Saturday , 7 September 2024

ළඟදීම ඇන්ජලෝගේ ජීවිතේ ලොකු වෙනසක්

ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විතරක් නමෛයි. සුපිරිම ක්‍රීඩකයෙක්. මේ සුපිරි තරුව ගැන ක්‍රීඩාවෙන් එහා දේවලුත් දැනගන්න බොහෝ දෙනා කැමති ඇති. ඉතින් අපි ඒ වගේ තොරතුරු ටිකක් හොයාගන්න හිතාගෙන ඇන්ජලෝගෙ සමීපතයන් කීප දෙනෙක් මුණ ගැසුණා. මුලින්ම අපට ඔහු ගැන තොරතුරු කිව්වේ ඔහුගෙ පාසල් සමයේ පුහුණුකරු වූ හර්ෂ ද සිල්වායි.

“2003 – 2007 අතර පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරනකොට තමයි ඇන්ජලෝව මට මුණ ගැහුනෙ. ඇන්ජලෝ කියන්නේ අනිත් ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම හිටිය ක්‍රීඩකයෙක්. ඔහු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළේ වයස අවුරුදු 15දී. එදා ඉදන්ම නායකත්වයේ ගුණාංග ඔහු තුළ තිබුණා. වයස අවුරුදු 13න් පහළ ඉඳන් විදුහ‍ලේ වගේම ජාතික මට්ටමෙනුත් හැම කණ්ඩායමකට නායකත්වය දැරුව ක්‍රීඩකයෙක් ඇන්ජලෝ. මට මතකයි එක අවුරුද්දක ඩී.එස්.සේනානායක විදුහලත් එක්ක තිබුණු තරගයකදී දෙවන දවසේ දිවා ආහාරය වනතුරුත් අපට දිනන පාටක්වත් පෙනෙන්න තිබුණෙ නෑ. දිවා ආහාරයෙන් පස්සේ ඇන්ජලෝ කඩුලු 5ක් දවාගෙන තරගය අනිත් පැත්තට හැරෙව්වා” හර්ෂ පැවසුවා.
ඒ වගෙම ඇන්ජලෝ පාස‍ලේ ගුරුවරුන්ගේ හිත දිනූ ඉතාම විනය ගරුක සිසුවෙක්ලු.
ඊළඟට අපිට ඇන්ජලෝ ගැන තොරතුරු කිව්වේ ඔහුගේ දයාබර මෑණියන් වන මොනිකා මැතිව්ස් මහත්මියයි.
“ගෙදරදී නං පුතා දඟයි. ‍පොඩිම කාලෙ ඉස්කෝලෙ ගියහම මොනවා හරි ඇගේ හලා ගන්නවා. ඒ ගෙදර එන්න. මං කරන්නේ ඇඳුම් මාරුකරලා ආයෙත් ඉස්කෝලෙට එක්කගෙන යන එකයි. දවසක් අවුරුදු 5දී විතර අපේ ගෙවල්
ළග තිබුණ තාප්පයකට නැගලා අත කඩා ගත්තා. ගස්වලත් නගිනවා”. මොනිකා මහත්මිය කිව්වේ හිනා වෙවී.
“හැබැයි වයස අවුරුදු 11, 12 වෙනකොට ඇන්ජලෝගේ හැම දඟකාරකමක්ම නැවතිලා ක්‍රිකට් වෙනුවෙන් සෑහෙන්න කැපවීමකින් පුහුණුවීම් කටයුතුවල යෙදී තියෙනවා. තාත්තා ඒ දවස්වල රට හිටිය නිසා ඇන්ජලෝගෙ පුහුණුවීම් වගේම ඉගෙනීමේ කටයුතුත් අතපසු නොවෙන්න වග බලා ගන්නේ අම්මලු.
කාලයක් ඇන්ජලෝගේ පවුලම ඩුබායිවල ඉඳලා තියෙනවා. එතකොට ඇන්ජලෝ මැතිව්ස් සෑහෙන්න පුංචිලු. ඒත් හැමතිස්සෙම සෙල්ලම් කරන්නේ එයාට වඩා සෑහෙන්න වයසින් වැඩි අය එක්කලු. ඇන්ජලෝගේ මේ හැකියාව දැකලා ඒ අය (ඉන්දියානුවන්) කිව්වලු ඇන්ජලෝ කවදහරි දවසක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙයි කියල.
ගෙදර ඉන්න දවස්වලට ඇන්ජලෝ බත් එක්ක ලීක්ස්, බිට්, කුකුළු මස් වගේ දේවල් කන්න සෑහෙන්න කැමැත්තක් දක්වනවලු.
“ලෝකේ කොහේ හිටියත් ගෙදර කෑම වගේ එයාට කිසිදෙයක් රස නැහැ. සංචාරයක් ගිහින් ලංකාවට එන්න කලින් දවසෙ කෝල් කරලා කියනවා. මොනවද උයලා තියෙන්න ඕනා කියලා ඒ වගේම තමයි ඇන්ජි ගෙදරට පුදුම ආදරයක් තියෙන දරුවෙක්. මෙහෙ ඉන්නකොට ගෙදරින් එළියට යද්දී අපි දෙන්නටම වැඳලා තමයි යන්නේ. පිටරට හිටියත් තරගයකට කලින් අපිට කෝල් කරලා අපේ ආශිර්වාදය ලබා ගන්න අමතක කරන්නේ නැහැ.
ටේ‍රවිස් කියන්නේ ඇන්ජලෝගේ අයියා. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. මේ දෙන්නයි නංගියි හරියට යාලුවො වගේ තමයි ඇසුරු කරන්නේ. ඇන්ජලෝගෙ රුචි අරුචිකම් ගැන අපට ටේ‍රවිස් කිව්වේ මෙහෙම.
“මල්ලි සංගීතයට හරිම කැමතියි. එයාගේ ආසම ගීතය තමයි “ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී” ඒ වගේම රූකාන්තගෙ සින්දුවලටත් හරිම ආසයි. ඒ වගේම තමයි මලල ක්‍රීඩා, පාපන්දු, බිලියඩ් වගේ ක්‍රීඩාවලටත් කැමැතියි. පාසල් ක‍ලේ එයා කඩුලු පැනීමෙන් හැම මලල ක්‍රීඩා තරගයකදීම වගේ දිනුවා. මෙසී තමයි කැමතිම පාපන්දු ක්‍රීඩකයා”.
බලු සුරතලුන්ටත් ඇන්ජලෝ පුදුමාකාර ආදරයක් දක්වනවා. ඇන්ජලෝගේ ගෙදර සුරතල් බල්ලන් 5 දෙනෙකුම ඉන්නවා. ගෙදර ඉන්න වේලාවට බල්ලෙකු වඩාගෙන උගෙ කන අත ගගා ඉන්න එක ඇන්ජලෝගේ පුරුද්දක්ලු.
“බල්ලන්ගෙ විතරක් නමෛයි පුංචි කා‍ලේ පුතා ළඟ ඉන්න කාගේ හරි කන අත ගගා ඉන්න එක පුරුද්දක්” ඇන්ජලෝගෙ අම්මා තවත් දෙයක් මතක් කළා.
මේ අතර ඇන්ජලෝගේ පියා ටිරෝන් මැතිව්ස් ද අපේ කතාබහට හවුල් වුණ ඔහුත් ක්‍රිකට් පුහුණුකරුවෙක්.
“කිසිම වෙලාවක කිසි කලබලයක් නැති දරුවෙක් ඇන්ජි. සමහර වෙලාවට එයා අපටත් උපදෙස් දෙනවා. ඒ වගේම ක්‍රිකට් වෙනුවෙන් කරන කැපවීමත් ඉහළයි. මට මතකයි පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය එක්ක ක්‍රීඩා කළේ කකුල බැරුවයි. ඒ තරගය දින්නා. ඒත් අවසන් තරගය දිනන්න බැරිවීම ගැන එයා හරියට කනගාටු වුණා.
“ පැයක් රට වෙනුවෙන් සෙල්ලම් කරලා මාස 06ක් ඉස්පිරිතාලෙ හිටියත් කමක් නැහැ”.
අර කකුලෙ අමාරුවත් එක්ක සෙල්ලං කළේ ඇයි කියලා තාත්තා අහපුවම ඇන්ජලෝ දීලා තියෙන උත්තරය තමයි ඒ.
අපි සමුගන්න මොහොතේ ඇන්ජලෝගේ අම්මා අපිට සමුදුන්නේ මෙහෙම කතාවක් කියලා. “ළඟදීම ඇන්ජි පුතාගේ ජීවිතයේ ලෙකු වෙනසක් සිදුවේවි…”

news:lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...