සෙනසුරු ඒරාෂ්ඨකය ගැන පුහු බියක් ඇති කර ගන්න එපා
October 31, 2012
887 Views
තිෂයට අනුව ශනි ලෙස හැඳින්වෙන සෙනසුරු ග්‍රහයා පිළිබඳව බොහෝ අය තුළ ඇත්තේ තදබල භීතිකාවකි. ඒ සෙනසුරු ලැබිම ජීවිතයේ එතෙක් පැවැති සැප සම්පත් අහිමිකරලමින් දුක් කරදර ලෙඩ රෝග ආදිය ජීවිතයට ළඟාකර දෙමින් අයහපතම ළංකර දෙන ග්‍රහ පිහිටීමකැයි බොහෝ අය සිතන නිසා ය.
සෙනසුරු දශාව ලැබූවිට මුහුණ පාන්නට සිදුවන දුක් කරදරවලින් අත්මිදීමට කිසිවෙකුට හෝ හැකියාවක් නැතැයි ඒත්තු ගැන්වෙන ජනප්‍රවාදයන්ද අතීතයේ පටන්ම අපේ ජනවහරේ පවතී. හැම දෙනාටම අපල කරවන සෙනසුරු විෂ්ණු දෙවියන්ට ද බටකොළ කැවූ කතාව එවැන්නකි. සෙනසුරු සැමට අපල කරන බව ඇසූ විට ඉන් අත්මිදීමට විෂ්ණු දෙවියෝ කදිම උපායක් කල්පනා කළහ. ඒ සෙනසුරු අපල කරනවා යයි පැවැසූ වසර හයම ඇත්වේශයක් මවා ගෙන හුදකලාවම වනගතව දිවි ගෙවීම ය. අපල කරනවා යයි පැවැසූ වසර හයම එසේ නිරුපද්‍රිතව ගෙවා දැමූ විෂ්ණු දෙවියන් සෙනසුරා හමු වී ජයග්‍රාහීව පවසා ඇත්තේ “කෝ මට අපල කළාද?” කියා ය. ඊට පිළිතුරු දුන් සෙනසුරා පවසා ඇත්තේ සියලු දෙනාගෙන් දුරස්කර ඇත් වේශයෙන් වසර හයක්ම බටකොළ කැව්වේ නිකම්ද කියා ය.
මේ ආකාරයේ ජනප්‍රවාද තුළින් පවා පැවැසෙන්නේ සෙනසුරු අපලය පලදෙවා මිස මගහැරවිය නොහැකි බවය. මේ නිසාම කෙනකුට ලබන අපලයක් පවා තමන්ගේ බඩවියත රැකගන්නට ජයටම යොදා ගන්නා පිරිස් බහුල වී ඇත්තේ සෙනසුරාට ඇති භීතිය නිසාම එවන් අය පවසන සියලු දේ විශ්වාස කරමින් ක්‍රියා කරන්නට බොහෝ දෙනකු පෙළඹෙන නිසාය. මේ අනුව ඔව්හු අසරණයන් තව තවත් බියවද්දා මුදල් ඉපයීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සෙත්ශාන්ති, මැණික් පැළඳවීම් ආදිය අනිවාර්ය කරති. ඒ තමන් හමුවට පැමිණෙන අසරණුන්ගේ අතේ තිබෙන සේසතම වියදම් කරවාලමිනි. කොරේ පිටට මරේ යයි ඔවුන් ඒ අනුව දුකින් දුකටම පත්වීම වැළකිය නොහැකිවේ.
සෙනසුරු ඒරාෂ්ඨකයක් ලැබිම යනු ඒ තරමටම බියවිය යුතු ග්‍රහපිහිටීමක්ද ? බොහෝ අය තුළ ජ්‍යොතිෂය පිළිබඳව පවතින අල්ප දැනීම හා පිටස්තරයන් පවසන දේම විශ්වාස කිරීම මත සෙනසුරු ඒරාෂ්ඨකයට දැඩි බියක් දැක්වුවද යකා කියන තරම්ම කළු නැතැයි පවසන ආකාරයට සෙනසුරු ඒරාෂ්ඨකය ද සියලු දෙනාටම හැමවිටම එකම ආකාරයේ අයහපත උදාකර දෙන තත්ත්වයක් නොවන බව අවධාරණය කළ යුතු වේ.
මිනිස් ජීවිත වටා පිහිටි ග්‍රහ චක්‍රයේ යම් යම් ගෘහයක් තුළට සෙනසුරා ප්‍රවිශ්ට වීමේදී සෙනසුරු ඒරාෂ්ඨකයක් හටගනී. ඒ අනුව සෙනසුරා ලග්නයට පැමිණීම ලග්න ඒරාෂ්ඨකය ලෙස ද අටවන ස්ථානයට පැමිණීම අශ්ටම ඒරාෂ්ඨකය ලෙස ද උපතේදී සඳු සිටි තැනට සෙනසුරා පැමිණීම ජන්ම ඒරාෂ්ඨකය ලෙසද හැඳින්වේ. මිනිස් ජීවිතවලට නොයෙක් දේ ළංකර දෙමින් හා විටෙක අහිමිකර දෙමින් චක්‍රාකාර මගක ග්‍රහයන් ගමන් කිරීමේදී සෑම වසර තිහකට වරක්ම අවම වශයෙන් එක් වතාවකදීවත් ඕනෑම පුද්ගලයකුට සෙනසුරු ඒරාෂ්ඨකයකට මුහුණ දීමට අනිවාර්යයෙන් සිදුවේ. මේ අනුව එකම පුද්ගලයකුට වසර තිහක් තුළදී වරක් දෙවරක් තුන්වරක් වුවද කුමන හෝ ආකාරයක සෙනසුරු
ඒරාෂ්ඨකයකට මුහුණ පෑමට සිදු විය හැකිය. එහෙත් මෙහිදී සෙනසුරා මකර, කුම්භ, තුලා හා ධනු රාශින් පිහිටි ස්ථානවලට පැමිණිවිට හටගන්නා සෙනසුරු ඒරාෂ්ඨකය නොදැනීම ගෙවී යා හැකි තරමේ බලවත් නොවන අතර එය කටක ලග්නයේ නම් ඒරාෂ්ඨක
දෝෂය බලවත් සේ බලපැවැත්විය හැකි තත්ත්වයක් බවත් ජ්‍යොතීර්වේදයේ සඳහන් වේ.
මේ අනුව සෙනසුරු ඒරාෂ්ඨකයක් ලැබුවද ඒ සෙනසුරා මකර, කුම්භ, තුලා හෝ ධනු පිහිටි ස්ථානවලට පැමිණීමෙන් නම් බිය විය යුතු ඒරාෂ්ඨකයක් නොවන බව පැහැදිලි විය යුතුය.
සෙනසුරුගේ ස්වභාවය දුක්දීම අලසබව, අඟහිඟකම් ඇතිකිරීම, අස්ථිබිඳීම් කැළැල් පවතින තුවාල ඇති කිරීම පාදවල ආබාධ හට ගැන්වීම, පෙනුම වියපත් හා කෙසඟ බවක් හට ගැන්වීම බව පොදුවේ සඳහන් වේ. එහෙත්, සෙනසුරා වුවද සුබ ආකාරයෙන් පිහිටි විට ලැබෙන යහපත ද සුළු පටු නොවේ. දුක ඉවසා සිටීමේ හැකියාව ලැබෙන නිසා ඕනෑම දුකක් දරාගෙන ජයග්‍රහණය කරා ළංවීමට හැකියාව ලැබේ. සෙනසුරු ඒරාෂ්ඨක කාලයක සිදුහත් කුමරු බොහෝ දුක් කරදර ඉවසා දරා ගනිමින් බුද්ධත්වයට පත්වීම මීට හොඳම උදාහරණයකි. සෙනසුරු යහපත් ලෙස පිහිටි විට බොහෝ ධන සම්පත් ලබාදීම කීර්ති ප්‍රශංසා තනතුරු උසස්වීම් ආදිය හිමිකර දුන්නද සෙනසුරුගෙන් ලැබෙන එවන් දේ පාතාලයෙකුගෙන් උදව් උපකාර ලබාගන්නා ආකාරයේ පසුව කරදරයක් වන දේ බව පැවැසේ. ඒ සෙනසුරු යහපතට හිඳිමින් ලබාදුන් සියලු දේ නැවත අයහපතට සිටි විට අතක් පයක් කඩා හෝ වියදම් කර නැත්තටම නැති කරන ස්වභාවයක් දැරීමය.
සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලයක් වුවද යම් අයකුට බලපාන්නේ සිය ජීවන චක්‍රයේ කාල වකවානුවලට අනුව බව ඕනෑම අයෙකුට පැහැදිලි විය යුතුය. ළදරුවකුට සෙනසුරු ඒරාෂ්ඨකයේ බලපෑමෙන් අතක් පයක් කැඩීම හෝ විවාහය දෙදරා යමක් සිදුවිය හැකි දෙයක් නොවන බව වටහා ගත යුත්තකි.
වයෝවෘද්ධ වයසේ ජීවිතය ගතව යන විට සෙනසුරු
ඒරාෂ්ඨකයක් නිසා ප්‍රේමය බිඳී යා හැකි ආකාරයක ග්‍රහ පිහිටීමක් ඒ ආකාරයෙන් බල නොපාන බව ද පැහැදිලි විය යුතුය.
සෙනසුරු ඒරාෂ්ඨකයක් ලැබිම වුවද බොහෝ අය බියවද්දවන ආකාරයේ ග්‍රහ පිහිටීමක් නොවිය හැකි බවත් සුබවාදී ශනි ග්‍රහයෙකුගේ පිහිටීම ජීවිතයට යහපතක් උදාකරවිය හැකි ග්‍රහ පිහිටීමක්ද විය හැකිය. සෙනසුරු
ඒරාෂ්ඨකයක් නිමාවට පත් වෙද්දී ද ධනයෝග ඥානයෝග ආදිය පවතින ග්‍රහචාරයක ඒ සියලු දේ ඉතා ඉහළින්ම ජීවිතවලට ළඟාකර දෙන නිසාම සෙනසුරු ඒරාෂ්ඨකයක් වුවද සෑම විටම නරකම නොවන බවද අවධාරණය කළ යුතු වේ.
featured Latest slider 2012-10-31