Saturday , 7 September 2024

සිරි පැරකුම්…

ඓතිහාසික දඹදෙණිය පුරවරයට අපේ ඉතිහාස කතාවේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කාලිංග – මාඝ ආක්‍රමණයෙන් පසුව පොලොන්නරු රාජධානිය අතහැර සිරිලක රාජධානිය බවට පත්වූයේ දඹදෙණිය ය. දඹදෙණි පව්ව මත මාලිගයක් තනවා පොලොන්නරුවෙන් දඹදෙණියට රාජධානිය මාරුකර වූයේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වනු පිණිසමය.

මේ කියන්නට යන්නේ දඹදෙණි රාජධානියෙන් ඇරඹෙන පුරාවෘත්තයකි. එහෙත් මේ කතා පුවත සත්‍ය තොරතුරු පමණක් ම අඩංගු ඉතිහාස වාර්තාවක් නොවේ. ඉන් එහා ගිය රමණීය මනඞකල්පිතයන් ද සමඟ ගෙතෙන කතා පුවතකි. ඒ ඇසුරින් නිමවන සිනමා සිත්තමකි. එය ’සිරි පැරකුම්’ නම් වන්නේ ය.
දඹදෙණිය රාජධානිය කොට 13 වැනි සියවසේ රාජ්‍යය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත සර්වඥ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශ්‍රිතව ඇති ජනප්‍රවාද පාදක කර ගනිමින් මෙහි තිර රචනය සම්පාදනය කර ඇත. මෙම රජතුමාගේ ළමා කාලය ගැන ලේඛනගත සනාථ කළ නිශ්චිතතොරතුරු ඉතිහාසයේ සඳහන් වී නැතත් මුඛ පරම්පරාවෙන් පැවත එන විවිධ ජනප්‍රවාද රාශියක් ඇත. මෙම ජනප්‍රවාදවල කියවෙන බොහෝ නම් ගම් හා පෙළපත් නාම අදත් අසන්නට දකින්නට ඇති නිසා එම ජනප්‍රවාදවලට පාදක වූ කිසියම් සත්‍ය තොරතුරු ද ඇතැයි අනුමාන කළ හැකිය.
ඇතැම් ජනප්‍රවාද අතර පරස්පර විරෝධීකම් ඇතත් සියලුම ජනප්‍රවාදවලට පොදු ලක්ෂණ ද ඇත. එවන් පොදු ලක්ෂණ හා සිනමා කෘතියකට උචිත ලෙස මනඞකල්පිතව නිර්මාණය කරන ලද සිදුවීම් ද මෙහි ඇතුළත්ය.
දෙවන පරාක්‍රමබාහු නමින් අභිෂේක ලබන මෙම රජතුමා උගත් පඬිරුවනකි. බුදු සසුනේ, කෘෂි කර්මාන්තයේ සහ සාහිත්‍යයේ ද විශාල උන්නතියක් ඇතිකරන මෙතුමා සුප්‍රසිද්ධ ‘කව්සිළුමිණ’ මහා කාව්‍යයේ නිර්මාතෘයි. මෙතුමාගේ ළමා කාලය දුර බැහැර ගම ගෙදරක බොහෝ සරලව ගෙවී යන්නකි. එයට හේතුව වන්නේ රාජ්‍ය බලය තුන්වන විජයබාහු රජතුමාගේ යෝනක බිසවගේ කුමාරයාට ලබා දීමට එම බිසව ගෙන යන කුමන්ත්‍රණය නිසාවෙන් පරාක්‍රමබාහු කුමාරයා අප්‍රකටව ජීවත්වන නිසාවෙනි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා සිත්තම ’සිරිපැරකුම්’ නමින් නුදුරු අනාගතයේ දී මෙසේ දිග හැරේ. ‘සිරි පැරකුම්’ සඳහා රංගනයෙන් චාන්දනී සෙනෙවිරත්න, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, බිමල් ජයකොඩි, ජයනි සේනානායක, සචිනි අයේන්ද්‍රා, දයාදේව එදිරිසිංහ, සම්පත් තෙන්නකෝන්, අනුර බණ්ඩාර රාජගුරු,දමයන්ති ෆොන්සේකා ප්‍රමුඛ නළු නිළි පිරිසක් රඟපාති. සිරිපැරකුම් චරිතයට පණපොවන්නේ අකිල ධනුද්ධර ඇන්තනිය. ඔහු ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයෙකි.
ආලෝකකරණය හා කැමරා අධ්‍යක්ෂණය පාලිත පෙරේරාගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් හීනටිගල ප්‍රේමදාසත්, වේශ නිරූපණයෙන් නාරද තොටගමුවත්, සංගීත නිර්මාණයෙන් රෝහණ වීරසිංහත්, සංස්කරණයෙන් අජිත් රාමනායකත්,වස්ත්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික්‍රමආරච්චිත් එක්වෙති. ගේය පද රචනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය ආචාර්ය සෝමරත්න දිසානායකගේ වන අතර නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි. ‘සිරි පැරකුම්’ සිනේ ෆිල්ම්ස් ලංකා ඉදිරිපත්කිරීමකි.

 

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...