඟපුරා රෝම වැඩිවශයෙන් පැවැතීම නිසාම ‘සිංහබාහු’ යන නමින් ඔවුන් හඳුන්වනවා වන්නටද හැකිය. කෙසේ හෝ ‘සිංහබාහු’ පරපුර පවතින හාල්දඬුවන මෙවැනි සිංහබාහු පරම්පරා දෙකකි.
පරම්පරාව කෙසේ වුවද ලංකාවේ තවමත් එම නම රැකී තිබීමද සතුට දනවන්නක් නොවේද?
උපුටාගැනීම : මව්බිම පුවත්පත