සූර සරදියෙල්

උතුවන්කන්ද යනු මෙරට ප්‍රසිද්ධම කන්දකි. ඉංග්‍රීසි පාලන සමයේ දී උතුවන්කන්ද ඉංග්‍රිසීන්ව බියට හා තැති ගැන්මට ලක්‌ කළ බිම් කඩකි. උතුවන්කන්ද ජනතාව අතර මෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අතර ප්‍රසිද්ධ වූයේ සරදියෙල් නිසාය. සරදියල් යනු එක අතකට අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ අපේ වීරයෙකි. තවකෙකු ඔහු මහා සොරකු ලෙස හංවඩු ගැසීමටද බැරි නැත. නමුත් මුළු රටම ඉංග්‍රීසීන් විසින් අල්ලා ගෙන තිබියදී ඉංග්‍රීසීන්ට එරෙහිව යමින් ශූර වීරකම් පා දුගී දුප්පතුන්ට සරණ වූ සරදියෙල් ශූරයෙකි. මේ රටේ ජනතාව සරදියෙල් “සූර” සරදියෙල් ලෙස හඳුන්වන්නේ එනිසාය.

සූර සරදියෙල් 1864 මැයි 07 වැනිදා එල්ලා මරාදමනු ලැබුවේ සුදු ජාතිකයන් විසිනි. ඒ ඇයි? සරදියෙල් කළ වරද කුමක්‌ද?

සූර සරදියෙල් මියගොස්‌ වසර එකසිය හතළිස්‌ පහක්‌ ගත වුණද ඔහු අදටත් අපට ජීවමාන චරිතයක්‌ බඳුය. සරදියෙල් එක අතකට නිසි ඇගයීමකට ලක්‌ නොවූ ජාතික වීරයෙකි. තවකෙකු සරදියෙල් මහ අපරාධකාරයකු සහ සොරකු ලෙස නම් කිරීමටද පුළුවන. නමුත් මේ අපූර්ව මිනිසා මීට වසර එකසිය පනහකට එහා යුගයක මහා බලසම්පන්න සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව කළ හපන්කම් සුළුකොට තැකිය නොහැකිය. සරදියෙල් යනු මේ රටේ දුප්පතාට ආදරේ කළ, අධිරාජ්‍යවදීන්ගේ යකඩ සපත්තුවට පෑගී තැලුණු ජනතාව වෙනුවෙන් සුරවිරුකම් පෑ අයකු බව අපේ තැකීමයි.

ෂර්වුඩ් කැලයේ සිටි රොබින්හූඩ් මෙන්ම උතුවන්කන්දේ සූර සරදියෙල්ද වීරයෙක්‌ය. මොවුන් සටන් කළේ දුප්පතා වෙනුවෙනි. අනිසි බලයට යටව තැලී පොඩි වී විඳවන ජනතාව වෙනුවෙනි.

මේ සටහන තැබෙන්නේ සරදියෙල් විසින් කළ ඒ සටන සිහිකිරීමට පමණක්‌ම නොවේ. නව යටත් විජිත කරණයන් ක්‍රියාත්මක මෙකල සූර සරදියෙල්ලා වැනි අභීත තරුණයන් දසදහස්‌ ගණනක්‌, ලක්‍ෂ ගණනක්‌ ජව කවනු වෙනුවෙනි. සූර සරදියෙල් පිළිබඳ ඇතැම් කතා, වාර්තා මත පදනම්ව මේ කෙටි සටහන තබන්නේ එනිසාය.

සරදියෙල් උපන්නේ 1832 වසරේය. සරදියෙල්ගේ සම්පූර්ණ නම “දීකිරි කෑවගේ සරදියෙල්ය. පියා කරත්ත කරුවෙකි. සුළු ව්‍යාපාරිකයෙකි. පියා නමින් දීකිරි කෑවගේ අදාසි අප්පුය. “පිඩෝහාමි” යනු සරදියෙල්ගේ මවය. සරදියෙල්ට සහෝදර සහෝදරියන් සිව් දෙනකු සිටි වගද ඉතිහාසයේ සඳහන්ය. මොවුහු පේදුරු, ගේබියෙල්, මර්තා සහ ඇන්ටනී නම් වූහ. සරදියල් පවුලේ වැඩිමලාය.

සරදියෙල්ගේ පියා වන අදාසි අප්පු හලාවත උපන්නෙකැයි සඳහන්ය. ඔහු සිය කරත්තයෙන් මහනුවරට යන්නේ උතුවන්කන්ද පිහිටි මාවනැල්ල, කොළඹ මහනුවර මාර්ගය ඔස්‌සේය. අදාසි අප්පුට, පිඩෝහාමි මුණ ගැසීමත් හරි අපූරු එකකි. මාවනැල්ල පිඩෝහාමිගේ උපන් ගමය. මාවනැල්ල යනු කරත්තකරුවන්ගේ ගිමන් නිවන මධ්‍යස්‌ථානයකි. යන එන ගමනේ පිඩෝහාමිත්, අදාසි අප්පුත් එක්‌ වන්නේ මඟුල් යෝජනාවකිනි.

කෙසේ හෝ සරදියෙල් උතුවන්කන්ද ආශ්‍රිත බිම්කඩේ මවත් සමග එකට ජීවත් වෙද්දී අදාසි අප්පු දරු තිදෙනකු සමග හලාවත පදිංචියට ගොස්‌ තිබේ. මාර්තා නම් වූ සරදියෙල්ගේ නැගණිය කුඩා කලම මියගොස්‌ ඇතැයි ද සඳහන්ය.

සරදියල් මුලින්ම අකුරු කර ඇත්තේ බෙලිගම්මන පන්සලෙනි. එතැනින් ඔහු ඉලුක්‌ගොඩ පන්සලට මාරු විය. ඒ පන්සල් අධ්‍යාපනය හදාරද්දී සරදියෙල්ට මොහම්මදා, සිරිමලා, සමාත් උක්‌කින්දා, මෝදර තැන්නේ හෙන්දා සහ නසරදීන් යන මිතුරන් මුණ ගැසිණි. පසු කාලයේදී සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතව කළ සටන් වලට හා අපේ මිනිසුන්ගේ දහදිය මහන්සිය උරාබීව් සුදු අධිරාජ්‍යවාදී ගැති දොaහීන්ගේ වස්‌තුව පැහැරගෙන දුප්පතුන්ට බෙදාදුන් කණ්‌ඩායමට මේ පිරිසද එක්‌ වූහ. මම්මලේ මරික්‌කාල් යනු සරදියල්ගේ අවසානය ද දක්‌වා එකට සිටි මිතුරාය. සරදියෙල් කුඩා කල සිටම අයුක්‌තියට, අසාධාරණයට එරෙහි වූවෙකි. ඔහුගේ මිතුරා වූ මම්මලේ මරික්‌කාල් කොළඹ හමුදා බැරැක්‌කයකට බැඳී සේවය කරද්දී සරදියෙල්ගේ ඉල්ලී මත ගිනිඅවියක්‌ පන්නාගනු ලැබීය. එතැන් පටන් ඔහු දුප්පතාගේ හිතවතා වෙමින් අධිරාජ්‍යවාදීන් හා අධිරාජ්‍යවාදී ගැත්තන්ට එරෙහිව සටන් ඇරඹීය.

වරක්‌ සරදියෙල් සොල්දාදුවකු සමග ආරවුලක පැටලිණි. රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත සරදියෙල් අත්අඩංගුවට ගැනිණි. සිරගත කළ සරදියෙල් යකඩ කූරු නවා එළියට පැනගෙන තිබිණි. සරදියෙල්ගේ සුරකම් කටින් කට පැතිර ගියේ ඉන් පසුවය.

වරක්‌ කිසියම් වරදකට සරදියෙල් දඬුකඳක ගැසීමට පොලිසිය හා ගම්මුලාදෑනියකු ක්‍රියා කර ඇත. සරදියෙල් ඉන් සැලුණේ හෝ බියට පත්වූයේ නැත. සරදියෙල් ශූරයෙකි. ඔහු වටපිට බැලීය. ලණු පටක අත ගෑවිණි. ලණුව ළඟට කරගත් ඔහු සිය තියුණු ඇස දෙපසට විහිදුවේය. නියම ආයුධය ඇස ගැටිණි. සැනින් ලණු පටහි අදින ගැටයක්‌ ගැසූ සරදියෙල් මිදුලේ කොණක තිබූ යකඩ ඉන්නට වළල්ල දැමීය. පොලිසිය එනවිට සරදියල් දඬුකඳේ නැත. සරදියෙල් පැන ගොසිනි.

සරදියල් වරක්‌ අරණායක අරක්‌කු ගබඩාව කඩා දැමීය. එහි තිබූ සුද්දන්ගේ අරක්‌කු මෙන්ම වටිනා දෑ ලබාගෙන දුප්පතුන්ට බෙදා දුන්නේය. මොල්ලිගොඩ වලව්වටද හේ නිතර නිතර කඩා පැන වස්‌තුව ගෙන දුප්පතුන්ට බෙදාදී ඇත.

කොළඹ, මහනුවර මාර්ගය ඔස්‌සේ සුදු අධිරාජ්‍යවාදීන් බඩු බාහිරාදිය ගෙන යනවිට සරදියෙල්ගෙන් ඒවා බේරා ගැනීම ලෙහෙසි නොවිණි. පොලිසියටත්, පොලිසියේ ගිනි අවිවලටත් සරදියෙල් කිසි දිනක බිය වූයේ නැත. සුද්දන් අත තිබූ ගිනිඅවි පවා සරදියෙල් පැහැරගත් අවස්‌ථා බොහෝය. වරක්‌ සරදියෙල් රාත්‍රියේ කන්දඋඩරටට ගෙන යමින් තිබූ මුදල් තොගයක්‌ අතර මඟදී පැහැර ගත්තේය. පසුව බලන විට ඒ මුදල් වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවන මුදල්ය. සරදියෙල්ගේ හිත කඩා වැටිණි. ඔහු මුදල් ආපසු දී යන්නට ගියේය. සරදියෙල් දුප්පතුන්ට ආදරේ කළේ ඒ පරිද්දෙනි.

සරදියෙල් කිසිම කලක ස්‌ත්‍රීන්ට හිරිහැර, කරදර කළ අයකු ලෙස සැලකෙන්නේ නැත. ඔහුට පෙම්වතියක්‌ සිටි බව සඳහන්ය. විවාහයක්‌ හෝ ඔහුට දාව ඉපදුන දරුවන් පිළිබඳව වාර්තා ද නැත.

දිනක්‌ සරදියෙල් කරත්තයක්‌ දක්‌කා ගෙන එන බවට ගම් පුරා ප්‍රසිද්ධ විය. බොහෝ අය සිතුවේ සරදියෙල් වස්‌තු කොල්ලකෑමට එනවා ඇතැයි කියාය. ඇතැමෙකු වස්‌තුවත් රැගෙන කැලෑ වැදිණි. තවකෙකු වස්‌තූන් ගැන නොසිතා ජීවිතය බේරාගනු වස්‌ කැලෑ වැදිණි. මේ අතර එක්‌තරා ගැටයකු සරදියල්ට බියේ ළඟ තිබූ පොල් ගසකට බඩගා සැඟවෙන්නට උත්සාහ ගත්තේය. බිය වැඩි කමටම පය ලිස්‌සා ඒ ගැටයා, බිම වැටිණ, ගැටයාගේ මව විළාප තබන්නට වූවාය. සරදියෙල්ද ඒ විළාපය ඇසී ගමන නතර කර එතැනට ආවේය. “ඇයි අම්මේ. සරදියෙල් ඇසුවේ පුතෙකු මෙනි. විස්‌තරය කී පසු සරදියෙල් අම්මා අස්‌වසා ගහෙන් වැටී අතපය කැඩී සිටි දරුවාට කැඩුම් බිඳුම් වෙදකු සොයා බෙහෙත් කළේය. සරදියෙල් දුප්පත් කිසිවකුට හිරිහැර නොකළ මුත් එකල සුද්දන්ගේ බොරු ප්‍රචාර හා ඒවා තව තවත් ප්‍රචාරය කරන්නට සිටි සිංහල කළු සුද්දන් නිසා ඇතැමෙකු “සරදියල්” නමට බිය ක්‌ ගත්තේය.

සරදියල් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ 1864 මාර්තු 21 වැනිදාය. එදා මහනුවර පොලිසියේ සාජන්ට්‌ මාගාට්‌ සහ කොස්‌තාපල් සභාන් උතුවන්කන්ද දෙසට ගියේ ගිනිඅවි ඇතිවය. ඒ වන විටත් සරදියෙල් පිළිබඳ නිවැරැදි ඔත්තුවක්‌ දෙන්නකුට පවුම් සියයක ත්‍යාගයක්‌ දෙන බවට සුදු පාලනය නිවේදනය කර තිබිණි. මම්මලේ ඇතුළු සරදියෙල්ගේ සෙසු ගෝල පිරිස පිළිබඳ නිවැරැදි ඔත්තුවට තවත් පවුම් සියයක ත්‍යාගයක්‌ වෙන් කර තිබිණි. 1864 ජනවාරි 12 වැනිදා ගැසට්‌ නිවේදනයක්‌ මගින් මේ බව කියා තිබිණි.

කෙසේ හෝ මේ වන විටත් සරදියෙල් සමග කලක්‌ එකට සිටි උක්‌කුවා සහ සිරිමලා සරදියෙල් පිළිබඳ සුදු අධිරාජ්‍යයට ගතු කියන්නට ඉදිරිපත්ව සිටියහ. මේ කියන මාර්තු 21 වැනිදා සාජන්ට්‌ මගාට්‌ සහ කොස්‌තාපල් සභාන් වෙත ආ උක්‌කුවා කීවේ සරදියෙල් හා මම්මලේ දෙදෙනා කාදර්ගේ නිවසේ සිටින බවයි. මෙහෙයුම ඇරඹිණි. පොලිස්‌ නිලධාරීන් දෙපළ උක්‌කුවාත්, සිරිමලාත් පෙරටු කරගෙන කාදර්ගේ නිවස වැටලනු ලැබූහ.

සරදියෙල්ට හොඳ ඉවක්‌ තිබිණි. පොලිසිය වටලා ඇති බව දැනගත් සරදියෙල් එය තහවුරු කරගත්තේ යුද උපක්‍රමවලට අනුවය.

වැටලූ පොලිසියේ ඉදිරියෙන්ම සිටි සිරිමලා දුටු සරදියෙල්ට යක්‍ෂයා ආරූඪ විය.

“යකෝ මරන්ඩ තිබ්බේ තෝව. මරන්ඩ ඕන මිනිහ ඉන්දැද්දී අපි වෙන උන් සැක කළා” සරදියෙල් කෑ ගසා කීය. සිරිමලා සහ උක්‌කුවා පණ එපා කියා දුවද්aදී පොලිසිය වෙඩි තැබීය. සරදියෙල්ගේ ඉන පිටුපසට වෙඩි වැදුණි. ඔහු බිම වැටිණි. කොස්‌තාපල් සභාන් ඉදිරියට ගියේ සතුටිනි. ඒ සමගම ආ වෙඩි උණ්‌ඩය සභාන්ගේ ජීවිතයට වග කීවේය. එය මෙරට ඉතිහාසයේ ක්‍රියාන්විතයකදී පොලිස්‌ නිලධාරියකු මියගිය ප්‍රථම අවස්‌ථාව විය. ඒ වෙඩි උණ්‌ඩය ආවේ මම්මලේගේ තුවක්‌කුවෙනි. සාජන්ට්‌ මගාට්‌ගේ දෙපාමුල වැටුණු සභාන් කීවේ අපි ඉවරයි කියාය. නමුත් ඒ වන විටත් සරදියෙල් සිටියේ ලේ විලකය. අවසන අවශ්‍යව සිටි සරදියෙල් සහ මම්මලේ අත්අඩංගුවට පත්වූහ.

1864 අප්‍රේල් 14 වැනිදා නඩු විභාගය ආරම්භ කෙරිණි. පුද්ගලයන් විසි දෙදෙනකුට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කෙරිණි. සාක්‍ෂිවලට කැඳවු පිරිසද දුසිමකට වැඩිය. අවසානයේ නඩු විභාගය අවසන් විය. නඩුව විමසන විටත් අධිකරණය තුළ සරදියෙල් හා මම්මලේ සිටියේ මාංචු පිටය. මාංචු ගලවා දමන ලෙස නඩුකාරතුමා කීවද ඒ මාංචු එකටම බද්ධ කර තිබිණි. පොලිස්‌ අත්අඩංගුවට ගත්පසු මහනුවර, බෝගම්බර සිරගෙදරට ගෙන එන සරදියෙල් බැලීමට ජනයා රැස්‌කකා පාර දෙපස උන්හ. මහනුවර වීදි දිගේ ජනයා කම්මුල්වලට අත තබා බලා උන්හ. සමහරකුගේ දෑස්‌ අගින් කඳුළු වැටිණ. මොහු හැඩිදැඩි දේහයකින් සහ රෞද්‍ර පෙනුමකින් යුත් අපරාධකරුවකු හෝ මිනීමරුවකු නොව අහිංසක පෙනුමැති හීන්දෑරී කොලුවකු නොවේ දැයි කිසිවකු කියන්නට විය.

නඩු තීන්දුව වූයේ මොවුන් දෙදෙනා එල්ලා මරාදැමීමය. මොවුන්ට එරෙහි පළමු වරද කොස්‌තාපල් සභාන් වෙඩි තබා මරා දැමීමය. 1864 මැයි 04 වැනිදා එල්ලා මරන දිනය තීරණය කළද එය 07 වැනිදාට කල් දැමිනි. මහනුවර ප්‍රදේශයේ ජනයා වැළ නොකැඩී බෝගම්බරට ආවේ 04 වැනිදා බදාදාය. ඇතැමෙකු කල් දැමූ දින තුනද බෝගම්බර අවටම ගෙවා දැම්මේ සරදියෙල්ට උපහාර දක්‌වනු පිණිසද? නොඑසේ නම් මේ මරණ දණ්‌ඩනයට විරෝධය පළකර දැයි හෙළි වී නැත. එකල අධිරාජ්‍යවාදීහු ඒ සියල්ල වළදමා කතෝලික ආගම ප්‍රචාරයට සරදියල්ගේ නම පවා ඈඳාගෙන ඇතැයි පොත පත පරිශීලනයේදී පෙනේ. මුදලට හා බලයට යටවන වත්මන් සමාජය පිළිබඳ සිතද්දී අධිරාජ්‍යවාදී යුගයේ දී අපේ මිනිස්‌ සමාජයේ අවස්‌ථාවාදීන්ගේ හැසිරීම සිතා ගැනීමට අපහසු නැත.

කෙසේ හෝ සරදියෙල් හා මම්මලේ එල්ලා මරනු ලැබීය. ඥාතීන් මළ සිරුරු ඉල්ලුවත් ඒවා නොදුන්නේ මේ වීරයන්ට, මරණින් පසු ගරු බුහුමන් කිරීමට ඇති ඉඩ කඩද අහුරමිනි. සරදියෙල්ගේ පරම්පරාව අදටත් අපේ රටේ ජීවත් වෙති. කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ සරදියල්ගේ පරපුරේ ඇත්තෝ අදටත් වෙසෙන බව කියවේ.

Author: ශිරාන් රණසිංහ

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...