Saturday , 7 September 2024

හිස් දහයෙන් යුත් පැරණිම රාවණා පිළිමය ලංකාවෙන් මතුවෙයි

රාම කුමරුගේ බිරිය වූ සීතා දේවිය දඬු මොනරයෙන් පැහැරගෙන ආ රාවණා හෙවත් කීර්ති ශ්‍රී රාවණා රජුගේ වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ දැනට සොයාගෙන ඇති පැරැණිම සහ එකම පිළිමය මේ ඡායාරූපයෙන් දැක්වේ. වටිනා ඖෂධිය ශාකයක් වූ කොහොඹ ගසේ ලීයෙන් නෙළන ලද මේ පිළිමය හිස් දහයකින් සහ අත් විස්සකින් සමන්විතය. මේ හිස් දහයේ මුහුණු දහයෙන් විවිධ ඉරියව් නිරූපණය කෙරෙන අතර එම ඉරියව් එකිනෙකට වෙනස් ආකාරයේ හැඟීම් ප්‍රකාශ කෙරෙන පරිදි නිර්මාණය කර ඇත.

හොඳින් වැඩුණු මිනිසකුගේ උස මහත ඉක්මවා යන පාංශු දේහධාරී ශරීරයකින් හෙබි රාවණා පිළිමය වර්ණ ගන්වා ඇති අතර, පිළිමයේ වම් පාදයේ දණහිසෙන් පහළ කොටස සහ අත්වල රඳවා තිබූ සමහර ආයුධ කැඩී බිඳී විනාශ වී ඇත. එසේම පිළිමයේ ගල්වා ඇති වර්ණ කොටස් සමහර ස්ථානවලදී දුර්වර්ණ වී තිබේ. සොයාගනු ලැබූ මේ පිළිමයට පුද පූජා, ගරු සත්කාර පවත්වා රාවණා වරම් යදිමින් පිළිමයට බලය සහ තේජස ලබාදීමේ පූජා කටයුතු මේ දිනවල ඉතා අප්‍රසිද්ධියේ සිදු කෙරෙමින් පවතී. මේ සඳහා රාවණා අඳුන සහ රාවණා මන්ත්‍රය භාවිත කෙරේ. එසේම, රාවණා පිළිමය තැන්පත් කිරීම සඳහා රාවණා, දේවාලය නමින් දෙවොලක්ද මේ වන විට ඉදිවෙමින් පවතින අතර, එහි වැඩකටයුතු දැන් බොහෝදුරට අවසන් වෙමින් තිබේ. ඉතා නුදුරේදීම එම රාවණා දේවාලය වැඳුම් පිදුම් කටයුතු සඳහා ජනතාවට විවෘත කෙරෙනු ඇත. එවිට එය ලංකාවේ ප්‍රථම රාවණා පිළිමය රැගත් තෙද බලැති ‘කීර්ති ශ්‍රී රාවණා රජු දේවාලය’ වන බව රාවණා පිළිම දේවාල භාරකාරිත්වය පවසා සිටී.

තම දේවිය පැහැරගෙන ආ රාවණා රජු පිළිබදව උරණ වූ රාම කුමරු ‘රාම සරය’ නම් විස හීය මුදාහළ බවත්, එම හී පහර වැදී රාවණා රජු සිහිමූර්ඡා වූ බවත් ඉතිහාස පුරාවෘත්ත වලි කියවේ. සිහිමූර්ඡා වූ රාවණා රජුගේ ශරීරය බඹ හැටක් පොළොව යටින් තැන්පත් කර ඒ මත පස් සහ ගල් දමා වසා දැමූ බවත් එම ඉතිහාසයෙන් හෙළිවෙයි. රාවණා රජු අනාගතයේ යම් දිනක එම සිහිමූර්ඡා වූ තත්ත්වයෙන් මිදී යළි නැඟිටින අතර, එවිට ලංකා රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ලෝකයම පාලනය කරනු ඇති බවත් එම ඉතිහාස පොත් වල කියවේ. එසේම මේ උදාවී ඇත්තේ රාවණා රජු යළි අවදිවීමට පෙර ගතවන පූර්ව රාවණා උප්පත්ති කාලය බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...