සිනාවක් නැති මුවට සිනාවක් ගෙන දුන් අපේ වෛද්‍යවරු දෙදෙනෙක්ගේ විස්මිත සැත්කමක්.

සිනා වන විට ඇද වන මුඛය නිසා විරූපි විය ගිය සදමාලිට නැවත සිනාවෙන් යුත් තම සුන්දර මුහුණ ලබාදුන් විස්මිත ප්ලාස්ටික් සැත්කමක් පිළිබද පුවතකි මේ.

දෙදරු මවක් වූ අනුරාධපුර සාලියපුර පදිංචි ඉන්ද්‍රනි සඳමාලි (31) සිය බාලපුතු ලැබීමට සිටිය දී දෙපා අප්‍රාණික වී ඇද වැටී ඇත. රෝහල්ගත කළ සඳමාලි සී.ටී. ස්‌කෑන් පරීක්‍ෂාවකට යොමු කිරීමෙන් අනතුරුව ඇගේ මොළයේ ගෙඩියක්‌ ඇති බැව් අනාවරණය වී ඇත. පසුව ශල්‍යකර්මයකින් මොළයේ තිබූ එම ගෙඩිය ඉවත් ඉවත් කිරීමේදී ස්‌නායුවක්‌ ද එම ගෙඩිය සමඟ ඉවත්ව තිබුණි.

මෙම ශල්‍යකර්මයෙන් පසු සඳමාලිගේ මුහුණේ වම් පැත්තේ පේශි අප්‍රාණිකත්වයට පත් වී ඇත. ඇගේ මුහුණේ වම් පස කොටස සම්පූර්ණයෙන්ම පණ නැතිව ගොස් ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම විරූපී විය. ඇය හිනැහෙන විට ඇගේ මුඛය ඇද වී ගියේය. මේ සිද්ධියත් සමඟ සඳමාලි දැඩිලෙස මානසික පීඩනයට පත් වූ සඳමාලි සමාජයට මුහුණ දීමට මැළිකමක්‌ දැක්‌වූවාය. සඳමාලි නිරන්තරයෙන්ම උත්සාහ කළේ සමාජයෙන් වසන් වී දිවි ගෙවීමටය.

අනුරාධපුර ප්‍රදේශයේ නීතිඥවරයකුගේ කාර්යාලයක ලිපිකරුවකු ලෙස රැකියාව කළ ඇය මෙම සිද්ධියත් සමඟ ඇය රැකියාවට පවා ගියේ නැත. විරූපී වී ඇති තම මුහුණ යථා තත්ත්වයට පත්කරන්නේ කෙසේ ද කියා දස අතේ කල්පනා කළා ඇය ස්‌නායු ආබාධයකට ද ප්‍රතිකාර ගත්තාය.

මේ අතරතුරේ සඳමාලි ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය වෛද්‍ය අංශය වෙත යොමු කෙරිණි. ඒ වනවිට ඇයට මෙකී ආබාධිත තත්ත්වය නිසා හරිහැටි ආහාර ගැනීමට පවා නොහැකිව සිටි ඇය වතුර පවා පානය කළේ ඉතා අපහසුවෙනි. කරාපිටිය ස්‌නායු ශල්‍ය වෛද්‍යවරිය වෙත සඳමාලි යොමුකිරීමෙන් පසු වෛද්‍ය දීපාල් අත්තනායක සඳමාලිට පවසා ඇත්තේ ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ මගින් මුහුණේ ඇති විරූපී තත්ත්වය යළි යථා තත්ත්වයට පත්කළ හැකි බවය.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් ආරම්භ කොට ගතවී තිබුණේ මාස හතඅටක්‌ පමණි. සඳමාලි දීපාල් අත්තනායක වෛද්‍යතුමන්ගේ මෙහෙයවීම මත ඇය එම රෝහලේ ප්ලාස්‌ටික්‌ ශල්‍ය ඒකකය වෙත යොමු කෙරිණි. මේ වෙනුවෙන් තරුණ විශේෂඥ ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනකු වන ගයාන් ඒකනායක හා කෝලිත කරුණාදාස යන වෛද්‍යවරු දෙදෙනකු රෝහලට පැමිණ සිටියහ. සඳමාලිට සිදුකිරීමට තිබූ ශල්‍යකර්මය එතරම් ලේසි පහසු එකක්‌ නොවූ ඉතා සියුම්ව සිදුකළ යුතු ශල්‍යකර්මයකි. එම අභියෝගය ගයාන් හා කෝලිත යන තරුණ වෛද්‍යවරුන් දෙදෙනා භාරගත්හ.

ප්ලාස්‌ටික්‌ සැත්කම් කිරීම සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෙනම ශල්‍යාගාරයක්‌ නොමැති අතර ස්‌නායු ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ස්‌නායු ශල්‍ය ඒකකයේ ශල්‍යාගාරය ලබාදීමට කටයුතු කළේය. මේ ශල්‍යකර්මය කිරීමට අන්වික්‍ෂය ඇතුළු පහසුකම්ද සපයා දුන්නේය. මෙම ශල්‍යකර්මය සඳහා පැය හයහමාරක කාලයක්‌ ගතවිය. ශල්‍යකර්මය සාර්ථක බව වෛද්‍යවරුන් දෙදෙනා වන ගයාන් හා කෝලිත පැවසූහ.

මෙම කාන්තාවගේ මුහුණේ වම් පැත්තේ පේශි අප්‍රාණික වෙලා තිබුණේ. මුහුණේ විරූපී බවක්‌ තිබුණා. ඇත්තටම මෙම ශල්‍යකර්මයේ විශේෂත්වය තමයි ශරීරයේ එක්‌ කොටසක තියෙන පටකයක්‌ එතනින් ඉවත්කරලා වෙනත් තැනකට බද්ධකරලා වෙනත් කාර්යයක්‌ කිරීමයි. මේ සමඟ රුධිර සැපයුම හා ස්‌නායු බද්ධ කිරීමත් සිදුකරනවා. සඳමාලිගේ වම් කකුලේ කලවයේ පේශියන් ගෙන තමයි මෙම බද්ධ කිරීම කළේ. ඇත්තටම මෙම සැත්කම සාර්ථකයි. තව සති කිහිපයක්‌ යනවිට ඇගේ මුහුණට අවශ්‍ය ව්‍යායාම ලබාදීමෙන් පසු ඇගේ මුහුණ පෙර තිබූ තත්ත්වයට පත්වෙනවා. විරූපි බව නැතිවෙලා යාවි.

ප්ලාස්‌ටික්‌ වලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. එය මීට වසර දෙදහස්‌ පන්සියයකට ඈතට දිවයන්නකි. අතීතයේ සිටි ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවේ සුශ්‍රැත රජතුමාය. ඒ බුද්ධ කාලයේදීය. ඒ කාලයේ දී ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ අල්ලාගත් රජකෙනෙකු එම ප්‍රාන්තයේ සිටි මිනිසුන්ගේ නහසයන් කපා දැමූහ. එය රජ කාලයේ දඬුවමක්‌ වශයෙනි. මේ නිසා එම ප්‍රාන්තය නාසිකාපුරය වශයෙන් නම්පට බැඳුනි. පසුව සුශ්‍රැත රජතුමා නලලේ ඇති පටක කොටස්‌ ගෙන එම මිනිසුන්ගේ නහයවල් යළි ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළහ. මේ ගැන සුශ්‍රැත සංහිඳියාව පොතේද සඳහන් වන්නේය.

කෙසේවුවද නූතන ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා වන්නේ නවසීලන්ත ජාතික හැරුල් ශිලිස්‌ය. මෙකී සැත්කම් සඳහා නව තාක්‍ෂණික උපක්‍රම හඳුන්වා දීමට ඔහු කටයුතු කළේය. පළමුවන ලෝක යුද්ධයේදී මොහු සුවිශේෂී වූ කාර්යභාරයක්‌ ඉටු කළේය.

දැනට ප්ලාස්‌ටික්‌ සැත්කම් සිදුකරනු ලබන්නේ කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ළමා රෝහල, මහනුවර, කළුබෝවිල, රාගම හා කරාපිටිය යන රෝහල්වල පමණි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...